අසල්වැසියා කැපූ ගහේ අත්ත තෙහැවිරිදි දියණියගේ හිස මතට | දිනමිණ

අසල්වැසියා කැපූ ගහේ අත්ත තෙහැවිරිදි දියණියගේ හිස මතට

රුක්අත්තන ගසක් කපමින් සිටියදී එහි අත්තක් අවුරුදු 3ක් පමණ වයසැති සිඟිත්තියකගේ හිසමතට කඩා වැටී ඉතා අවාසනාවන්ත ලෙස මියයාමේ ශෝචනීය සිද්ධියක් කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂණ අධිකරණයෙන් ඊයේ (2) අනාවරණය විය. මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම දැඩිගමුව, ලෙනගල ශ්‍රී සුමන මාවතේ පදිංචිව සිටි ඕෂදී ශස්තිකා මධුභාෂිණී නමැති දැරියයි.

වෛද්‍ය සායනයකට සහභාගිවී තම මව සමඟ නැවත නිවස කරා එමින් සිටියදී අසල්වැසි නිවසක පිරිසක් එම ගස කපමින් සිටියදී එහි අත්තක් එකවරම සිඟිත්තියකගේ හිස මතට කඩා වැටී මෙම අනතුර සිදුව තිබේ.

කොළඹ සහකාර ‍අධිකරණ වෛද්‍ය නිලධාරී කේ. වාසුතේවා මහතා මෙම මියගිය සිඟිත්තියගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (2) සවස පැවැත්විය. ඉකුත් 28 දින දහවල් 1.00 පමණ මගේ බිරිය දැරිය සමඟ වෛද්‍ය සායනයකට සහභාගිවී නිවස කරා එමින් සිටියදී අප නිවසට යාබදව ඇති අසල්වැසි නිවෙසක පිරිසක් රුක්අත්තන ගසක් කපමින් සිටියදී එහි අත්තක් දියණියගේ හිස මතට කඩාවැටී ඇති බවත් පසුව දියණිය කොළඹ ජාතික රෝහලට ඇතුලත්කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව සිඟිත්තියගේ පියා වන මාතරආරච්චිගේ හරිස්චන්ද්‍ර ප්‍රේමලාල් (39) යන අය අධිකරණය හමුවේ සාක්කි දෙමින් පැවසීය.

පළා ගොස් සිටි සිද්ධියට අදාළ සැකකරුවෝ තිදෙනකු අත්අඩංගුවට ගෙන අද (3) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව මීපේ පොලිසිය දැන්වීය. ඒ අනුව අදාළ වෛද්‍ය වාර්තා හා සාක්කි සැලකිල්ලට ගත් කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක මොහොමඩ් අෂ්රෆ් රූමි මහතා මියගිය එම සිඟිත්තියගේ මරණයට අදාළ සැකකරු මෙම 17 වන දින හදිසි මරණ පරීක්ෂණ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසියට නියෝග කළේය. 

හේමන්ත ඩෙප්, හෝමාගම සංචාරක

නව අදහස දක්වන්න