ඒඩ්ස් මවුවරු 23ක් 2017 දී එච්.අයි.වී ආසාදනය නොවූ දරුවන් බිහි කරලා | දිනමිණ

ඒඩ්ස් මවුවරු 23ක් 2017 දී එච්.අයි.වී ආසාදනය නොවූ දරුවන් බිහි කරලා

සන්ධ්‍යා කරුණාරත්න

ගැබිනියන් ලක්ෂ 15කගේ ලේ පරික්ෂාව අරඹයි

එච්.අයි.වී. ඒඩ්ස් වෛරසය ශරීරගත වූ ගැබිනි මව්වරුන් 23 ක් පසුගිය වසරේදි වාර්තා වූ අතර ඒ සියලුම මව්වරුවන්ගේ දරුවන්ට වෛරසය ආසාදනය නොවී බිහි කර ගැනීමට හැකි වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පැවැසුවේය.

වාර්ෂිකව ගැබිනි මව්වරුන් 340,000 ක් වාර්තා වන අතර ඔවුන් සියලුදෙනාටම මේ වෛරසය සම්බන්ධයෙන් රුධිර පරීක්ෂාව සිදු කරන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

එච්.අයි.වී. ඒඩ්ස් රෝගය ශරීරගත වී ඇත්ද යන්න හඳුනා ගැනීමට පසුගිය වසරේදි රුධිර පරීක්ෂණ ලක්ෂ 12 ක් සිදු කළ බවත් එය මේ වසරේදි ලක්ෂ 15 ක් දක්වා ඉහළ දැමීමට පියවර ගන්නා බවත් ඒ මහතා පැවැසීය.

වසර 2025 දි එච්.අයි.වී. රෝගය මෙරටින් තුරන් කිරීමේ අරමුණ මුල් කර ගනිමින් පරීක්ෂණ වැඩි කිරීම සඳහා රුධිර පරීක්ෂාව ලක්ෂ 15 දක්වා මේ වසරේදි වැඩි කරන බවත් රෝහල් වාට්ටුවල සහ බාහිර රෝගී අංශයේ රුධිර පරීක්ෂාවන් සිදු කිරීමට තීරණය කර ඇති බවත් ඒ මහතා කීය.

වසර 2018 දි එච්.අයි.වී. වෛරසය සහ සිපිලිස් රෝගය ආසාදිතයින් වළක්වා ගැනීමේ අරමුණෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බවත් එම රෝග තුරන් කිරීම පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහතිකය ගැනීමට ඉල්ලුම්පතක් ඉදිරිපත් කිරීම මේ වසරේදි සිදු කරන බවත් ඒ මහතා අවධාරණය කළේය.

එච්.අයි.වී. සම්බන්ධයෙන් ගැබිනි මව්වරුන්ගේ රුධිර පරීක්ෂා කිරීම වසර 2009 දි ආරම්භ කළ අතර මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම මඟින් දරුවන් 50 කට වෛරසය ශරීරගත වීමෙන් ආරක්ෂා කර ගැනීමට හැකි වූ බව ද ඔහු පැවැසුවේය.

එච්.අයි.වී. වෛරසය ශරීරගත වීමෙන් පුද්ගලයකුගේ ප්‍රතිශක්තිකරණය අඩු වන අතර එහිදී එම පුද්ගලයාට ලෙඩරෝග පහසුවෙන්ම වැළඳීමේ ප්‍රවනතාවක් පවතින්නේ යැයි ද ඔහු කීය. 

නව අදහස දක්වන්න