මුල්‍ය නගරයේ වැඩ 2020දී අවසන් කරනවා | දිනමිණ

මුල්‍ය නගරයේ වැඩ 2020දී අවසන් කරනවා

ඉන්දීය සාගරය කේන්ද්‍රස්ථානය කොට ගත් කොළඹ ජාත්‍යන්තර මුල්‍ය නගරය ඉදිකිරීමේ ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (02) සවස එහි ගියේය. ලොව දර්ශනීය හා නවීන පහසුකම්වලින් සමන්විත සුපිරි නගරයක් බිහිකිරීමේ කටයුතු සඳහා අවශ්‍ය මූලික බිම් සකස් කිරීමේ වැඩ යුහුසුළුව සිදුවන අයුරු නිරීක්ෂණය කළ අගමැතිවරයා නව නගරය ගොඩනැගීමට අදාළ මූලික යටිතල පහසුකම් වසර 2020 වනවිට සම්පූර්ණ කරන බව කියා සිටියේය. ඊට අමතරව ජාත්‍යන්තර මුල්‍ය කේන්ද්‍රස්ථානය බිහි කිරීමට අදාළ නව නීතිරීති මේ වසරේ සම්පාදනය කරන බවද සඳහන් කළේය. බස්නාහිර පළාත් හා මහා නගර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක, මුදල් රාජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂද සිල්වා, චයිනා හාබර් කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ නිහාල් ප්‍රනාන්දු, චීන සමාගමේ ප්‍රධානීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූපය - හිරන්ත ගුණතිලක


නව අදහස දක්වන්න