නව වසර සුබදායි වීමට නම් ජීවිත සුරක්ෂිත විය යුතුයි | දිනමිණ

නව වසර සුබදායි වීමට නම් ජීවිත සුරක්ෂිත විය යුතුයි

සමන්මලී ප්‍රියශාන්ති
සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත කුරේ

අපට ඇත්තේ අත්වැල් බැඳගෙන යායුතු ගමනක්

උදාවන නව වසරක් සුබදායි වීමට නම් ජීවිත සුරක්ෂිත විය යුතු අතරම අපේ සිතුවිලි ද ඒ වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතු බවත් අපට ඇත්තේ හුදකලා ගමනක් නොව කණ්ඩායම් හැඟුමෙන් අත්වැල් පවුරක් ලෙස යායුතු ගමනක් බවත් සාමූහික හැඟීමෙන් ක්‍රියා නොකරනතාක් අප පසුගාමී වන බව ලෙක්හවුස් සභාපති සහ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත කුරේ මහතා ප්‍රකාශ කෙළේය.

ආයතනයේ සෑම සේවකයෙකුටම මේ වසරේදී සාමුහික ගිවිසුම් ප්‍රකාරව රුපියල් 1500 ක වැටුප් වර්ධකයක් ලබා දීමට කටයුතු කරන අතර මින් පෙර නොවු විරූ ප්‍රතිලාභ රැසක් සේවකයින්ට මේ වසරේදී ලබා දෙන බවත් කීවේය.

නව වසරේ වැඩ ආරම්භ කිරීම නිමිත්තෙන් ලේක්හවුස් ආයතනයේදී පැවැති උත්සවයේදී ආයතනයේ සේවක සේවිකාවන් අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

සර්ව ආගමික වතාවත්වලින් අනතුරුව චාරිත්‍රානුකූලව පොල්තෙල් පහන් දල්වා නව වසරේ වැඩ ආරම්භ කෙරිණි.

එහිදී සභාපතිවරාය අවධාරණය කෙළේ කිසිවිටෙක සේවක අවශ්‍යතා හෝ ප්‍රතිලාභ හෝ කපා දමන්නට කටයුතු නොකරන අතර ඉදිරි වර්ෂයේදී ආයතනයේ අනවශ්‍ය වියදම් පාලනය කර එහි ප්‍රතිලාභයද සේවකයින්ට ලබා දෙන බවයි.

එම උත්සවයේදී වැඩිදුරටත් අදහස් පළ කරමින් හෙතෙම මෙසේ ද කියා සිටියේය.

දවස් තුන්සිය හැටපහක් ගෙවුණම අලුත් අවුරුද්දක් උදාවෙනවා. මුලු ලෝකයම ඒ අවුරුද්ද සමරනවා. ලාංකිකයෝ හැටියට අපි අවුරුද්ද දෙපාරක් සමරනවා. ජනවාරී පළවෙනිදාට අපි ලෝකයම එක්ක එකතු වෙලා අවුරුද්ද සමරනවා වගේම අප්‍රෙල් මාසෙදිත් අපි අවුරුද්ද සමරනවා. මේ උදා වුණේ එවැනි අවුරුද්දක්. අවුරුද්දක් සුබ වෙන්න නම් අපේ ජීවිත සුරක්ෂිත වෙන්න අවශ්‍යයි. එමෙන්ම ඕනෑම දෙයක් සුබ වෙන්න අපේ සිතුවිලි ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. අපිට තිබෙන්නේ හුදකලා ගමනක් නොවේ. කණ්ඩායමක් හැටියට අත්වැල් පවුරක් ලෙස යා යුතු ගමනක් අපට තිබෙනවා. සාමුහික හැඟීම ආත්මයට එකතු කර නොගන්නා තාක් කල් අපි ඉන්නේ පසුගාමී තැනක බව කිව යුතුයි.

ඔබ සේවය කරන්නේ මේ රටේ තිබෙන අභිමානවත් ආයතනය කිහිපයකින් එකකයි. විභූතිමත් ඉතිහාසයක් තිබෙන ආයතනයක සේවය කිරීමේ භාග්‍යය ඔබට ලැබී තිබෙනවා.

එළැඹී නව වසර අපේ ආයතනයට මෙන්ම අපට ඉතා සුවිශේෂි වසරක් වෙනවා. කාලාන්තරයක් තිස්සේ අපි ගමන් කළේ තනි අශ්වයෙක් වගේ ගමනක්. අපිට කිසිම තරඟකාරීත්වයක් තිබුණේ නැහැ. නොසැලී පෙරට ගියා. නමුත් මේ වන විට මේ කර්මාන්තය ඉතිහාසයේ අභිමානයෙන් පමණක් පෙරට ගෙන යන්න බැහැ. අපි තරඟකාරීත්වයට මුහුණ දිය යුතුයි. පත්තර කලාවේ මහගෙදර යන අතීත කීර්ති නාමය ගැන පමණක් කතාකරමින් සිටියාට ආයතනය පෙරට යන්න බැහැ. ඒ වෙනුවට අපි සාමුහිකව දැඩි ආත්ම විශ්වාසයකින් පෙරට එන්නට වුවමනායි. මේ වේගවත් කර්මාන්තය තුළ අපි තවමත් ඉන්නේ වුවමානා තැන නොවේ. අපි තව බොහෝ දුර යා යුතුයි. එහිදී අපට ඉන්න සුවිශේෂතම සම්පත වෙන කිසිවක් නොවේ ආයතනයෙ සේවක පිරිසයි. මේ ආයතනය පිළිබඳව හැඟීමක්, ආදරයක්, ගරුත්වයක් තිබෙන්නේ ඔබ තුළයි. මේ ආයතනය ගොඩ නඟන්න ඔබ සැමගේ ශක්තිය අවශ්‍යයි.

අපේ සියලු කටයුතුවල ශක්තිය අපේ සේවකයින් බව කිව යුතුයි. මේ සියලු කටයුතු අතරේ මේ වසරේ සෑම සේවකයෙක් සඳහාම රුපියල් එක්දහස් පන්සියයක වැටුප් වර්ධකයක් ලබා දෙන්නට කටයුතු කරනවා. සාමුහික ගිවිසුම් ප්‍රකාරව මේ වැටුප් වර්ධකය ලබා දෙනවා. මේ වර්ධකය ලබා දෙන්නේ ආයතනය සහ සේවක සුබසාධනය වෙනුවෙන් තවත් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සුදානම්ව තිබියදීයි.

ඊට අමතරව තමන්ගේ ඉහළ ප්‍රධානීන්ගේ සේවය ඇඟයීම් මත තවත් වැටුප් වර්ධක හිමි කර දෙන්නට නියමිතයි. පුද්ගල කාර්ය සාධනය මීට වඩා ඉවහල් වෙනවා. ඒවා අමතර ප්‍රතිලාභ ලෙස ලැබෙනවා.

අලුත් අවුරුද්දේ අපි ප්‍රධාන ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. රැස පුවත්පත ආරම්භ කිරීම ඉන් එක් ව්‍යාපෘතියක් වෙනවා. 1994 ආචාර්ය සරත් අමුණුගම “කොළඹ“ පුවත්පත ආරම්භ කළ පසුව ජාතික මට්ටමේ පුවත්පතක් අපේ ආයතනය පටන් ගන්නේ අවුරුදු 24 කට පසුවයි. මෙය ඉතිහාස ගත වන කටයුත්තක් වෙනවා වගේම මෙය ලොකු අභියෝගයක් ද වෙනවා. මෙය තරඟකාරී ලෝකයත් සමඟ යන ගමනක්. අපි ඒ සඳහා වෘත්තියකයින් කිහිප දෙනකු බඳවා ගනු ලැබුවා. මේ අභියෝගය ජය ගැනීමට ඔවුන්ට විශාල වගකීමක් තිබෙනවා. එමෙන්ම මෙය අපේ ආයතනයේ වැඩක් බව ආදරයෙන් මතක තබා ගත යුතුයි.

ඩේලිනිවුස් පුවත්පත මේ රටේ ඉතිහාසගත වැදගත්කමක් ඇති පුවත්පතක් වෙනවා. අද ඒ පුවත්පතට වසර සියයක් ගත වෙනවා. පුවත්පතක් සිය වසක් සපිරනවා යැයි කීම එක්තරා අභියෝගයක් වන නමුත් ඩේලිනිවුස් පුවත්පත ඒ අභියෝගය බාර ගෙන තිබෙනවා. මේ වසර පුරාම ඒ වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා.

ලේක්හවුස් පුස්තකාලය මේ රටේ තිබෙන විශාල සම්පතක් වෙනවා. දැනුම් ගබඩාවක් ලෙස සැලකෙන මේ පුස්තකාලයට විශාල පිරිසක් පැමිණෙනවා. එහි තිබෙන තොරතුරු ගබඩාව වෙන කොතැනකවත් නැහැ. අපි මේ වසරේදී පුස්තකාලය ඩිජිටල් කිරීමේ කටයුත්ත වේගවත් කරනවා.

මේ ආයතනය වර්ධනය වෙන්නේ සේවකයින්ට යහපත් පරිසරයක් එහි තිබෙනවා නම් පමණයි. ඒ අනුව සනීපාරක්ෂක පහසුකම්, ආපන ශාලා පහසුකම්, කාර්යාල පහසුකම් නවීකරණය කරන්න අපි කටයුතු කරනවා. ප්‍රධාන පිවිසුම් ඇතුලු සෙසු පරිශ්‍රයන් නවීකරණය කරනවා.

මුල්‍ය කණ්ඩායම අපිට ඉන්න තවත් වැදගත් බලකායක් වෙනවා. නවීන ලෝකයට ගැලපෙන පරිදි, තරඟකාරීත්වයක් සහිත අති දක්ෂ මුල්‍ය කණ්ඩායමක් බවට ඔවුන්ව පත් කිරීමට වුවමනා වටපිටාව සහ ක්‍රියාමාර්ග ගන්නවා. ඒ වගේ ම දැනුම හා තාක්ෂණය ලබා දෙනවා.

මේ සියල්ල අතරේ අපි තවත් අවධානය යොමු කළ කාරණයක් වන්නේ අනවශ්‍ය වියදම් කපා හැරීමයි. මේ ක සීරුමාරුවට සිදු කරන කාර්යයක්. එහිදි කිසිසේත් සේවකයින්ගේ අවශ්‍යතා කප්පාදු කරන්නේ නැති බව අවධාරණය කරනවා. එමෙන්ම සියලු සුභසාධන කටයුතු ඉටු කරනවා. නමුත් අපි අනවශ්‍ය වියදම් කපා දමලා ඉන් ලැබෙන ප්‍රතිලාභයත් සේවකයින් අතරේ බෙදා දෙනවා. පෙර නොවු විරූ ප්‍රතිලාභ අපි සේවකයින් වෙත ලබා දෙනවා.

ඒ වගේම අපි ප්‍රවර්ධනය වෙන්නේ දැන්වීම් හා අලෙවි ආදායම් මඟිනුයි. දැන්විම් අංශය එක්තරා දුරකට පුවත්පත ආයතනයක හදවත බව කියන්න පුලුවන්. පුවත්පතක් පවත්වා ගෙන යාමට මුලිකවම අවශ්‍ය වන ප්‍රාග්ධනය සපයා දෙන්නේ පුවත්පත් ආයතනයේ දැන්වීම් අංශයේ කළමනාකරණය ඔස්සේ ලැබෙන දැන්වීම් පුවත්පතේ පළ කිරීම මඟිනුයි.

අපිට හැකියාව, දක්ෂතාවය තිබෙනවා. ඒ සියල්ල එක් වු විට ජයග්‍රහණය රැසක් ලබා ගැනීමට අපහසු නැහැ.

ඒ සමඟම මුද්‍රණ කර්මාන්ත අශ්‍රිතව අපිට ඉහළ තත්ත්වයක් තිබෙනවා. ඒ අනුව අපි නව ආයෝජන සිදු කරනවා. නවීනතම බෙව් ඔෆ්සෙට් මුද්‍රණ යන්ත්‍රයක් ලබා ගැනීමට කටයුතු කරනවා. ඒකට රුපියල් බිලියනක් පමණ වැය වෙනවා. ඒ සමඟ වාණිජ මුද්‍රණ අවස්ථා පිළිබඳ අපේ මුලික අවධානය යොමු කරනවා.

මේ සියලු සැලසුම් ක්‍රියාත්මක කළොත් මේ අභිමානවත් ආයතනය කිරීත්මත් මෙන්ම සුරක්ෂිත ආයතනයක් වෙනවාට සැකයක් නැහැ. මේ සියල්ල අපට කළ හැකියි. දක්ෂතාවය ඔබ අප සතුයි. මේ කිසිවක් පාලනාධිකාරියට පමණක් කළ හැකි නොවේ. ඊට ඔබේ ශක්තිය අවශ්‍යයි.

අප ජීවත් වන අපේ දුවා දරුවන් ජීවත් කරවන මේ ආයතනය කීර්තිමත්, ශක්තිමත් ආයතනයක් කිරීමට සියලු දෙනා එක් වන්නැයි නව වසරේදී ඉල්ලා සිටින්නට කැමැතියි. ඒ සඳහා ඔබගේ දහඩිය මහන්සිය සේම කැපවීමද අවශ්‍ය බව වැඩිදුරටත් ප්‍රකාශ කිරීමට අවශ්‍යයි.

ඔබට යම් සිහිනයක් ඇත්නම් හිත තුළම තබා ගැනීමෙන් එය සිහිනයක්ම පමණක් වනු ඇති. ඔබගේ සිහිනය අන් අය සමඟ බෙදා ගත්විට එය යථාර්ථයක් බවට පත් කළ හැකියි. සැබෑ වු සෑම සුභවාදී සිහිනයක්ම ලෝකයට ආශිර්වාදයක් වී තිබෙනවා. යැයි සභාපතිවරයා කියා සිටියේය.

ලේක්හවුස් සභාපති, කළමානකාර අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත කුරේ, සාමාන්‍යාධිකාරී අභය අමරදාස, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ චන්ද්‍රසිරි සෙනෙවිරත්න, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරු, පුවත්පත් ප්‍රධාන කර්තෘවරුන්, මාධ්‍යවේදීන් ඇතුළු ආයතන සේවක සේවිකාවෝ මේ අවස්ථාවට එක් වුහ.

උදා වු 2018 නව වසරේ පත්තර මහගෙදර රාජකාරී ආරම්භ කෙරේ

නැවුම් බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම ඉටු කර ගැනීමේ පහන් සිතුවිලි පුබුදුවාලීමට මඟ පාදමින් උදා වු 2018 නව වසරේ පත්තර මහගෙදර නම් ලත් ලෙක්හවුස් ආයතනය පළමු රාජකාරී කටයුතු ආරම්භ කිරීම කොළඹ ගංගාරාම විහාරස්ථානයේ මහාසංඝරත්නය ප්‍රමුඛ සර්ව ආගමික ආශිර්වාදය ලබා ගනිමින් ඊයේ (2) සිදු කෙළේය. නව වසරේ ලේක්හවුස් ආයතනයේ ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් සියලු දෙනා එක පවුරක් සේ බැඳී සහෝදරත්වය පෙරදැරිව කටයුතු කළ යුතු යැයි සෙත් පිරිත් සඡ්ඡායනාවට ප්‍රථමයෙන් අනුශාසනාවක් කරමින් කතරගම සතිමන්ත ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළහ. ඇක්වයිනාස් උසස් අධ්‍යාපන ආයතනයේ මාධ්‍ය අධ්‍යක්ෂ, ඇල්දෙනිය මීසම් පාලක බෙනඩික් ජෝශප් පියතුමා, ශීවලී ෂන්මුගරත්නම් සාර්මා කුරුක්කල්තුමා, අබ්දුර් රාසික් මෞලවිතුමා මෙහීදී ආයතනයේ ඉදිරි අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් ආශිර්වාද කළහ.

ඉඳුරන්ට අවශ්‍ය ආකරයට කටයුතු කිරීමට ඉඩ දීමෙන් දියුණුව කඩා වැටී අරමුණු කරා යාමේ වේගය අඩු වෙන බවත් ආයතනික සංවර්ධනය ඇණ හිටින බවත් උන්වහන්සේ මෙහිදී පැවසුහ. ඉඳුරන්ට කැමැති පරිදි කටයුතු කරන්නට ඉඩ නොදී ප්‍රඥ්ව භාවිත කර ඉඳුරන් මෙහෙයවන්නට කටයුතු කිරිමෙන් අරමුණු ඉටු කර ගැනීමට හැකියාව ලැබෙන බවත් කීහ.

සෑම වසරක් ආරම්භයේදීම කිරියෙන් පැණියෙන් ඉතිරේවා කියා ප්‍රාර්ථනා කළාට පමණක් පළක් නොවන බව කී උන්වහන්සේ, කිරියෙන් පැණියෙන් ඉතිරෙන ක්‍රමවේද අපි භාවිත කළ යුතු බවද අවධාරණය කළහ.

2018 නව වසර වෙනුවෙන් ආයතනය සපුරන්නට බලාපොරොත්තු වන ඉලක්ක සියල්ල වෙනුවෙන් එකට බැඳී එක පවුරක් සේ කටයුතු කළ යුතු වෙන බවත් එකිනෙකා කෙරෙහි ආදරයෙන්, දයාවෙන්, ලෙංගතුකමෙන්, එකිනෙකාට ගෞරව කරමින්, හේතු අරමුණු ජයගන්නට කටයුතු කළ යුතු බවත් පැවසුහ. මේ අවුරුද්ද ගිය වසරට වඩා සාර්ථකවීමට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා යැයි උන්වහන්සේ අනුශාසනා කළහ.

ලේක්හවුස් සභාපති, කළමානකාර අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත කුරේ, සාමාන්‍යාධිකාරී අභය අමරදාස, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ චන්ද්‍රසිරි සෙනෙවිරත්න, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරු, පුවත්පත් ප්‍රධාන කර්තෘවරුන්, මාධ්‍යවේදීන් ඇතුළු ආයතන සේවක සේවිකාවන් මේ අවස්ථාවට එක් වුහ. 


සමන්මලී ප්‍රියශාන්ති
ඡායාරූප - මාලන් කරුණාරත්න
වාසිත පටබැඳිගේ

 

නව අදහස දක්වන්න