පරිසරය රකින-මතින් තොර අභියෝග ජයගත හැකි සමාජයක් ගොඩනඟමු | දිනමිණ

පරිසරය රකින-මතින් තොර අභියෝග ජයගත හැකි සමාජයක් ගොඩනඟමු

කොළඹත් නැති සෞඛ්‍යය පහසුකම් අද පොළොන්නරුවේ තිබෙනවා

මිනී මැරුම්-ස්ත්‍රී දූෂණ-අල්ලස්-රජයේ මුදල් අවභාවිතය යනාදියට ප්‍රාදේශීය සභාපතිවරු අහුවෙලා තිබෙනවා. මේ තත්ත්වය අපට අවාසිදායකයි. නීතිය ක්‍රියාත්මක කරන්න පොලිසිය ඇතුළු අදාළ අංශවලට උපදෙස් දෙනවා කියලා මම කිවුවා. එදා මමත් හිටපු ජනාධිපතිවරයාත් විතරයි හිටියේ. මගේ කථාවෙන් පස්සේ හිටපු ජනාධිපතිවරයා කෙටි කථාවක් කළා. ඒ කථාව අවසාන කළේ කරන දෙයක් කරනවකො අහුවෙන්නෙ නැති වෙන්න කියලායි. අන්න ඒක තමයි දුන්න අවවාදය. අර සභාපතිවරු මට බැණ බැණ ගියාලු.

ලෝකයේ සියදිවි නසා ගැනිම්වලින් ශ්‍රී ලංකාව දෙවැනි තැනට පත්වෙනකොට පොළොන්නරුව දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ සියදිවි නසා ගැනිම්වලින් ඉහළට පැමිණ තිබෙනවා. ගත වූ වර්ෂය තුළ අරලගංවිල පොලිස් බල ප්‍රදේශයේ පමණක් 28 දෙනකු සියදිවි නසාගෙන තිබෙනවා යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

පසුගිය 31 වැනිදා දහවල් නුවරගල සහ සිරිපුරත් සවස වෙහෙරගල හා දම්මින්නේ පැවැති ජන හමුවල දී තව දුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා මෙසේ ද පැවැසීය. ‘භෞතික සම්පත්වලින් දියුණු වෙන්න, දියුණු වෙන්න අපි මනුස්සකමින් පිරිහෙනවා. ගමේ පන්සලේ හාමුදුරුවෝ උදේ හවස බණ කියනවා, රේඩියෝ එකේ රූපවාහිනියේ උදේ හවස බණ ඇහෙනවා. නමුත් ලෝකයේ සියදිවි නසා ගැනීම්වලින් ශ්‍රී ලංකාව දෙවැනි තැනට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකාවේ සිය දිවි නසා ගැනීම්වලින් පොළොන්නරුව ඉහළට ඇවිත් තිබෙනවා. පසුගිය වසර තුළ අරලගංවිල පොලිස් බල ප්‍රදේශයේ පමණක් 28 දෙනෙක් සියදිවි නසාගෙන තිබෙනවා.

පරිසරය ආරක්ෂා කරන සමාජයක්, මත්ද්‍රව්‍යවලින් තොර සමාජයක්, සිය දිවි නසා ගැනීම්වලින් තොරව ජීවිතයට මුහුණ දී අභියෝග ජය ගත හැකි සමාජයක් අපි ගොඩ නැඟිය යුතුයි. අපි අද දේශපාලන වේදිකාවේ කථා කරන්නේ මොනවාද? ද්වේශය, වෛරය, ක්‍රෝධය, එකිනෙකාගේ පුද්ගලික අඩුපාඩුයි. අපි දියුණු මිනිස්සු වෙන්න ඕනෑ. අපි අද පරිසරය විනාශ කරනවා වගේම මත්ද්‍රව්‍යවලින් රට විනාශ වෙනවා. ඉස්සර නගරයට සීමාවෙලා තිබුණු මත්කුඩු අද රට පුරා පැතිරිලා. ඈත ගම්වලත් මත්කුඩු තිබෙනවා. මේ පළාත්පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කරන අපේක්ෂකයන් එකතු කරගෙන මිනිස්සු හදන ජතික වැඩපිළිවෙළක් මම හදනවා. පසුගිය කාලේ රත්නපුර, කළුතර වැනි දිස්ත්‍රික්කවල නායයෑම් ඇති වුණා. ගංවතුර ගැලුවා. මිනිසුන් සිය ගණනක් මිය ගියා. ඒ නිසා රටේ ආර්ථිකයට බරපතළ හානියක් සිදු වුණා. මෙය සිදුවුණේ රජයේ වරදින් නොවෙයි. ගස් කපන, කඳු කපන. වැලි ගොඩ දමන, කැලෑ කපන මිනිස්සු මේවට වගකිව යුතුයි.

පොලොන්නරුව දිස්ත්‍රික්කයට වාර්ෂිකව වෙන් කළ මුදලින් පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන මගින් අද ඓතිහාසික සංවර්ධනයක් සිදුවෙනවා. පෙලොන්නරුව දිස්ත්‍රික්කයේ තිබෙන පාසල් 242 න් 150ක වැඩ මේ වන විට අවසන්වී තිබෙනවා. දිස්ත්‍රික්කයේ රෝහල් ශීඝ්‍රයෙන් සංවර්ධනය වෙනවා. මාගේ ඉල්ලීමකට චීන රජයෙන් ලැබුණ ජාතික වකුගඩු රෝහලට පසුගිය දා අපි මුල්ගල තැබුවා. ඒ වගේම ඉන්දියන් රජයෙන් මම කළ ඉල්ලීමකට ලැබුණු ත්‍රෛයිභාෂා පාසලේ ඉදිකිරීම් කටයුතු දැන් ආරම්භ කර තිබෙනවා. ක්‍රීඩාංගණ, රෝහල්, පානීය ජලය, කිසිම දිනක නැති විදිහට මේවා සංවර්ධනය වෙනවා. අපි පටන් ගත්තේ තුන් අවුරුදු සැලැස්මකට පොළොන්නරුව සංවර්ධනය කිරීමටයි. 2018 වර්ෂය අවසන් වන විට ගම්වල සියලුම යටිතල පහසුකම් සංවර්ධනය අවසන් වෙනවා. මැදිරිගිරිය, මින්නේරිය, පොළොන්නරුව යන මැතිවරණ කොට්ඨාසවල සංවර්ධනය මම පෞද්ගලික අංශයට නොදී ත්‍රිවිධ හමුදාවට භාර දුන්නේ නාස්තිය හා දූෂණය පිටු දකින්නයි. හමුදාව එය හරියටම කරනවා.

අපේ දිස්ත්‍රික්කයේ මේ තරම් සංවර්ධනයක් පසුගිය කාලේ සිදු වුණේ නැහැ. මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ ගාමිණී දිසානායක මහතා ඉතිරි කළ වැඩ කොටස් මම අවසන් කළා. ඒ වගේම මොරගහකන්ද වගේ අලුත් ව්‍යාපෘති ආරම්භ කළා. 1997 /98 කාලයේ ජපානයේ ජයිකා ආයතනයෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි 700ක් වියදම් කරලා මහවැලි බී හා සී කලාපයේ සංවර්ධන කටයුතු සිදු කළා. මහවැලි අමාත්‍යාශයෙන් වගේම ඉන් පසුව අනෙකුත් අමාත්‍යාංශ මගින් මම බොහෝදේ කළා.

ස්වයං රැකියා සඳහා 2017 වර්ෂයේ පොලොන්නරුව දිස්ත්‍රික්කය සඳහා රුපියල් කෝටි හැටක් වෙන් කළා. කියන්න කනගාටුයි නිලධාරීන්ගේ දක්ෂතාවය මත කොටි පහක් විතරයි වියදම් කළේ. ඉතිරි කෝටි පනස් පහක් වියදම් නොකර දෙසැම්බර් අපසු යනවා.

මම මේ රුපියල් කෝටි හැට වෙන් කළේ ගම්වල තරුණ දරුවන්ට තමන්ගේ වෘත්තීය කුසලතා දියුණු කර ගැනීමටයි. මේවා ලබා දෙන්න නියමිතව තිබුණේ ප්‍රදානයන් ලෙසයි. නමුත් නිලධාරීන්ගේ දක්ෂතාවය මත වියදම් කලේ කොටි පහක් විතරයි. ඉතිරි කෝටි පනස් පහ අපසු යනවා. රටක දීර්ඝ කාලීන ආයෝජනය අධ්‍යාපනය හා සෞඛ්‍යයයි. කොළඹත් නැති සෞඛ්‍යය පහසුකම් අද පොළොන්නරුවේ තිබෙනවා. පසුගිය කාලයේ මුළු ලෝකයම අපෙන් ඈත් වුණා. මට තිබුණ අභියෝගය රට ඇතුළේ ප්‍රශ්න විසඳා ගැනීමට පෙර ලෝකය දිනා ගැනීමයි. ඔබ වෙනුවෙන් රට වෙනුවෙන් මම ලෝකය ජය ගත්තා. ජාත්‍යන්තර වෙළෙඳ පොළේ පොහොර මිල වැඩි වුණු නිසා පෞද්ගලික අංශය පොහොර ගෙනාවේ නැහැ. එය අපට ප්‍රශ්නයක් වුණා. ඒ වෙලාවේ මම පාකිස්තාන අගමැතිවරයාට දුරකථනයෙන් කථා කරලා මට පොහොර ප්‍රශ්නයක් තිබෙන බව කිවුවා. එතුමා මට පොහොර මෙට්ට්‍රික් ටොන් 75000ක් එවන බව දැනුම් දුන්නා. ඒ වගේම කෘමියෙක් හිටිය බව පවසා රුසියාව අපේ තේ මිල දී ගැනීම නතර කරන්න තීරණය කළා. මගේ ඉතාම සමිප හිතවතකු වූ රුසියන් ජනාධිපතිවරයාට කථා කරලා අපේ දිගු කාලීන මිත්‍රත්වය ගැන සලකා තේ මිල දී ගන්නා ලෙස ඉල්ලීමක් කළා. එතුමා එම අදහසට ගරු කරලා අපේ තේ දිගටම මිල දී ගන්න තීරණය කළා. මම පසුගිය දවස්වල කටාර් ගියා. මම ආපසු ඇවිත් පැය විසිහතරක් යන්න කලින් ඒ රටේ ඇමැතිවරයෙක් ඇතුළු ආයෝජකයන් පිරිසක් ශ්‍රී ලංකාවට ආවා. ඒ අය අවේ අපේ රටේ ආයෝජනය කරන්නයි. ඒ වගේම අපේ රටේ අංග සම්පූර්ණ ලෙස නගරයක් සංවර්ධනය කිරීමටත් ඒ අය කැමති වුණා. මම ඒ අයට නගරයක් තෝරලා දුන්නා. අන්න එහෙමයි අපි ලෝකය දිනාගෙන තිබෙන්නේ.

ප්‍රාදේශීය සභාව මෙතෙක් කළේ පාර හදන එකයි, බෝක්කුව හදන එකයි. ඉදිරියේ දී ඒකට සීමා වෙන්න බැහැ. අපි හොඳ රටක් හදන්න ඕනෑ. අපි හොඳ සමාජයක් හදන්න ඕනෑ. හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරු සියයට පනහකට වඩා මේ වතාවේ තරග කරන්න බැහැ. හේතුව දූෂණ හා වංචා සිදු කිරීමයි. මම 2014 වර්ෂයේ මුල හිටපු ජනාධිපතිවරයාට කිවුවා ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන්ගේ හැසිරීම හොඳ නැහැ කියලා. මෙය පක්ෂයටත් රටටත් හොඳ නැහැ. සියලුදෙනා ගෙනත් අවවාද කරන්න දිනයක් දෙන්න කියලා කිවුවා. දිනයක් ලැබුණා. සියලුම ප්‍රාදේශීය සභා සභාපතිවරු ජනාධිපති ලේකම් කාර්යාලයට කැ‍ඳෙවුවා. මම විනාඩි 45ක් විතර කථා කළා. මිනී මැරුම්, ස්ත්‍රී දූෂණ, අල්ලස්, රජයේ මුදල් අවභාවිතය යනාදියට සභාපතිවරු අහුවෙලා තිබෙනවා. මේ තත්ත්වය අපට අවාසිදායකයි. රටේ නීතිය ක්‍රියාත්මක කරන්න පොලිසිය ඇතුළු අදාළ අංශවලට උපදෙස් දෙනවා කියලා මම කිවුවා. එදා මමත් හිටපු ජනාධිපතිවරයාත් විතරයි හිටියේ මගේ කථාවෙන් පස්සේ හිටපු ජනාධිපතිවරයා කෙටි කථාවක් කළා. ඒ කථාව අවසාන කළේ කරන දෙයක් කරනවකො අහුවෙන්නෙ නැති වෙන්න කියලායි. අන්න ඒක තමයි දුන්න අවවාදය. අර සභාපතිවරු මට බැණ බැණ ගියාලු.

රාජපක්ෂ ආණ්ඩුව පෙරළුවේ මම නොවෙයි. රාජපක්ෂ ආණ්ඩුව පෙරළීමේ මූලාරම්භය හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරුයි. සුදු ජාතික නෝනට අතවර කරන්න ගිහිං සුදු මහත්තයා මරලා දැම්ම හැටි, සිය වැනි රිදී ජුබිලිය සමරපු හැටි ඔබට මතකයි නේද?. පෙබරවාරි මාසේ පත්වන මන්ත්‍රීවරු ශ්‍රීලංකාද යූඇන්පීද කියලා බලන්නේ නැහැ. වරදට උපරිම දඬුවම් දෙනවා. නීතියට හිස නමන පිරිසක් මම ඇති කරනවා.

උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන ඇමැති පේෂල ජයරත්න මහතා අදහස් දක්වමින්- ‘තව අවුරුදු තුනක් මේ රටේ ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහතාමයි. ඒ නිසා එක එක මං මුලා වූ අය පස්සේ යන්න එපා. 2020 න් පස්සෙත් මේ රටේ ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහතායි. අද අපිට හැම දෙයකටම දේශපාලනය බලපානවා. අද රෝහලට ගියාම දෙන බෙහෙත් වට්ටෝරුවෙන් වැඩි ප්‍රමාණයක මිල අඩු කරලා තිබෙනවා. අද වනවිට උතුරුමැද පළාතේ ගුරු හිඟය සම්පූර්ණ කරන්න ජනාධිපතිවරයා කටයුතු කළා. ඉතිහාසයේ ප්‍රථම වතාවට අධ්‍යාපනය සඳහා වැඩිම මුදලක් වෙන් කළේ මෙවර අයවැයෙන්. රටට ගමට වැඩක් කරන්න කැමති අය ජනාධිපතිවරයා එක්ක එකතු වෙන්න. අඳුරු මාර්ගවල නොපිපෙන පොහොට්ටු පස්සෙ යන්න එපා.

මේ රැස්වීම අමතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රාදේශීය සභා අපේක්ෂක දමිත් රුක්ෂාන් සහ සුරේකා ලසන්ති, සුසන්තා ජයරාණි අපේක්ෂිකාවෝ ද කථා කළහ.

දිඹුලාගල සමුහ
ඡායාරූප සඳරුවන් අමරසිංහ
ජනාධිපති මාධ්‍ය අංශය


නව අදහස දක්වන්න