පූක්කුලම රක්ෂිතයේ මා හෝටලයක් හදන කතාව බොරු | දිනමිණ

පූක්කුලම රක්ෂිතයේ මා හෝටලයක් හදන කතාව බොරු

සිතාරා සේනානි

පුත්තලම දිස්ත්‍රික්කයට අයත් පූක්කුලම ගම්මානය වන රක්ෂිතයක් බවටත්, තමාගේ මැදිහත්වීමෙන් හෝටලයක් ඉදිකිරීම සඳහා එහි ගහකොළ කපා දමා ඇති බවටත් කරුණු හරිහැටි සොයා නොබලා තමාට එරෙහිව ඉතා ද්වේශසහගත අසත්‍ය ප්‍රකාශ සිදු කළ පාහියංගල ආනන්ද සාගර හිමි, පරිසර සංවිධාන ක්‍රියාකාරිකයන් වන සජීව චාමිකර හා නයනක රන්වැල්ල යන තිදෙනාට එරෙහිව රුපියල් මිලියන 500 බැගින් වන්දි ඉල්ලා නඩු පැවරීමට ඉදිරි දෙසතිය ඇතුළත අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව වාරිමාර්ග හා ජල කළමනාකරණ රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

විල්පත්තු රක්ෂිතයට යාබදව පිහිටි පූක්කුලම ගම්මානය මෙම තිදෙනා පවසන පරිදි වන රක්ෂිතයක් නොවන බවත්, 1938 වනවිට කල්පිටිය දිස්ත්‍රික් ලියාපදිංචි කිරීමේ නිලධාරි (ඩී.ආර්.ඕ.) යටතට පත්ව තිබූ ගම්මානයක් බවත් පවසන රාජ්‍ය ඇමැතිවරයා, 1992දී එය වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම සේවා වසමක් බවට පත් කොට ඇති බව ද පෙන්වා දෙයි. එමෙන්ම වර්තමානයේ එහි ඡන්ද නාම‍ලේඛනයේ ලියාපදිංචිවී ඇති පවුල් 132ක් ස්ථිර පදිංචිකරුවන් ලෙස දිවි ගෙවන බවද, ඔවුන් ද ඇතුළත්ව පවුල් 152ක් පමණ එහි පදිංචිව සිටින බවද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කරයි. පවුල් 132ක් මෙලෙස ස්ථිර ලෙස පදිංචිව සිටින ගම්මානයක් රක්ෂිතයකට අයත් වන්නේ නම් සතුන් සඳහා වෙන් කර ඇති ලෝකයේ එකම ග්‍රාම සේවා වසම බවට පූක්කුලම පත් වන්නේ යැයිද රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතා මේ බව පැවැසුවේ වාරිමාර්ග හා ජල කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (2) පැවැති මාධ්‍ය හමුවේදී ය.

පූක්කුලම ගම්මානයේ එකම ගසකට හෝ පඳුරකට හෝ තමන් හානියක් කර තිබෙන්නේදැයි සොයා බැලීම සඳහා පුත්තලම දිස්ති‍්‍රක්කයේ පුත්තලම, කල්පිටිය ඇතුළු ශාසනාරක්‍ෂක බලමණ්ඩලවල ස්වාමීන් වහන්සේ, ප්‍රදේශයේ ක්‍රිස්තියානි, කතෝලික, ඉස්ලාම්, හින්දු ආගමික නායකයන්ට එම ප්‍රදේශය වෙත පැමිණෙන විට එම අවස්ථාවට සහභාගී වන ලෙස ‍මෙහි සඳහන් හිමිනමට සහ පරිසර ක්‍රියාකාරිකයන්ට තමන් දැනුම් දුන්න ද එක් අයකු හෝ එයට සහභාගී නොවූ බවත් රාජ්‍ය ඇමැතිවරයා මෙහිදී පැවැසීය.

තමා මේ රටේ රක්ෂිත වනාන්තර විනාශ කරන, පරිසරය විනාශ කරන ජාවාරම්කරුවකු බව පෙන්වීමට මේ පිරිස දිගින් දිගට ම මාධ්‍ය හමු පවත්වමින් තමාට එරෙහිව දිගින් දිගට ම අසත්‍ය ප්‍රකාශ සිදුකරමින් සිටින බවත්, පෞද්ගලික රූපවාහිනී නාලිකා ‍දෙකක් ද එම අසත්‍ය ප්‍රචාරය සිදුකරමින් සිටින බවත් රාජ්‍ය ඇමැතිවරයා කීය.

ඡන්ද හිමි නාම ලේඛනයේ නම් ඇතුළත් පවුල් 132ක් පූක්කුලම ප්‍රදේශයේ පදිංචිව සිටින බවට කරන ප්‍රකාශය වැරදි බවටත්, එවැනි ලේඛන හොරට සකස් කළ හැකි බවටත් ආනන්ද සාගර හිමියන් කර තිබෙන චෝදනාව ඉතා බරපතළ එකක් බැවින් එම ලේඛනවල ඇත්ත නැත්ත පිළිබඳ සොයා බලන තමන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතා මෙහිදී වැඩිදුරටත් පැවැසීය. 

නව අදහස දක්වන්න