සියවසක අසිරිය | දිනමිණ

සියවසක අසිරිය

Daily News පුවත්පතට අද සියවසක් පිරෙයි. කවරාකාරයෙන් හෝ ඒ සා කාලයක් යෙහෙන් පැවැත්ම අසිරියෙකි. අනෙක් අතට පුවත්පතක් යනු සමාජයෙහි කැටපතකි. ජන හද ගැස්මෙහි දෝංකාරයකි. එහෙයින් සියවසක පුවත්පතකින් නිරූපණය වන්නේ අන් කිසිවක් නොව, සමාජයෙහි ඉතිහාසයමයි. එහි ආර්ථික දේශපාලන හා සංස්කෘතික ගමන් පථයයි.

Daily News පුවත්පත අරඹන ලද්දේ 1918 ජනවාරි 03 වැනිදා යටත් විජිත සමයයෙහිය. එහෙයින් අප රට නිදහස දිනාගන්නට පෙර සමය සහ නිදහසින් පසු වශයෙන් ඉතිහාසය කොටස් දෙකකට බෙදිය හැකිය. Daily News පුවත්පතෙහි නිර්මාතෘ ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් නිදහස් අරගලයෙහි පුරෝගාමියකු වූ හෙයින් පුවත්පතෙහි පොදු ගමන් මඟ දේශපාලන වශයෙන් නිර්ණය වූයේ එම අරගලයෙහි වුවමනා අනුව නිදහසින් පසු සමය ද යළි අවධි දෙකකට වෙන් වන්නේ පුවත්පතෙහි අයිතිය පෞද්ගලික අංශයෙහි සිට රජයට පවරා ගැනීමත් සමඟය.

මාධ්‍ය ලෝකයෙහි සුපුරුදු ලෙස කවර තැනක වුව සිදුවන පරිදි ඉංග්‍රීසි කියමනක් සඳහන් කරන පරිදි ගායකයාට මුදල් ගෙවන්නා තනුව තෝරයි. ඉහත අවදි දෙකෙහි වෙනස ඒ අනුව එකිනෙක වෙනස් විය. එහෙයින්ම ලේක්හවුස් ප්‍රකාශන පිළිබඳ සමාජයෙන් ලත් ප්‍රතිචාර ද ස්වභාවිකවම විවිධ විය. දැඩි ලෙස දේශපාලනිකව බෙදුණු සමාජයක මාධ්‍යට එම බෙදීමෙන් නිදහස්ව පැවැතිය නොහේ. මෙහි අප අදහස් කරන්නේ එම කරුණ පසෙක තබා පුවත්පතක් ලෙස Daily News ඉටුකළ සහ ඉටුකරන කාර්ය විමැසීමය.

Daily News පුවත්පත සමාජ සිදුවීම් වාර්තා පිළිබඳ හොඳ මූලාශ්‍රයකි. පර්යේෂකයන්ට මෙන්ම ඉතිහාසය හදාරන්නවූන්ට ද එය ප්‍රයෝජනවත්ය. එයට අත්හැරෙන දෑ අල්ප වෙයි. (අත්හරින දෑ වෙනත් කතාවකි)

ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පත් වෙළෙඳ පොළ තුළ මුල්තැනෙහි රැඳෙන්නට Daily News සමත්වීම එහි ගුණාත්මකභවෙහි දර්ශකයකි. දිනපතා පුවත්පත් අතුරින් ස්වභාෂා මාධ්‍ය පුවත්පත් පවා පරයන ශක්තියක් එය සතුයි. තරගකාරී පුවත්පත් කතුවරුන් පවා ඒ ගැන මෙම රචකයාගෙන් විමැසූ අවස්ථා ඇත. අන්තර්ගතයෙහි විවිධත්වය ඊට හේතුවන්නට පුළුවන.

තව දළ ආරම්භයෙහි සිටම Daily News පුවත්පත ඉංග්‍රීසි භාෂාව හදාරන්නවුන් සඳහා අධ්‍යාපනික වැදගත්කමක් දැරීය. එහි කතුවැකි පාසල් පන්ති කාමරයන්හිදී අභ්‍යාස සඳහාද යොදා ගැනිණි. ඉංග්‍රීසි බස හැසිරවීමෙහි නිපුණත්වයක් එහි මාධ්‍යවේදී සහ කතුවරු සතු වූහ. එහෙයින් විශේෂයෙන් රජයට පවරා ගැනීමට පෙරාතුව මාධ්‍යවේදීන් බඳවාගන්නා ලද්දේ දැඩි පරීක්ෂණයකින් පසුවය.

පාඨකයන්ද ඉංග්‍රීසි භාෂාවෙහි අක්ෂර වින්‍යාසය හෝ ව්‍යාකරණය හෝ පිළිබඳ ස්වභාෂා පුවත්පත් පාඨකයනට වඩා විමැසිල්ලෙනුයි පසුවන්නේ. එය සැබැවින්ම යහපත් ප්‍රතිචාරයකි. මුද්‍රණ දෝෂයකින් හෝ අත්වැරැද්දකින් හෝ පද පෙරැළියක් අකුරු මාරුවක් සිදුවුවහොත් දුරකථනයෙන් කතුවරයා වෙත එල්ල වන ඇණුම් බැනුම් උසුළු විසුළු එමටය.

Daily News පුවත්පත ආන්දෝලනාත්මක වාර්තාකරණයෙන් බොහෝදුරට ඈත්ව සිටින අතර වාර්තාකරණයෙහි දක්වන්නේ වඩා වගකිවයුතු තත්ත්වයකි. ඇතැම්විට එය අලෙවිය අතින් පාඩුවක් වන්නටද පුළුවනි. එහෙත් එය මහත්මා පුවත්පතක් ලෙස එය සතු කීර්ති නාමයට රුකුලක් යැයි සිතමි. ඒ හේතුව නිසාම ඇතැම් පුවත්පත් මෙන් ඕපාදූප කථනයට එය දක්වන්නේ මැළිකමකි.

රජයට පවරා ගැනීමෙන් අනතුරුව Daily News පුවත්පත දෙස බොහෝදෙනා බලන්නේ රජයෙහි නිල ප්‍රකාශනයක් ලෙසය. මෙරට තිබෙන විදේශීය රාජ්‍යතාන්ත්‍රික සේවාවන්හි පවා එවන් පිළිගැනීමක් ඇත. එයට එක් හේතුවක් වන්නේ රජයෙහි අයිතිය යටතේ පාලනාධිකාර විසින් දේශපාලන හේතු නිසා පවත්වාගෙන ගිය වාරණ ප්‍රතිපත්ති විය හැකිය. ඇතැම් විට පාඨක සංකල්පනය අනුව එය රජයෙහි අරමුදල්වලින් යැපෙතියි වරදවා වටහාගැනීම විය හැකිය. එහෙත් වචනයෙහි පරිසමාප්ත අර්ථයෙන් ගතහොත් එය එසේ නොවේ. එහි නඩත්තුව සිදුකැරෙන්නේ එයම දැන්වීම් මාර්ගයෙන් උපයා ගන්නා එහිම ආදායමෙන්ය.

ඉංග්‍රීසි මාධ්‍යයෙන් රාජකාරියෙහි නියැළෙන මාධ්‍යවේදීන් බහුතරයක් සිය ශිල්පයෙහි අත්පොත් තබා ඇත්තේ ද Daily News පුවත්පතෙනි. එක් අයුරකින් එය මාධ්‍ය‍ෙව්දීන්ගේ ප්‍රායෝගික පුහුණු පාසලකි.

දියුණු වන රටවල ජනමාධ්‍යයට හුදු පුවත් වාර්තාකරණය ඉක්මවා රටෙහි සංවර්ධනයට දායකවීමෙහි මෙන්ම සමාජ ප්‍රගතියෙහි ඉදිරි ගමනෙහි න්‍යාය පත්‍රය සැකැසීමෙහිලාද වගකීමක් ඇතැයි පැවසේ. ප්‍රගතිය හා පසුගාමීත්වය අතර මැදිහත් පිළිවෙතක් එයට දැරිය නොහැකිය. එහෙයින් ආචීර්ණ කල්පික සහ මිථ්‍යා මත දුරු කිරීමෙහිලා සහ විද්‍යාත්මක චින්තනය පතුරුවාලීමෙහිලා ද එයට වගකීමක් පවතී. එම කාර්යයෙහිලා Daily News පුවත්පත අනල්ප සේවාවක් සපයා තිබේ.

සිය 100 වන ජන්ම දිනයෙහි Daily News පුවත්පත හමුවෙහි නව අභියෝග රැසකි. එක් පැත්තකින් සමස්තයක් වශයෙන් සාම්ප්‍රදායික මුද්‍රිත මාධ්‍යයට සමාජ මාධ්‍ය ජාලයෙන් එල්ල වන තර්ජනය සහ අනෙක් පැත්තෙන් එය කැටුවම යන තරුණ පාඨකයන් ඉවත්වීමය. කඩිනමින් සංවර්ධනය වන තාක්ෂණවේදයට විශේෂයෙන්ම ඩිජිටල් සන්නිවේදන තාක්ෂණවේදයට අනුගතවීම තවත් අභියෝගයකි.

එසේම නිදහස් මාධ්‍ය භාවිතයක් කරා අභීතව පිය නැඟීම වඩාත් හදිසි අභියෝගයයි. යහපාලන ආණ්ඩුව යටතේ ආරම්භයක් ගෙන ඇතත් තව යා යුතු දුර බොහෝවන අතර සිදුකළ යුතු වෙනසෙහි ගැඹුර ද අනල්පය.

චිරං ජයතු Daily News!

ජයතිලක ද සිල්වා

නව අදහස දක්වන්න