ඩී.ආර්. විජයවර්ධන ශ්‍රිමතාණන් ලන්ඩනයේ දී දුටු සිහිනය | දිනමිණ

ඩී.ආර්. විජයවර්ධන ශ්‍රිමතාණන් ලන්ඩනයේ දී දුටු සිහිනය

“පුවත්පත සකල වචනාර්ථයෙන්ම, ප්‍රජාතන්ත්‍රවාදයේ බයිබලයයි. ජාතියක් විසින් සිය චර්යා රටාව තීරණයකොට ගනු ලබන්නේ, ඒ පොත මඟිනි. බොහෝ දෙනා විසින් කියවනු ලබන එකම ගැඹුරු පොත එය පමණි. ඔවුන් දිනපතා කියවන එකම පොත ද එයයි. ”

වෝල්ටර් ලිප්මන් (1899 - 1974)
අමෙරිකා පුවත්පත් කලාවේදී
කීර්තිමත් තීරු ලේඛක

සියවස සපුරන ඩේලි නිව්ස් පුවත්පතට, අපගේ උච්චතම උපහාර පිරිනමන්නට පෙර, අප විසින් ඉටු කළ යුතුව තිබෙන සුවිශිෂ්ට යුතුකමක් ඇත.

එදා අපගේ දේශයේ ආධ්‍යාත්මික වේදනාව අපටත්, මුළු ලොවටත් එකෑවර අඬගා කිව හැකි ජාත්‍යන්තර භාෂා මාධ්‍යයකට නැඟිය යුතුය යන අචල අධිෂ්ඨානයෙන් මෙහෙයුණු මහා සාංස්කෘතික වීරයෙක් සිටියේය. මතිමාත්‍ර වූ හෝ ආත්මාර්ථකාමයක්වත්, ස්වාර්ථලාභාපේක්ෂාවක්වත් නොමැතිව ඒ සත්පුරුෂ ජන ප්‍රභූවරයා සිය මවුබිමේ නිදහස පතා දැඩි සටනක යෙදුණේය. මෙයට සියවසකට පෙර, 1918 ජනවාරි තුන්වනදා ඩේලි නිව්ස් පුවත්පත ජනකරළියට ආයේ ඒ සම්භාව්‍ය නායකයාගේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයෙනි.

මේ දේශප්‍රේමී, ජනසේවී පුරෝගාමියා ඩී. ආර්. විජයවර්ධන සාංස්කෘතික ප්‍රභූවරයායි.

එතුමන් විසින් ජනතාවට තිළිණ කළ ප්‍රකාශන මාලාවෙහි සිය නම හෝ සිය මත හෝ ඡායාරූප හෝ පළවෙනු දැකීමට එතුමා කිසිසේත් කැමති නොවීය. එහෙත් වර්තමානිකයන්ගේ වාසනාවට ඩී. ආර්. වි‍ජයවර්ධන මහතා ඩේලි නිව්ස් පුවත්පතට විසිපස්වන වසර පිරුණු මොහොතේ පළ කළ අදහස් සුරැකිව තිබේ. එතුමා, එවැනි ප්‍රකාශයක් කිරීමේදී පවා පවසා සිටියේ මේ විස්තරයේදී, අනවශ්‍ය ලෙස පෞද්ගලික යයි සිතෙන යමක් වේ නම්, ඒ ගැන ද සිය කනගාටුව පළකරන බවයි.

ඩේලි නිව්ස් පුවත්පත ප්‍රකාශ කරන්නට එතුමන් පෙලඹූ සිද්ධි මාලාව ආරම්භ වූයේ එතුමා එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ උපේධ්‍යාපේක්ෂකුව සිටියදීය. ඒ සමයේදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත් ප්‍රදේශයක්ව තිබුණු ඉන්දියාව දැවැන්ත ජාතිමාමක ආවේගයකින් ඇළලී ‍ස්වෛරීත්වය අගය කළ ආසියාවේ, ශ්‍රී ලංකා‍ව වැනි සෙසු රාජ්‍ය නිදහස ලබාගැනීමේ ඉමහත් ප්‍රයත්නයක යෙදී සිටියේය.

ඉන්දියාවේ බලගතු ස්වරාජ්‍ය සටනේ පතාක යෝධයන්ව සිටි ගෝපාල් ක්‍රිෂ්ණා ගොඛේල් වැනි ජනකාන්ත ඉන්දියා නායකයෝ එංගලන්තයට ගොස් ඉන්දියාවේ පැවති කර්කශ බ්‍රිතාන්‍ය පාලනයේ ඇති තතු එංගලන්තයේ නායකයන් හමුවේ පැහැදිලි කළහ.

ඩී. ආර්. විජයවර්ධන යොවුන් දේශප්‍රේමියා ඒ ඉන්දීය ශ්‍රේෂ්ඨයන් හා ආශ්‍රයෙන් ශ්‍රී ලංකාවේ විමුක්ති සටනට උපදෙස් ලබා ගත්තේය.

එංගලන්තයේ උගෙන ගන්නා සමයයෙහිදී තුරුණු ඩී. ආර්. විජයවර්ධන මහතා, දේශපාලනයේ විවිධ පැති ගැන ඇතැම් විටෙක මං පෙන්වීම් ලද්දේ එංගලන්තයේ කෘතහස්ත පාලන තන්ත්‍රවේදියෙකුගෙනි. ඒ නීති විද්වතා එෆ්. එච්. එම්. කෝබට් මහතායි.

ආපසු නිජබිමට පැමිණි විජයවර්ධන දේශප්‍රේමී යෞවනයා විමුක්ති සටනේ විවිධ අංශ හා සමඟ යාවී සිටි නායකයන් හමුවූයේය.

ආත්මාර්ථය පිළිබඳ මතිමාත්‍ර වූ හෝ හැඟීමකින් තොරව නිදහස් සටනේ නිමග්න වූ විජයවර්ධන මහතා සර් පී. අරුණාචලම්, සර් දොන් බාරොන් ජයතිලක, මහාමාන්‍ය ඩී. එස්. සේනානායක, සර් ජේම්ස් පීරිස්, සර් පී. රාමනාදන්, ඊ. ඩබ්ලිව්. පෙරේරා ආදී විමුක්ති සටනේ සෙන්පතීන් හා සමඟ නිදහස් අරගලයට සහමුලින්ම එක්වූ‍ෙය්ය. නිදහස් සටන සඳහා ක්‍රමවත් පුවත්පතක අවශ්‍යතාව එතුමාට හරි හැටි අවබෝධ වූයේ මේ අවස්ථාවේදීය. මෙහිදීත් එතුමාගේ මනසෙහි දෝංකාර දුන්නේ එංගලන්තයේ කෝබට් මහතාගේ මං පෙන්වීමකි. විජයවර්ධන මහතා මෙසේ පවසයි. 'නිසි සේ දැනුමෙන් පෝෂිත ජන මතයක්, විමුක්තිය සඳහා ඉතා වටනේය. ඒ සඳහා නිදහස් - ස්වාධීන පුවත්පත් මාධ්‍යයක් නැතිවම බැරිය.'

වෙන්දේසියෙන් ගන්නා ලද පුවත්පත් කාර්යාලයක් පදනම් කොටගෙන විජයවර්ධන මහතාගේ නව ප්‍රවෘත්ති පත්‍රය උදා විය.

එතුමා ලන්ඩන්හි සිටියදී ඒ. ජී. ගාඩිනර් පුවත්පත් කලාවේදියාගේ සංස්කාරකත්වයෙන් පළවූ 'ලන්ඩන් ‍ඩේලිනිව්ස්' පුවත්පත එතුමාගේ ප්‍රසාදය දිනා ගත්තේය.

ඒ නිසා තමාගේ අලුත්ම පුවත්පත 'සිලෝන් ඩේලි නිව්ස්' නමින් පළකරන්නට එතුමා ඉටා ගත්තේය. මෙයට පුන් සියවසකට පෙර 1918 ජනවාරි තුන්වනදා 'සිලෝන් ඩේලි නිව්ස්' පුවත්පත උදා වූයේ ඒ අදිටන මල්ඵල ගැනීමෙනි.

පුවත්පතේ මංගල කලාපයේ පළවූ ශුභාශිංසනයකින් සර් පී. අරුණාචලම් මහතා කියා සිටි‍යේ මේ පුවත්පත උපත ලැබූ මොහොත භාග්‍යවත් බවත්, ජාතියේ හෘදය සාක්ෂිය චලනය කරවමින් නව බලවේග ක්‍රියාත්මක වන කාලයක මේ අලුත් ප්‍රවෘත්ති පත්‍රය ප්‍රකාශයට පත්වූ බවත්ය.

ආරම්භයේ පටන්ම 'සිලෝන් ඩේලිනිව්ස්' පුවත්පත එදා ලංකාවේ ජනමතය සකස් කරන බලවේගයක් බවට පත්වූයේය.

ඩේලි නිව්ස් පත්‍රය ආරම්භ කරන කාලයේදී තමාට ස්ථාවර කතුවරයෙකු සොයාගැනීම අපහසු වූ ආකාරය එතුමා සටහන් කළේය.

විජයවර්ධන මහතා විසින් සඳහන් කෙරෙන ආකාරයට අලුත් ඩේලි නිව්ස් පත්‍රයේ සමාරම්භක සංස්කාරකයා වශයෙන් නම් කළ යුතු වන්නේ ඊ. එෆ්. මාටිනස් නම් පුවත්පත් කලාවේදියායි. ඩේලි නිව්ස් පුවත්පතේ දිගු ජීවිත කාලය අරඹමින් මුල් සතියේදී එහි කර්තෘවරයා වීමේ ඓතිහාසික භාග්‍යය උදාවූයේ මාටිනස් මාධ්‍යවේදියාටයි.

එහෙත්, අලුතින් පටන් ගත් ඩේලි නිව්ස් පුවත්පත ස්ථාවර පදනමක් මත පිහිටුවාලන්නට ඩී. ආර්. විජයවර්ධන මහතාට නිල වශයෙන් සහාය සපයන ලද්දේ එස්. ජේ. කේ. ක්‍රවුදර් නම් ලේඛකයා විසින් බව වි‍ජයවර්ධන මහතාගේ ප්‍රකාශයකින් තහවුරු වෙයි.

ඩේලි නිව්ස් පුවත්පතට නව ප්‍රකාශනයක් වශයෙන් ස්ථාවරව පිහිටා සිටිය හැකි වූයේ ඒ ප්‍රකාශනය සමකාලීන පාඨක පන්තියේ අවශ්‍යතා නිසි ආකාරයෙන් අවබෝධ කොටගෙන සිටි නිසාය.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනයේ ග්‍රහණයෙන් මිදෙනු පිණිස බලවත් ප්‍රයත්නයක යෙදුණු කණ්ඩායම්, සිය අදහස් - උදහස් මූර්තිමත් කරන ප්‍රකාශනය වශයෙන් අගය කළේ, අලුතින් සමාජගත වූ 'ඩේලි නිව්ස්' පුවත්පතයි.

‍'ඩේලි නිව්ස්' පුවත්පතට ශීඝ්‍ර වේගයෙන් ජනාදරය දිනාගත හැකි වූයේ එදා ශ්‍රී ලංකාවේ පැවැති සෙසු පුවත්පත්, විවිධ හේතු නිසා පිරිහෙමින් පැවති හෙයිනි.

ඩේලි නිව්ස් පුවත්පත ආරම්භයේ පටන්ම පැහැදිලි මාර්ගයක ගමන් කළේ සමාරම්භක නියමුවාණන්ගේ අචල අධිෂ්ඨාන ශක්තිය නිසා බව අතීතාවර්ජනයෙක යෙදෙන කවර අයෙකුට වුවද හරිහැටි අවබෝධ වේ.

ඩේලි නිව්ස් පුවත්පතට 25 වන වසර සපිරි ‍මංගල මොහොතේදී ඩී. ආර්. විජයවර්ධන මහතා විසින් සිය පෞද්ගලික දර්ශනය මූර්තිමත් ‍කරමින් ප්‍රකාශ කළ වදන් පෙළ, ඓතිහාසික වශයෙන් අත්‍යන්තයෙන්ම වැදගත්ය. ඒ මෙසේය.

'ඩේලි නිව්ස්' පුවත්පත ප්‍රකාශ කිරීමේදී මට සහාය වූ කිසිවෙකුට දේශපාලන අභිමතාර්ථ තිබුණේ නැත. එසේම මා, පුවත්පත් කලා සයුරේ ගමන ආරම්භ කළේ මහා ධන - නිධාන ම නිවසට ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් ද නොවේ. පහසුවෙන් ධනෝපාර්ජනයෙහි යෙදෙන්නට, පුවත්පත් කලා වෘත්තියට වඩා යහපත් සෙසු ක්‍රම හා විධි ඇත. මේ ව්‍යාපෘතිය සඳහා මම බොහෝ දේ තැන්පත් කළෙමි. මේ පුවත්පතට මුල් වූ පරමාදර්ශී අභිමතාර්ථ වූයේ ජන සේවයත්, ජාතික ප්‍රගතියත්ය. අතළොස්සක් දෙනෙකු හා සමඟ එක්ව, ඒ අරමුණු දිනාගන්නා පිණිස මා ආරම්භ කළ සංවිධානය අද ප්‍රබල පදනමක් මත පිහිටා තිබේ.

සමාරම්භක අවධියේ පටන්ම, පාඨක ආදරය දිනූ බොහෝ ලේඛකයෝ ඩේලි නිව්ස් පුවත්පතට ලිපි සැපයූහ. 'විලේජ් ඉන් ද ජන්ගල්' (බැද්දේ ගම) ප්‍රබන්ධ කතාවේ ජගත් කීර්තිමත් කර්තෘවර ලෙනාඩ් වුල්ෆ් විශාරදයා ද, සමාරම්භක සමයෙයේදී ඩේලින් නිව්ස් පුවත්පතට ලිපි සැපයූ විශිෂ්ටයන් අතර සිටි බැව් විජයවර්ධන මහතා ලියා තිබිණි.

සමාරම්භක සංස්කාරකවරයාගෙන් පසුව ඩේලිනිව්ස් පුවත්පතේ කර්තෘත්වය ලද එච්. ඒ. ජේ. හුලුගල්ලේ 'යොවුන්' ප්‍රවීණයාගේ මෙහෙය ඩී. ආර්. විජයවර්ධන මහතා විසින් විචිත්‍ර ලෙස අගය කරනු ලැබීය.

ඒ ලේඛකයා විද්‍යාලයෙන් පිටවූ හැටියේ දහනවවියේ අධි යෞවනයෙකු සේ ඩේලි නිව්ස් කර්තෘ මණ්ඩලයට එකතු වූ ආකාරය විජයවර්ධන මහතා විසින් සඳහන් කෙරෙන්නේ ප්‍රමෝදයෙනි.

සමාරම්භක සමයෙහි පටන්ම 'ඩේලි නිව්ස්' පුවත්පත විසින් අනුගමනය කරන ලද්දේ අදීන, මැදහත් පිළිවෙතකි. ශ්‍රී ලංකා සමාජය දැඩි ලෙස ආලෝලනය කළ දැවැන්ත බලවේග මැද්දේ මහජන හිතකාමී මඟක් ඔස්සේ අපාසුවෙන් වුවද, ඉතිහාසය තරණය කිරීමෙන් ඩේලි නිව්ස් පුවත්පත සිය ස්ථාවරභාවය රැක ගත්තේය.

ශතකය පවත්වන, ඩේලි නිව්ස් පුවත්පත, මට වඩා අවුරුදු හතරකින් වැඩිමල්ය.

එසේ වුවද, මගේ දිවිපෙවෙතෙහි ඉතා දිගු කලක් මුළුල්ලේ ඩේලි නිව්ස් පුවත්පත 'ආශ්‍රය කිරීමේ' භාග්‍යය මට උදා විය.

මා ඩේලි නිව්ස් පුවත්පත මගේ දිගු දිවි ගමනට යාකොටගත් ආකාරය ගැන, යන්තමින් හෝ පවසා සිටීමට, මේ ශතක උළෙල නිසි අවස්ථාවක් යැයි මට සිතේ.

ගැමි පෙදෙසක උපත ලද මම, ඉතා කුඩා කල පටන්ම, කියවීමට ගිජු බවක් දැක්වූයෙමි. ගමේ සිල්ලර කඩේ, විවිධ වෙළෙඳ බඩු, ඒ කාලයේ ඔතන ලද්දේ 'නිව්ස්පේපර්' වලිනි. මේ නිව්ස්පේපර් තොග වශයෙන් බටහිර පෙදෙස්වලින් ගෙන්වන ලද පුවත්පත්ය. මම ඒ 'පත්තර කෑලි' ද කියවන්නට පුරුදු වූයෙමි. ඉන් ඇතැ‍මක තිබූ දෑ මට තාමත් මතකයි.

පුවත්පත් කියවීමෙන් බුද්ධිය දියුණු වන්නේය යන හැඟීම - දැනුම සරුසාර වේය යන අදහස කුඩා කල පටන්ම මා තුළ තිබිණි. මෙය 'පැහිච්චකමක්' විය හැකිය. එහෙත් එය එසේය.

ලේක්හවුස් ආයතනයේ පුවත්පත්, මගේ අවධානයට ලක්වූයේ ළමා සමයයෙහි පටන්මය. ඒ ප්‍රකාශන අතුරෙන් ඩේලි නිව්ස් පත්‍රය ද මගේ ආදරයට ලක්වූයේය. මෙයට එක් ප්‍රධාන හේතුවක් වූයේ මගේ වැඩිමල් සොයුරා ඒ පුවත්පතට දැක්වූ දැඩි ඇල්මයි. ජීවිත කාලය පුරාම මගේ සොහොයුරා ඒ බැම්ම ඒ ආකාරයෙන්ම පවත්වාගෙන ගියේය.

ඩේලි නිව්ස් පුවත්පත වැඩීගෙන එන මගේ ආදරය දිනාගත්තේ විස්මය දනවන ආකාරයෙනි. ඉතා ඉක්මනින් බුද්ධිය දියුණුකොට ගැනීම සඳහා අවශ්‍ය 'විටමින්' හා 'ප්‍රෝටීන්' එහි අඩංගුව තිබිණැයි මට එදා සිතුණේ විය හැකිය.

ඩේලි නිව්ස් පුවත්පතේ පෙනුමත්, ගුප්තාකාරයකින් මා තුළ සතුටක් දැනවූයේය. අනුක්‍රමයෙන් ඒ පුවත්පතේ අන්තර්ගතයන් කෙරේ මගේ තියුණු අවධානය යොමු වූ‍යේය. පාඨකයා ඒ පුවත්පතට ඇඳ - බැඳගන්නා අංගෝපාංග එහි තිබිණි. ඒ යුගයේ එහි ජනකාන්ත අංගයක් වූයේ එක් ප්‍රකට චිත්‍රයකි. මට මතක හැටියට එය නම් කෙරුණේ 'බ්‍රිගිං අප් ෆාදර්' වශයෙනි.

එහි ප්‍රධාන චරිතය වූයේ මැදියම් වියේ මහත්මයෙකි. ඔහු හැමවිටම පාහේ ඉන්නේ චකිතයෙනි. ඔහුගේ ඉතා නපුරු භාර්යාව, ඔහු දැඩි ලෙස පාලනය කරන්නීය. දවසක් ඒ සැමියා, භාර්යාවට හොරෙන් ගෙයින් බැහැර යයි. ඔහු යන්නේ මත්පැන්සලේ සිය සගයන් හා සමඟ එක්ව, කා - බී විනෝද වන්නයි. ඔහු ඉතාම කැමති ආහාරය නම් 'කෝන්ඩ් බිෆ් සහ ගෝවාය.'

ඔහු ආපසු ගෙට එන විට මඳක් රෑ බෝවී තිබිණි. ඔහු භාර්යාවට හොරා, ගෙට රිංගා ගන්ට බලයි. එහෙත්, නපුරු බිරිය අතේ පිටි අඹරන පොල්ල සහිතව දොර මුල්ලේ සැඟවී සිටී. ඒ තැනැත්තිය ඉන්නේ සිය අකීකරු සැමියා ඉතා ‍හොඳට 'පිළිගන්නට' බව පැහැදිලිය.

ඩේලි නිව්ස් පුවත්පත පාඨකයාගේ බුද්ධිය දියුණු කරන, දැනුමේ නිම්වළලු පුළුල් කරන සාංස්කෘතික සංග්‍රහයක් වූයේය.

ආරම්භයේදී පටන්ම දේශයේ බුද්ධිමතුන්, විශිෂ්ටයින්, දැනුවත්කම් ඇත්තවුන් සහ දේශපාලන නායකයින් ආදී බහුතරයක් 'ඩේලි නිව්ස්' හඬට ඇහුම්කන් දුන්හ. ව්‍යවස්ථාදායකයෝ ඒ 'හඬට' ගරු කළහ.

එදා විජයවර්ධන සමාරම්භකයාණන් අදහස් කළ පරිදිම, 'ඩේලිනිව්ස්' පුවත්පත දේශයේ හෘදය සාක්ෂිය විය. ඒ මට්ටමෙන් ආදරයට - ගෞරවයට පාත්‍ර විය.

එදා ඩේලි නිව්ස් පත්‍රයේ 'කර්තෘට ලියුම්' තීරයේ අදහසක් පළකළ කෙනෙක් වුවද, තරමක උදාරත්වයක් ලබන ගතියක්, සමකාලීන සමාජයේ තිබිණි.

කල් යෑමේදී 'ඩේලි නිව්ස්' පුවත්පත හා සමඟ ඉතා හෘදයාංගම ලෙස බැඳී සිටීමේ වරය මට උදා වූයේය.

1949 මාර්තු මාසයේදී එදා ලේක්හවුස් ආයතනයේ සභාපති පදවියේ සහ පාලක අධ්‍යක්ෂක පදවියේත් සිටි එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා මා ලේක්හවුස් කර්තෘ මණ්ඩලයට බඳවා ගත්තේය.

ආරම්භයේදී මා නියුක්තව සිටියේ 'දිනමිණ' කර්තෘ මණ්ඩලයේය. එදා ‍'ඩේලි නිව්ස්', 'දිනමිණ' කතු මඬුලු සිටියේ ඉතාම කිට්ටුවෙන් හෙයින්, මම දිනමිණ කර්තෘ මණ්ඩලයේදී කායික හා ආධ්‍යාත්මික වශයෙන් ද ඩේලි නිව්ස් පුවත්පතට ඉතාම කිට්ටු වූයෙමි.

මා 'දිනමිණ'ට බැඳුණු හැටියේම වාගේ මට එවකට ඩේලිනිව්ස් පත්‍රයේ කතුවරයාගෙන්, ඉතා අගනා පෞද්ගලික ලියමනක් ලැබිණි. එදා ඩේලි නිව්ස් කතුවරයා වූයේ ජගත් කීර්තිමත් මහා ප්‍රාඥ ආචාර්ය ආනන්ද කුමාරස්වාමි ඉසිවරයාගේ නෑයෙකු වන ජයන්ත පද්මනාභ මහතාය. එතුමා සිය අතින්ම ලියූ හෘදයාංගම ලිපියෙන් මට කියූවේ නිල වශයෙන් දිනමිණ කතු මඬුල්ලේ සිටියද කලා, සංස්කෘති ආදී විෂය බද්ධ මේ හැම දෙයක් ගැන ඩේලි නිව්ස් පත්‍රයටත් ලියන්නැයි කියාය. ඒ පෞද්ගලික ලියමන මා මෑතක් වන තෙක්ම ආරක්ෂාකොටගෙන සිටි නමුත්, දැන් එය සොයාගත නොහේ.

මා දිනමිණට බැඳී නොබෝ දිනකින් මට ඩේලි නිව්ස් කතු මඬුල්ලේ බොනී ෆර්නැන්ඩු මහතාගෙන් ඇරයුමක් ලැබිණි. ඒ වන විට පළවී තිබුණු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ 'යුගාන්තය' ගැන ඩේලි නිව්ස් පුවත්පතට ලියන්නැයි ඒ ඇරයුමෙන් කියවිණි. මා විසින් ඩේලි නිව්ස් පුවත්පතට ලියන ලද 'යුගාන්තය' විචාරය, 1949 මාර්තු 23 වන දින ඩේලි නිව්ස් පුවත්පතේ පළවිය.

එතැන් පටන් මම වරින්වර ඩේලි නිව්ස් පුවත්පතට ලිපි සැපයූවෙමි. ෆිලිප් කුරේ මහතා, ඩේලි නිව්ස් කතු පදවියේ සිටි සමයේදී මම ඒ මහතාගේ ආරාධනයෙන් සිනමාව හා ආශ්‍රිත ලිපි පෙළක් සම්පාදනය කළෙමි.

ඒ මුල් කාලයේ ඩේලි නිව්ස් පුවත්පත පිළිබඳව මගේ අත්දැකීම් සිහිපත් නොකළොත්, හරි නැතැයි මට මේ 'සියවස' මොහොතේ සිතෙයි.

ඒ මුල් කාලයේදී මා දිනමිණෙන් අසුන්ගෙන සිටි තැනට නුදුරු අසුනක ඩේලි නිව්ස් කතු මණ්ඩලයේ අය අසුන්ගෙන සිටියහ.

ඩේලි නිව්ස් කතු මඬුල්ලේ එක් මහතෙක්, දිනපතා ඉතා උදෑසන රාජකාරියට පැමිණෙයි. ඒ තැනැත්තා සිය මේසය පිරිසුදුකොට, අතේ ගෙනා පාර්සලයක් ලාච්චුවේ බහාලා, දුරකථනය අතට ගනී, ඒ අතට ගත් දුරකථනයෙන් ඔහු යටත් පිරිසෙයින් විනාඩි හත අටක්වත් බැනගෙන, බැනගෙන යයි.

ඒ ඇනුම් - බැනුම් අසාගෙන අනෙක් කොනේ ඉන්නේ එදා කොළඹ රොයිටර් ප්‍රවෘත්ති සමාගමේ නිලධාරියෙකු බව පසුව මම දැන ගත්තෙමි.

ඒ බැනුම් 'චිකිත්සාව' සපුරන නිලධාරියා සිය දෛනික 'චිකිත්සාව' සපුරා සන්සුන්ව දවසේ රාජකාරි පටන් ගනී.

ඒ නිලධාරියා, පත්‍රයේ විදේශ ප්‍රවෘත්ති අංශය භාරව සිටියේය. ඔහුගේ අසුන තිබුණෙත් විදේශ ප්‍රවෘත්ති සපයන 'ටෙලි ප්‍රින්ටර්' යන්ත්‍රයට ඉතාම කිට්ටුවයි. එදා ඒ යන්ත්‍රය කර්ණ කඨෝර ඝෝෂාවක් නඟන තරමක් බර යන්ත්‍රයකි. එවැනි යන්ත්‍රයකට කිට්ටුව සිටි නිසා, ඒ නිලධාරියා තුළ කෝපාවිෂ්ටවීමේ ගතියක් හටගන්නට ඇද්දැයි මට සමහර විට සිතිණි.

ඩේලි නිව්ස් පුවත්පතට සියවස පිරෙද්දී සමහර අය මගෙන් විමසනු ලබන ප්‍රශ්නයක් වෙයි. 'ඔබට මේ පුවත්පත්වල මුල් කාලය ගැන 'අතීතකාමී' හැඟීම් ඇති නොවන්නේ දැයි ඔවුහු අසති. එසේ විමසීමට හේතු කාරක වූ ප්‍රධාන සිද්ධියක් ඇත. ඔවුන් සිතන්නේ වයස්ගත හැමදෙනාම අතීතව උද්දාමයෙන් සිහිකරමින් වර්තමානය ගැන නොසතුටුව සිටිතියි කියාය.

මා එවැනි ප්‍රශ්න නඟන අයට ඉතා පැහැදිලිව කියා සිටින්නේ අද ඩේලි නිව්ස් පුවත්පතේ මුහුණුවරට මා ඉතාම කැමති බවයි.

වර්තමාන ඩේලි නිව්ස් පුවත්පතේ 'චරිතය' සකස් වී තිබෙන්නේ කාලයක් මුළුල්ලේ සිදුවීගෙන එන අඛණ්ඩ විකාශනයෙහි, තාත්වික, තර්කානුකූල ප්‍රතිඵලයක් වශයෙනි.

අද ඩේලි නිව්ස් පුවත්පතේ මුද්‍රණ ස්වරූපයත්, එහි නවීන හැඩතලයත් මම සහමුලින්ම අනුමත කරන්නෙමි. අද යුගයේ 'සහස්‍රක' දරු පරපුරේ අයගේ හැඟීම් හා චින්තන රටා සඳහා නිසි ඉඩකඩ සපයන්නට අද ඩේලි නිව්ස් පුවත්පත විසින් දැරෙන ප්‍රශස්ත ප්‍රයත්නය මම, සැබවින්ම අගය කරන්නෙමි.

අද යුගයේ නව පරපුර පෝෂණය ලබන්නේ 'සාමාජික මාධ්‍ය' හා 'බුද්ධිමත්' දුරකථනයත් සිය ප්‍රධාන ආධ්‍යාත්මික ආහාරය කොටගෙනයි. ඔවුන්ගේ අතේ තිබෙන බුද්ධිමත් දුරකථන 'කමටහනෙහි' මූණත සඵල කළ සැණෙන් ඔවුන්ට සිතිය නොහෙන තරම් ඈත ගමන් කළ හැකි වේ. එවැනි පරපුරක් සමාජයට හිතැති යහමඟකට යොමුකරන්නට ඔවුන්ගේ 'බසත්' බුද්ධිමය 'අහරක්' භාවිත කළ යුතුමය.

එහෙත්, මා සිත් පාරන එක්තරා කරුණක් වේ. ජගත් මාධ්‍ය හා සන්නිවේදන ක්ෂේත්‍රයේත් ශීඝ්‍රයෙන් සිදුවීගෙන යන විකාශනයක් වේ. මුද්‍රිත මාධ්‍ය, ඇතැම් තැනෙක ශීඝ්‍ර වේගයෙන් විද්‍යුත් මාවතට (ඔන්ලයින්) එක්වේ.

ශීඝ්‍ර විද්‍යුත් මාවතට එක්වීමේ අභිලාෂය, ඩේලි නිව්ස් පුවත්පතටත් යම් දිනෙක දැනේද?

එහෙත්, මුද්‍රිත මාධ්‍යයීය ඩේලි නිව්ස් පුවත්පතට, ඕනෑම විකාශනයකට ඔරොත්තු දීමේ ජවය ඇති බව මම හොඳින් දන්නෙමි.

කාලය විසින් එල්ල කෙරෙන ඕනෑම අභියෝගයකට අභීතව මූණපා වැජඹෙමින් සීයෙන් තවත් සියයක් කරා සුවදායී ලෙස ගමන් කරන්නට ඩේලි නිව්ස් පුවත්පතට ආශීර්වාද ලැබේවායි හෘදයාංගමව පතමු.

කලාකීර්ති ආචාර්ය
එඩ්වින් ආරියදාස 


නව අදහස දක්වන්න