හාමුදුරුවන් ගේ කතා වස්තුව | දිනමිණ

හාමුදුරුවන් ගේ කතා වස්තුව

චිත්‍ර කලාවට මෙන්ම සංගීතයට උපන් හපන්කම් දක්වන හිමිපාණන් වහන්සේ නමක් පසුගිය දා අපට හමුවුයේ මාවනැල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක විහාර ගෙයි චිත්‍ර අඳිමින් සිටින අතරවාරයේදිය.

පන්සල් චිත්‍ර කලාව කිසිදු ගුරුවරයකුගෙන් තොරව හදාරමින් උන් වහන්සේ පන්සල් චිත්‍ර කර්මාන්තයේ යෙදී සිටී. උන්වහන්සේ චිත්‍ර කලාවට පමණක් නොව සංගීත භාණ්ඩ වාදනයටද උපන් හපන් කම් දක්වන බුද්ධ පුත්‍රයෙකි. ගීතයක අනුවාදනය දෙවරක් තුන් වරක් කන වැකුණු පසුව ඒ මතකයෙන් පියානෝ සහ ඕගන් වාදනයට උන්වහන්සේ හපනෙකි.මේ සියල්ල උන්වහන්සේ ස්වෝත්සාහයෙන් ප්‍රගුණ කර ගත් කලා දක්ෂතාවයන්ය.

‘‘ ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත’’ යන කියමන බොරුවක් බවට මෙ වන විට උන්වහන්සේ විසින් ඔප්පු කොට අවසන්ය.

උන් වහන්සේ නමින් ඈගල්ල ධම්මානන්ද හිමිපාණන් වහන්ෙස්ය. දැනට වැඩ වාසය කරන්නේ පොළොන්නරුව, නුවරගල ශ්‍රී ජිනවංශ අනුස්මරණ භාවනා මධ්‍යස්ථානයේය. අපට උන් වහන්සේ මුණගැසුණේ හෙම්මාතගම කපුරුක්ක පිරිවෙන් විහාරස්ථානයේ බුදු මැදුරේ පන්සල් චිත්‍ර අඳිමින් සිටින අතරය.

දැනට අවුරුදු 56 ක් වන උන් වහන්සේ පැවිදි දිවියට පත් වී අවුරුදු 29 කි. 1988 වර්ෂයේ පැවිද්ද ලබා අම්බලන්ගොඩ ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රමයේ වසර ගණනක් භාවනා යෝගීව වැඩ වාසය කලහ. පසුව 2014 වර්ෂයේ දී දැනට වැඩ වාසය කරන පොළොන්නරුව විහාරස්ථානයට වැඩම කරන ලද බව උන්වහන්සේ අප සමඟ පැවසූහ.

'මගේ උපන් ගම කෑගල්ල බෙලිගල. අම්මායි තාත්තායි ජිවතුන් අතර නැහැ. සහහෝදර සහොදරියන් 10 දෙනෙක් හිටියා.මම බාලයා . මම පන්සල් 20 කට ආසන්න ප්‍රමාණයක චිත්‍ර ඇඳලා තියෙනවා. දේවාල වලත් මම සිත්තම් කළා. මට ගුරුවරයෙක් නැහැ. පුංචි කාලයේ ඉදලා චිත්‍ර අඳින්න ආසයි. මාගේ සිත්තම් කලාව මට හිතෙන විදිහට පින්සල නිදහස් රේඛාවලින් හසුරුවන එකයි.මම හරි ආසාවෙන් ඉස්සර පන්සල්වල චිත්‍ර අඳිනවා බලා ඉඳලා තියෙනවා. ප්‍රදර්ශනවලට ගිහින් චිත්‍ර බලලා මම බොහෝ දේවල් මනසට දා ගන්නවා. ප්‍රායෝගිකව වෙහෙසෙමින් අත හුරු කර ගත්තා.

මම පුංචි කාලයේ අපේ පැත්තේ වළව් තිබුණා. ඒ කාලේ වළව්වල චිත්‍ර ඇදලා තියෙනවා. මම තාත්තා එක්ක ඒවාට ගියපුවාම කොළ කෑල්ලක් අරන් ඒවා කටු සටහනක් දා ගෙන ගෙදර ඇවිත් සිත්තම් කරන්න පටන් ගන්නවා.

පැවිදි වුණාට පස්සේ නිදහස ලැබුණු හැම වේලාවකම කොළ කෑලි අරන් චිත්‍ර ඇන්දා. පත්තර සහ චිත්‍ර සම්බන්ධයෙන් ලියවිලා තිබෙන ලිපි ආදිය පරිශීලනය කරමින් මම පන්සල් චිත්‍රවලට පරම්පරිකව එන පාට වර්ග යොදා ගැනීම කළා. අදටත් එහෙමයි.

මම පන්සල් වල චිත්‍ර අදින්න ගත්තේ 1994 වර්ෂයේ ඉඳලා. මාව හඳුනා ගත්ත, පන්සල්වල වැඩ කරනකොට මාගේ නිර්මාණ දැක්ක අය ඒ පන්සල් වලත් චිත්‍ර අඳින්න මට ආරාධනා කළා. මම මෙහි දී කිසිම වේලාවක විශාල මුදල් ලබා ගන්න බලාපොරෝතතු වෙන්නේ නැහැ. මම හිතන්නේ බුදුන් ගේ ධර්ම දේශනා අාශ්‍රයෙන් හා ජාතක කථා අාශ්‍රයෙන් නිර්මාණය වූ කථා වස්තුන් ඇසුරෙන් ගොඩ නැ‍ඟෙන කථා චිත්‍රයට නගන්න ගිහි කෙනෙකුට වඩා ඒවා ප්‍රගුණ කළ භික්ෂුවකට පුළුවන්. මම පාසල්වල පාවා චිත්‍ර ඇඳලා තිබෙනවා. චිත්‍ර අදින්න වාගේම මියුරල් රූප ඇඹීමේ කලාවත් මට හොඳට පුළුවන්.'

අපේ හාමුදුරුවෝ සංගීතයටත් උපන් හපන් කම් දක්වනවා නේද ?

'ඔව් මම මේවා ස්වෝත්සහයෙන් පුරුදු පුහුණු වුණ ඒවා. ප්‍රස්තාර බලාගෙන වාදනය කරන්න හරි ලේසියි. නමුත් ඒ කිසිම දෙයක් නොබලා වාදනය කරනකොට හොඳ මතකයක් තියෙන්න ඕනෑ. මට ගීතයක් දෙවතාවක් වාගේ අහපුවාම ඕගන් එකෙන් හෝ පියානෝ එකෙන් වාදනය කරන්න පුළුවන්. යම් ධර්ම කටයුත්තකදි ඊට ගැලපෙන පසුබිම් වාදනයක් පවා ලබා දීමේ හැකියාව මට තිබෙනවා.'

ඔබ වහන්සේ චිත්‍ර පාට කිරීම සඳහා යොදා ගන්නේ පරම්පරික පැරණි චිත්‍ර ශිල්පින්ගේ පාට සදා ගැනිමේ ක්‍රම වේදයක්ද ?

'ඔව් මෙ මඟින් පන්සල් චිත්‍ර ඇඳීම කළොත් පමණයි පරම්පරා ගණනාවක් තබා ගැනිමේ හැකියාව තිබෙන්නේ. අද වන විට චිත්‍ර ශිල්පින්ගේ පහසුවට විවිධ නවීන පාට වර්ග වෙළෙඳ පොළට ඇවිත් තිබෙනවා. ඒවායින් නිර්මාණ පාට ගැල්වීම මගින් කල්යාමේ දී නිර්මාණවල පැහැය අඩු වි ඉක්මනින් විනාශ විය හැකියි.

ඒ නිසාම මා තෝරා ගෙන තිබෙන්නේ දොරණ තෙල් යොදාගනිමින් එම පාරම්පරික පාට ක්‍රම වේදය. එහි ඇති කළු, සුදු, නිල්, කහ, රතුවලින් සෑම පාටක්ම හදා ගෙන නිර්මාණ සඳහා යොදා ගන්නවා.'

මෙම චිත්‍ර කලාව මගින් ඔබ වහන්සේ ලබන සතුට මොන වාගේද ?

'ලොකු සතුටක් ලබනවා. බුද්ධ පුත්‍රයකු ලෙස මෙම කලාවේ නිරත වීම මා ලැබු පෙර පිනක්. මා කවදා හරි අපවත් වුණත් මාගේ කලාව තව කාලයක් මහජනතාවට වන්දනා මාන කිරිමේ අවකාශ ලැබෙනවා. එමෙන්ම සිත පාලනයට මෙම කලාව විශාල පිටිවහලක්. සංගීතයත් ඒ වාගේ රිද්මයකට අපේ සිත ඇදිලා යනවා. එවිට නොදනුවත්වම අපේ සිත නිවෙනවා. ඒ නිසා කලාව ඉගෙන ගන්න කෙනකු අතින් වැරදි වෙනවා අඩුයි. ඒ වාගේම සමාජය හික්මෙනවා. ඒ මගින් යහපත් සමාජ වටපිටාවක් ඇති වෙනවා.'

ඔබ වහන්සේගේ අනාගත බලාපොරොත්තු මොනවාද ?

'මෙ කලාව තවත් පරපුරකට නොමිලේ අධ්‍යාපනය ලබා දී පුරුදු පුහුණු කිරීම වෙනුවෙන් එක් කණ්ඩායමක් පොළොන්නරුවේ මාගේ විහාරස්ථානයේ පුරුදු පුහුණු වෙනවා. මම යන හැම විහාරස්ථානයම කුඩා භික්ෂුන් වහන්සේලාටත් චිත්‍ර පාට කිරිමට සහ දැනුම ලබා දීමට මා එදා සිටම කටයුතු කළා. එයින් බලාපොරොත්තු වෙන්නේ ඔවුන්ද මෙ කලාවට නැඹුරු කිරිමයි.'

සමන් විජය බංඩාර
මාවනැල්ල

 


නව අදහස දක්වන්න