කාරක සංඝසභික ධුරයෙන් පිදුම් ලැබූ දකුණු කැබිල්ලේවෙල නන්දාලෝක හිමි | දිනමිණ

කාරක සංඝසභික ධුරයෙන් පිදුම් ලැබූ දකුණු කැබිල්ලේවෙල නන්දාලෝක හිමි

පන්නිපිටිය - දෙපානම සිරි දම්මින්ද විහාරය, හපුතලේ යහලබැද්ද බෝධිරාජාරාමය සහ බෝඹුහින්න අභිනවාරාමය යන විහාරත්‍රයාධිපති දකුණු කැබිල්ලේවෙල නන්දාලෝක හිමිපාණන් වෙත වසර දෙසීය හයක ඉතිහාසයකට උරුමකම් කියන උඩරට අමරපුර මහා නිකායේ විනයවාදිනී කාරක සංඝසභික ධුරයක් සමඟින් “ශ්‍රී සුමනවංශ ධම්මින්ද වංශාලංකාර, විචිත්‍ර භාණක, ධර්ම කීර්ති ශ්‍රී” ගෞරව නාමය පිරිනැමීම උඩරට අමරපුර මහා නිකායේ මහා නායක නුවරඑළියේ චන්ද්‍රජෝති නාහමියන් ප්‍රමුඛ කාරක සංඝ සභාව ඉදිරියේදී පසුගිය 25 වෙනිදා සිදුකෙරිණ. මෙම ලිපිය එම උපහාරයට බඳුන් වූ දකුණු කැබිල්ලේවෙල නන්දාලෝක හිමිපාණන්ගේ ශාසනික මෙහෙවර පළිබඳව විමසා බැලීමකි.

ඌව පළාතේ - බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල නගරයට ආසන්න දකුණු කැබිල්ලේවෙල ග්‍රාමයේදී 1966 වසරේ මැයි මස 05 වෙනිදා උපත ලැබූ පින්වත් කුමරා නමින් නන්දදාස නම් විය. පවුලේ සිවුවැනි දරුවා ලෙස කෙළිදෙලෙන් හැදී වැඩුණු මේ දරුවා මූලික අධ්‍යාපනය බණ්ඩාරවෙල සීවලී මහා විදුහලෙන් ලබා 8 වන ශ්‍රේණියේදී පැවිදි වීමේ අරමුණින් බණ්ඩාරවෙල දකුණු කැබිල්ලේවෙල ශ්‍රී සුධර්මෝදය පිරිවෙනට ඇතුළත් විය. 1980 වසරේ මාර්තු මස 19 වන දින කන්දෙගෙදර සුමනවංශ නාමිපාණන්ගේ ශිෂ්‍යභාවයෙන් දකුණු කැබිල්ලේවෙල නන්දාලෝක නමින් උන්වහන්සේ ප්‍රවෘජා භූමියට ඇතුලත් වූ උන්වහන්සේ දියතලාව ඇල්ලේගම සුධර්මාලංකාර විද්‍යායතනයට එක්ව වැඩිදුර අධ්‍යාපනය ලබන්නට තරම් වාසනාවන්ත විය.

ගුරුවරුන්ගේ සිත් දිනාගනිමින් අනලස්ව අධ්‍යාපන කටයුතු සිදු කළ නන්දාලෝක පොඩි හාමුදුරුවන් සාමනේරයන් වහන්සේ කෙනෙකුට අවැසි සියලු ඉගෙනුම් කටයුතු නිම කොට 1987 වසරේ ජුනි මස 27 වෙනි දින ඵෙතිහාසික කැප්පෙටිපොල - විදුරුපොල ශ්‍රී සුමංගලාරාම මහා විහාරස්ථ විශුද්ධ බද්ධ සීමාමාලකයේදී අධිශීල සංඛ්‍යාත උපාසම්පදාව ලබා ගන්නා ලදී.

බඹරපනේ සීලවංශ මහාස්ථවීර, දික්කාපිටියේ නන්ද මහාස්ථවීර හා කළුගහකදුරේ වජිරසාර මහාස්ථිරයන් උන්වහන්සේගේ කර්මාචාර්යය වරයන් වහන්සේ ලෙස අදත් ගෞරවයෙන් සිහිපත් කෙරෙති. නන්දාලෝක හිමියන්ගේ උපාධ්‍යාණන් වහන්සේලා ලෙස කටයුතු කළ කන්දේගෙදර ශ්‍රී සුමනවංශ නාහිමිපාණන් සහ හොරදොරොව්වේ ධම්මින්ද නායක හාමුදුරුවන් වෙතින් ලද ගුරුහුරුකම් උන්වහන්සේට මහා ශක්තියක් වූ බව නොරහසකි.

දකුණු කැබිල්ලේවෙල නන්දාලෝක හිමිපාණන්ගේ ශාසනික මෙහෙවර ඇරඹෙන්නේ හපුතලේ යහලබැද්ද බෝධිරාජාරාමය කේන්ද්‍ර කර ගනිමිනි. දායක කරකාදීන් එකමුතු කරගනිමින් ප්‍රදේශයේ ජනතාවගේ එදිනෙදා බෞද්ධාගමික කටයුතු මෙන්ම සමාජ සේවා කටයුතු ද ඉටු කිරීමට උන්වහන්සේ ලාබාල අවධියේ සිටම කැපවී කටයුතු කළහ.

හොරදොරොව්වේ ධම්මින්ද නායක හාමුදුරුවන්ට 1992 වසරේදී දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමන් විසින් පන්නිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක් ගොඩනැගීම සඳහා භූමියක් ලබා දීමත් සමඟ යහලබැද්ද විහාරස්ථානයේ සියලු වගකීම් හා ජනතාව වෙනුවෙන් සිදු කළ යුතු ශාසනික වගකීම් අහඹු ලෙස උන්වහන්සේ වෙත පැවරීම දෛවෝපගත සිදුවීමක් වේ. එම වගකීම් නිසි ලෙස ඉටු කළ උන්වහන්සේ තමන්ගේ මුලිකම බලාපොරොත්තුවක් වුණු සාමනේර ස්වාමීන් වහන්සේලාගේ අධ්‍යාපනයට මඟ පෙන්වන ශ්‍රී ධම්මානන්ද මූලික පිරිවෙන පිහිටුවීම 1993 වසරේ ජුනි මස දෙවෙනිදා සිදු කරන ලදී. එතැන් පටන් බෞද්ධ අධ්‍යාපනයේ පුනර්ජීවනය උදෙසා බොහෝ නිහඬ සේවාවක් ඉටුකළ උන්වහන්සේ දිවයිනේ නන් දෙසින් පැමිණි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා විශාල සංඛ්‍යාවක් වෙත ධම්මානන්ද මූලික පිරිවෙන හරහා දැනුම ලබා දෙන ලදී.

2003 වසරේදී හොරදොරොව්වේ ධම්මින්ද නාහිමියන්ගේ හදිසි අපවත් වීමෙන් පසු දෙපානම සිරි ධම්මින්ද විහාරය, බෝඹුහින්න අභිනවාරාමය සහ යහලබැද්ද බෝධිරාජාරාමය යන විහාරස්ථානයන්හි අධිපතිධූරයන් ලැබූ උන්වහන්සේගේ අල්පේච්ඡ ජීවිතයට හොඳම උදාහරණය වශයෙන් එම විහාරස්ථානවල පාලන කටයුතු හා අධිපතීත්වයන් තම ශිෂ්‍යයන් වෙත පවරාදීම දැක්විය හැකිවේ. තමන් සතු දැනුම නිර්ලෝභීව තම ශිෂ්‍ය පරම්පරාව වෙත බෙදා දීම උන්වහන්සේගේ තවත් විශේෂ ලක්ෂණයකි.

2003 වසරේ සිට පන්නිපිටිය - දෙපානම සිරි ධම්මින්ද විහාරය කේන්ද්‍ර කර ගනිමින් උන්වහන්සේ සිදුකළ සමාජමය ක්‍රියාකාරකම් බොහෝමයකි. දශක තුනක කුරිරු ත්‍රස්තවාදී අරගලයෙන් පීඩාවට පත්ව සිටි ජනතාව වෙත සහ රට ජාතිය වෙනුවෙන් දහඩිය - ශ්‍රමය මෙන්ම තම ජීවිතයද කැප කළ වීීරෝදාර රණවිරුවන් වෙත නොයෙක් ආකාරයේ ව්‍යාපෘතීන් හරහා සේවය ලබා දෙන්නට උන් වහන්සේ නායකත්වය ලබා දෙන ලදී. යුධ හමුදා සෙබළ සොයුරන් වෙනුවෙන් ආහාරපාන, ඖෂධ වර්ග, අත්‍යවශ්‍ය උපකරණ ආදිය රුගෙන කිහිපවරක්ම උතුරට වැඩම කළ උන්වහන්සේ රණවිරු ආශිර්වාදය උදෙසා නිරන්තරව බෝධි පූජා සහ පිරිත් සජඡායනා සංවිධාන කිරීමද විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණකි.

වසර 30 කට පසුව ත්‍රිකුණාමලය දිසාපති තුමන්ගේ මූලිකත්වයෙන් සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් ත්‍රිකුණාමල දිසාපති මැදුරේදී සංවිධාන කළ උන් වහන්සේ එදා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය පුරා ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරමින් අඩු පාඩු සහිතව වැඩ වාසය කළ මහා සංඝරත්නය 140 නමක් වැඩම කරවා උන්වහන්සේලා වෙත අවැසි සියලු පිරිකර පූජාකර මහා පිං කමක් සංවිධාන කිරීම විශේෂයෙන් අගය කළ යුතුව තිබේ.

ඉන් අනතුරුව රුධිර පරිත්‍යාග කිරීම්, වෛද්‍ය කඳවුරු ඇතුළු වැඩසටහන් රැසක් සංවිධාන කරන්නට මූලිකත්වය ගත් නන්දාලෝක හිමියන් යුද්ධයට මුහුණ දෙමින් සිටින අතරතුර නියඟයෙන්ද බැට කෑ රණවිරුවන් වෙනුවෙන් වරක් තැඹිලිගෙඩි පනස් දහසක් එකතු කරවාගෙන උතුරට නෑගම් ගිය ගමණ සුවිශේෂී මතක සටහනක් ලෙස දැක්විය හැකිය. සෑම වසරකදීම තම ගුරු හාමුදුරුවන්ගේ අනුස්මරණය වෙනුවෙන් දිවයිනේ දුෂ්කර ප්‍රදේශයක විහාරස්ථානයක්, පාසලක් හෝ ගම්මානයක් තෝරාගනිමින් ඔවුන් වෙත උපරිමයෙන් උදව් උපකාර කිරීම නන්දාලෝක හිමියන් විසින් දියත් කරනු ලබන තවත් විශේෂ වැඩසටහනකි.

මේ වසරේදී ඒ වෙනුවෙන් තෝරාගෙන තිබුනේ වව්නියාව දිස්ත්‍රික්කයේ ඈත එපිට නන්දිමිත්‍ර ගම්මානයයි. එම ප්‍රදේශයේ සිංහල ගම්මාන 09 ක දූ දරුවන් 1600, දෙනෙකුට මහා සංඝරත්නය 150 නමකට හා ගැබිනි මව්වරුන් 80 දෙනෙකුට වියළි ආහාර පාන, සනීපාරක්ෂක උපකරණ, ඇඳුම්, පාසල් උපකරණ, පොත්පත් හා පාසල් නිල ඇඳුම් ප්‍රධානය කළ උන්වහන්සේ එම ගම්මානවල විහාරස්ථාන සියල්ලටම පාහේ ගිරිභාණ්ඩ පූජාවක් ද සිදුකරන ලදී.

තම උපසම්පදාවෙන් පසු ගෙවී ගිය දශක තුනක තම පැවිදි ජීවිතයේදී ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා හතලිස් දෙනෙකුගේ ගුරු හාමුදුරුවන් ලෙස උන්වහන්සේ සිදු කරමින් සිටින්නා වූ ශාසනික මෙහෙවර මෙතෙකැයි කිව නොහැකිය. තමන් වෙත එන සෑම දායක පින්වතෙකුගේම දුකට පිහිට වෙන ගුණය උන්වහන්සේ උපතින්ම රැගෙන ආ ගුණයක් විය යුතුය.

මෙවැනි සුවිශේෂී ගුණයන් රුසක් සහිත දකුණු කැබිල්ලේවෙල නන්දාලෝක හිමිපාණන්ගේ ආගමික- ශාසනික හා සමාජීය සේවාවන්, පරිත්‍යාගශීලීත්වය මෙන්ම නායකත්ව ගුණාංග හඳුනාගනිමින් උඩරට අමරපුර මහා නිකායේ විනයවාදිනී කාරක සංඝ සභාවට උන්වහන්සේ තොරා ගැනීම පිදිය යුත්තන්ට පිදීමේ උතුම් මංගල කාරණය අත්දැකිය හැකි සිදුවීමක්ම වන්නේය. ඒ අනුව උඩරට අමරපුර මහා නිකායේ විනයවාදිනී කාරක සංඝ සභාවට උන්වහන්සේ පත්කර ගැනීමත්, එයට සමගාමීව “ශ්‍රී සුමනවංශ ධම්මින්ද වංශාලංකාර, විචිත්‍ර භාණක, ධර්ම කීර්ති ශ්‍රී” ගෞරව නාමය පිරිනැමීමත් පසුගිය 25 වෙනි දින ඵෙතිහාසික කැප්පෙටිපොල - විදුරුපොල විශුද්ධ බද්ධ සීමාමාලකයේදී සිදු කෙරිණ.

එකී ගෞරව නාමය තමන්ගේ පැවිදි ජීවිතයට ආශිර්වාදයක් කර ගනිමින් තවදුරටත් සසුන් කෙත බබළවන්නට දකුණු කැබිල්ලේවෙල නන්දාලෝක හිමිපාණන්ට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

නුවන් උදාර කරුණාරත්න, 


නව අදහස දක්වන්න