මේ දරුවනට උදව් කළොත් හොඳයි | දිනමිණ

මේ දරුවනට උදව් කළොත් හොඳයි

හිරිමල් බද්‍ර යෞවනය කොතරම් සුන්දරද...? සමනල සමනලියන් සේ පිපි දිලෙන මල් කැකුළු සොයා රිසිසේ පියාඹමින් යෞවනයේ චමත්කාරය අත් විඳින්නේ කොතරම් සුන්දර ලෙසද...? මේ චමත්කාරය රිසිසේ විඳිමින් පිපී විකසිත වන්නට පෙර දෛවයේ සරදමින් අකාලයේ එක්තැන් වූ මල් කැකුළුවල ශෝකාන්තයකි.

අති සංවේදි කතා රැසක් ඇති අසපුවකට පසුගිය දිනක මා ගොඩ විය. මාගේ හිත මිත්‍රයකුගේ ආරාධනාවකට මෙම අසපුවට ගොඩ වැදුණු මට හැඟී ගියේ උණ හපුළුවාට උගේ පැටියා මැණිකක් කියන කතාවත් දරු සෙනෙහස වෙනුවෙන් මවුවරුන්ගේ ඇඟේ දුවන රතු ලේ කිරි බවට හැරෙන්නේත් මේ සෙනෙහස නිසාමයි යන්නය. එදා අතීත පටාචාරාවත් ඇගේ ඇඳිවතවත් නොමැතිව වීථියක් පාසා දිව ගියේ හදවතේ නොසිඳෙන මෙවන් දරු සෙනෙහසිනි. මේ එවන් වූ තවත් පටාචාරාවන් ගැන ලියන, කතා කරන කතාවක් නොවෙයි.

තම කුසින් මේ මේ ලොවට බිහි කළ දරු සිඟිත්තා ආබාධිතයෙක් වුවහොත්? එවන් විවිධ ආබාධිත, මානසික, රෝගී දරු දැරියන් රැක බලා ගන්නා පාරමී අසපුවක්, නාත්තණ්ඩිය, දුක්කන්නාව, ස්වර්ණදාම පදනම පරිශ්‍රයේ තිබේ. එහි යෞවන වියේ තරුණ තරුණියන් 80ක් පමණ නේවාසිකව සිටිති.

මොවුන්ගේ රෝගී තත්වය සලකා උවැටන් කරන්න සත් පුරුෂ කණ්ඩායමක් ස්වර්ණදාම පදනම නමින් සංවිධානයක් පිහිටුවා මෙම අසරණයනට ආහාර පාන, ඇඳුම්, බෙහෙත් සහ ආදර සෙනෙහස නොඅඩුව ලබා දෙයි.

වයඹ පළාත් සමාඡ සේවා දෙපාර්තමේන්තුව, නාත්තණ්ඩිය ප්‍රාදේශීය මහා ලේකම් කාර්යාලය, අධික්ෂණය හා උපදෙස් අනුව මෙම ආයතනය පවත්වා ගෙන යන බව එහි ලේකම්, අධ්‍යක්ෂ ශ්‍රියාරත්න මුණසිංහ මහතා පවසයි. "1992 මාර්තු මස 12 වන දින විශේෂිත දරුවන් 4 දෙනකුගෙන් මෙම ආයතනය ආරම්භ කළා. දැනට පිරිමි දරුවන් 39ක් සහ ගැහැනු දරුවන් 40ක් පමණ සිටිනවා. ඔවුන්ට ආදරය සෙනෙහස කරුණාව ලැබීය යුතුයි. ඉතාම අඩු සේවක පිරිසක් සමඟ මෙය පවත්වාගෙන යනවා. අධිකරණ නියෝග මත, සමාජ සේවා දෙපාර්තමේන්තුව, වෙනත් ආයතන මගින් හා අසරණ අහිංසක පවුල්වල සිටින මන්ද මානසික, මන්ද ඌනතා ඇති අය මෙහි ගෙනැවිත් භාර දෙනවා.

ඒක් අයකුට මසකට රු. 3000-4000ක් පමණ වැය කරන්න සිදුවෙනවා. රජයෙන් එක් අයකුට මසකට රු. 500ක් ලබා දෙනවා. ඒත් පසුගිය 2015 වර්ෂයේ මුදල් තවම ලැබුණේ නැහැ. පරිත්‍යාගශීලීන් දාන මාන ලබාදෙනවා. ඒත් සෑම දිනකම නැහැ. එදාට අපි ආහාර මෙහි සකස් කරනවා. ඒක් වේලක් සඳහා රු. 10,000ට ආසන්න මුදලක් වැය වෙනවා.

දේශපාලනඥයින් මේ වගේ ස්ථානවලට උදව් කරන්නේ නැහැ. ඒකට හේතුව මේ අයට ඡන්ද බලයක් නැහැ. ඉතිං මේ අයට කිසිම පිළිසරණක් ලබා දෙන්න ඒ අය කැමැති නැහැ. පෞද්ගලික ආයතන සහ පුද්ගලයින් සිදු කරන පරිත්‍යාගවලින් මෙය පවත්වා ගෙන යන්නේ. කෙනෙක් අසනීප වුණාම මාරවිල රෝහලට ගෙන යන්න ඕනෑ. වාහනයක් අපට නැහැ. කුලී රියකින් තමා ගෙන යන්නේ. ඒ සඳහා රු. 750.00-1000ක් වැයවෙනවා. ළඟ නවත්වන්න වුණොත් මුදල් දී කෙනෙක් තබන්න දවසකට රු. 1500ක් දෙන්න ඕන. කවුරුත් කැමැති නැහැ මේ අයට පිහිට වෙන්න. පින් තකා උදව් කරන්නේ නැහැ. සෑම දෙයකටම මුදලක් අවශ්‍යයි. අපට මුදල් ලැබෙන්නෙත් ඉතා කලාතුරකින්, කොහොම හරි මෙම ආයතනය පවත්වාගෙන යනවා. උදව් උපකාර කරන්න කැමැති අයට මම ආරාධනා කරනවා. මෙහි පැමිණ දැක-බලා පිහිට වෙන්න කියා.

මේ දරුවෝ උදේ-සවස බුදුන් වැද මල් පහන් පූජා කර තමන්ට මෙම සසරේ මෙවන් දුකක් නොලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.විවිධ දක්ෂතා ඇති අයත් මෙහි සිටිනවා. ක්‍රීඩා, නැටුම්, ගැයුම් වලින් පළාත් හා සමස්ත ලංකා ජය ලබාගත් අයත් සිටිනවා. ඒ සඳහා සහතික, පදක්කම් ලබාගෙන තිබෙනවා. ඔවුන්ගේ හැකියාවන්ට, කුසලතාවයන්ට අත හිත දෙන්න හැකි නම් තවත් ඉදිරියට ගෙන යන්න පුථ්වන්.

මෙම දරුවන් අධ්‍යක්ෂ ශ්‍රියාරත්න මුණසිංහ මහතාට ලොකු මාමා කියා අමතන අතර, එහි පාලක ජයතිලක වීරක්කොඩි මහතාට පොඩි මාමා කියා අමතති. ඒ ඔවුන් ඒ දරුවන්ට දක්වන ආදරය සෙනෙහස කරුණාව නිසායි.

මෙම ස්ථානයට උදව් කරන්න කැමැති අය අධ්‍යක්ෂ, ලේකම් ශ්‍රියාරත්න මුණසිංහ, ස්වර්ණදාම පදනම, දුක්කන්නාව, නාත්තණ්ඩිය ලිපිනයට හෝ 032-2251222 දුරකතනයට අමතන්න.

ගුණරත්න ලියනආරච්චි
කුරුණෑගල දිස්ත්‍රික් සංචාරක 


නව අදහස දක්වන්න