නක්කාවිට ඇල්ල | දිනමිණ

නක්කාවිට ඇල්ල

අසිරිමත් සිරිලක ලෙවන් නෙත නොගැටුණු සොඳුරු ඉසව් බොහෝය. ඈත ගම්දනව්වල තවමත් නොනැසුණු සොබාදහමේ චමත්කාරය මුසු තැන් සැඟවී තිබේ. 'දැරණියගල'යනු දරණුවක හැඩය ගත් කඳු වැටියකින් වට වූ කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි වත්මනෙහිත් ගැමිකම රැකුණු තරමක් දුෂ්කර ප්‍රදේශයකි. ගංගා , ඇළ, දොළ, දිය ඇලි, කඳුවැටිවලින් පොහොසත් මේ ප්‍රදේශය ගැන පවසන විට බොහෝ දෙනකුට සුප්‍රසිද්ධ ඇලි හත සිහිපත් වේ. ඇලි හත නරඹන්නට යන අතරමග මුණගැසෙන අවධානයෙන් ගිලිහී ගිය සොඳුරු දිය ඇල්ලක් තිබේ. එය 'නක්කාවිට ඇල්ල' ලෙස හැඳින්වේ. ගැමියන්ට මේ දිය ඇල්ල 'දෙහිකඩ ඇල්ල' යි.

දැරණියගල සිට මාලිබොඩ දෙසට ගමන් කරද්දී පොද්දෙනිකන්ද බදුල්ලකැටිය ප්‍රදේශවලදී මේ සුන්දර දිය ඇල්ල දර්ශනය වේ. උස් කඳු මුදුනක පිහිටි සානුවක් බඳු තලාව ගම්මානයේ හිඟුරන්ගල නමැති දර්ශනීය ගල් පර්වතය ආශ්‍රිත කඳු වැටියෙන් ඇරඹෙන නාකඳු ඇළ ගම්මාන කිහිපයකම ජල අවශ්‍යතාවන් ඉටු කරමින් ගලා යයි. දෙහිකඩ ඇල්ල නිර්මාණය වන්නේ නාකඳු ඇළෙනි.

තලාව ගම්මානයේ කෙළවරකින් කැලණි ගඟේ අතු ගංගාවක් වන මාගල් ගඟට ඇද හැළෙන මෙම දිය ඇල්ල වැසි කාලයට ඉතා මනස්කාන්ත දර්ශනයකි. උසින් මීටර් 100 ඉක්මවයි. ඇල්ල මුදුනට තලාව ගම්මානය මැදින් පහසුවෙන් ළඟා වන්නට හැකි අතර නාකඳු ඇළේ අවසාන නාන තොටුපොළ මෙම ඇල්ල සමීපයේ පිහිටා ඇත. ඇල්ල පාමුලට පැමිණෙන අයකුට ඒ සඳහා යොදා ගන්නට සිදු වන්නේ දැරණියගල මාලිබොඩ මාර්ගයයි. දිය ඇල්ල මුදුනට ඈතින් සමනොළ කඳු වැටිය දක්වා පුළුල් ප්‍රදේශයක් එක වර දර්ශනය වේ. මේ අවට වෙනිවැල්ගැට බහුලව වැවේ.

අතීතයේ ඉතා පිරිපුන් දොළ පාරක් වූ නාකඳු ඇළ වර්තමානය වන විට මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ජල ප්‍රමාණය අඩු වෙමින් ක්‍ෂය වෙමින් යයි. තේ වගාව ජීවනෝපාය කර ගත් ගැමියන් ජල මූලාශ්‍ර ආශ්‍රිත ලඳු කැලෑ එළි පෙහෙළි කිරීම සොඳුරු දිය ඇල්ලේ විනාශයට හේතු සාධක වී තිබීම කණගාටුවට කරුණකි.

දිල්රූ ජයසේකර

නව අදහස දක්වන්න