බඩු මිලට සංවේදී වීම | දිනමිණ

බඩු මිලට සංවේදී වීම

වසන්ත ප්‍රිය රාමනායක

ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම මහජන මුදලින් පඩි ලබන අදාළ බලධාරින් හා නිලධාරින් ගේ වගකීමකි. අවසානයේ ආණ්ඩුව ගෙදර ගියත් මේ අය යන්නේ නැත. සමහරු සුපුරුදු පරිදි සෑම රජයක් යටතේම මේ ඇඟ බේරා ගැනීමේ නිලධාරීවාදී පිළිවෙත ක්‍රියාත්මක කරනු ඇත.

හාල් ටිකයි පොල් ටිකයි පහසු මිලකට ගන්න පුළුවන්කමක් තිබේ නම් ගෙදර මුළුතැන්ගෙයි ප්‍රශ්නයට යම් විසඳුමක් ලැබෙනු ඇතැයි තවමත් අපේ රටේ ගැමියෝ විශ්වාස කරති. සරල ග්‍රාමීය ජීවිතයේ අනිවාර්ය පැවැත්මට හාල් සහ පොල් අත්‍යාවශ්‍ය ම මූලික ආහාර ද්‍රව්‍ය දෙකකි. අඩුම ගානේ බතක් උයාගෙන පොල් සම්බලක් හදාගෙන යන්තම් කුස පුරවා ගත හැකි වීමේ මූලික හැකියාවක් මේ ද්‍රව්‍ය දෙකටම ඇත. මීට අමතරව තවත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය කීපයක්වත් පහසු මිලකට ලබා ගැනීමට නොහැකි නම් ගෙදර දොරේ ආහාර අවශ්‍යතාව සපුරා ගැනීම ප්‍රශ්නයක් වනු ඇත. එනම් අල, ලූනු, මයිසුර් පරිප්පු, කරවල, හාල් මැස්සන් හා සැමන්ය. හාල්, පොල්වලට අමතරව ඉහත සඳහන් ද්‍රව්‍ය පිනට නොව සහන මිලකට ලබා ගැනීමට හැකියාවක් තිබේ නම් එය ජනතාවගේ පැත්තෙන් සහනයක් වේ. ආණ්ඩුවක් නිතැතින්ම මේ ගැන සැලකිලිමත් විය යුතුය.

විටින් විට එළවළු මිලේ වැඩිවීමක් ඇති වීම විශේෂයෙන් ම දේශගුණික කාරණා මත සිදු වන බව ජනතාව තේරුම් ගෙන සිටී. ඒ නිසා එළවළු මිලේ වැඩිවීම ප්‍රශ්නයක් වුව ද ඉහත සඳහන් අත්‍යාවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය යම් සහනදායි මිලකට ලැබෙන්නේ නම් ගෙදර ආහාර වෙලේ යම් සාධාරණ සමබරතාවයක් ඇති කර ගැනීමට පාරිභෝගිකයා පෙළඹේ. ඒ සඳහා රට කරවන අය සංවේදි විය යුතු ය. එසේ වන්නේ නම් ස්වභාවික උවදුරු නිසා උග්‍ර වී තිබෙන පාරිභෝගික ද්‍රව්‍යවල අර්බුදය ඉවසා දරා ගැනීමට වුව ද ජනතාව පෙළඹේ. ඊට හේතුව අවස්ථාවාදී දේශපාලනඥයන්ට වඩා ජනතාව ඉදිරියෙන් සිටින නිසා ය. එහෙත් එම සංවේදී බව රට කරවන ඇත්තන්ට නොමැති නම් ඔවුන්ගේ මවුපියන් පවා සිහිකරමින් බඩු මිලේ ප්‍රශ්නය සම්බන්ධයෙන්, ජනතාව ආණ්ඩුවේ පතුරු යැවීම ස්වාභාවිකය. සමහර දේශපාලනඥයන් කල්පනා කරන පරිදි පොදුවේ ජනතාව කිසිවක් නොමිලේ හෝ සහනාධාර ලෙසින් ඉල්ලා නොසිටිති. එසේ ම නොමිලේ දෙන දෙයක් නොගෙන සිටීමට ද ඔවුහු අඥානවන්තයෝ නොවෙති. ඊට හේතුව දේශපාලනඥයන් නම් බොහෝ වේලාවට නොමිලේ බෙදන්නේ ආණ්ඩුවේ දේවල්ම මිස තම පෞද්ගලික ධනයෙන් උපයා සපයා ගත් දේවල් නොවන නිසාය.

මේ නිසා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහන මිලට ලබාදීමට වත්මන් ආණ්ඩුව කටයුතු කිරීම ඇරඹුවේ ජීවන වියදම් කමිටුවේ ද නිගමනයට අනුව දැනට මාස කීපයකට පෙර සිට ය. 2018 අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට පෙර මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් අත්‍යාවශ්‍ය භාණ්ඩ කීපයකම බදු ඉවත් කරමින් යම් සහනයක් හා බඩු මිලේ අඩුවීමක් ප්‍රකාශයට පත් කළ බව අපට මතකය. මේ නිසා රජයට අහිමි වූ මුදල රුපියල් මිලියන 1500කි. එහෙත් සමුපාකාරය, ස.තො.ස. වැනි රාජ්‍ය ආයතනවල හැරෙන්න බඩු මිලේ අඩුවීමේ සහනයක් ජනතාවට ලබා දීමට සමහර කූට ව්‍යාපාරිකයෝ කටයුතු නොකළ හ. රු. 160/=ට ස.තො.ස. මගින් අලෙවි කළ ලොකු ලූනු කිලෝව සමහර වෙළෙඳසල්වල දක්නට ලැබුණේ රු. 200/=, රු. 240/=ක් කරම් ඉහළ මිලකටය. පෞද්ගලික අංශයේ සුපිරි වෙළෙඳ ශාලාවල තත්ත්වය ද ඊට සමාන විය. මෙය එක් උදාහරණයක් පමණි.

විවෘත ආර්ථිකයක් ක්‍රියාත්මක වන රටක බඩු මිල සම්බන්ධයෙන් දැඩි අනිවාර්ය මිල ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නැත. එය පවතින ආර්ථික රටාව තුළ ප්‍රායෝගික නොවේ. එසේ වුවහොත් ආහාර හිඟයක් ඇති කර පෝලිම් නිර්මාණය කිරීමට වුව ද වෙළෙඳ පොළ ක්‍රියාකාරිත්වය කටයුතු කිරීමට ඉඩ තිබේ. එසේ ම රාජ්‍ය විරෝධී දේශපාලනයට වාසිදායක ලෙසින් ද එවැනි තත්ත්වයන් නිර්මාණය වීමට ඉඩ තිබේ. මේ නිසා අය වැයට පෙර හා අයවැය මගින් ලබා දෙන ලද බදු සහන හා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අඩු කිරීමෙන් පෙනී යන්නේ මල්ල රැගෙන කඩේ හා පොළේ යන පාරිභෝගිකයා ගැන, ජීවන වියදම් කමිටුවේ අවධානය ලක්ව තිබෙන බවය. පසුගිය දා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල සම්බන්ධයෙන් සංවේදී වී තිබීමෙන් එය පැහැදිලි වේ.

මේ වන විට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කීපයක මිල ස්ථිරව නියම කරමින් පෞද්ගලික වෙළෙඳ සැල් හා වෙළෙඳ ජාලයන් තුළ ද එය ක්‍රියාත්මක විය යුතු බවට රජය දැඩි ස්ථවරයක් පසු වන බව අගමැතිවරයා සඳහන් කරයි. මේ වන විට භාණ්ඩ සදහා අය කළ යුතු උපරිම මිල මට්ටම් ප්‍රකාශයට පත් වී ඇති අතර, ලබන අප්‍රේල් මස දක්වා ම එය ක්‍රියාත්මක කිරීමට රජය පැත්තෙන් අවශ්‍ය තීන්දු තීරණ ගෙන තිබේ. එපමණක් නොව රාජ්‍ය හා පෞද්ගලික අංශය ඒකාබද්ධව අදාළ මිල මට්ටම පවත්වා ගෙන යාමේ යන්ත්‍රණය ද ප්‍රකාශයට පත් කර ඇත.

මීට අයත් වන ආහාර ද්‍රව්‍ය හා මිල ගණන් මෙසේ ය. සම්බා කි. ග්‍රෑම් 1 රු. 71/=යි. නාඩු කි.ග්‍රෑම් රු. 74/=යි. ලොකු ලූනු කි. ග්‍රෑම් රු. 135/=යි. සීනි කි. ග්‍රෑම් 1 රු. 100/=යි. අල කි. ග්‍රෑම්1 රු. 139/=යි. පරිප්පු කි. ග්‍රෑම් රු. 124/=යි, හාල්මැස්සෝ කි. ග්‍රෑම් 515/=යි. සැමන් ටින් (ග්‍රෑම් 425) රු. 127/=යි. බැලූ බැල්ලමට වුව ද මේ මිල ගණන් සාධාරණය. පෞද්ගලික වෙළෙඳසල්වල මෙම මිල මට්ටම ලබන අප්‍රේල් මස දක්වා ක්‍රියාත්මක විය යුතු බව රජයේ ස්ථාවරයයි. ඊට අවැසි යම් අලාභයක් අපහසුතාවක් වෙත් නම් පරිභෝගික ජනතාව වෙනුවෙන් රජය ඒ සඳහා වෙළෙඳ ප්‍රජාව වෙනුවෙන් වුව ද සහන සැපයීමට සූදානමින් සිටී.

මෙතැන සිට සිදු විය යුත්තේ අදාළ මිල මට්ටම් නියමාකාරයෙන් වෙළෙඳසල් මගින් පවත්වාගෙන යන්නේ දැයි සොයා බැලීමයි. ඊට අදාළ රාජ්‍ය ආයතන තිබේ. පාරිභෝගික සේවා අධිකාරිය මේ සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ යුතුව ඇත. අදාළ රාජ්‍ය ආයතනවල අය පිනට වැඩ කරන්නේ නැත. ඔවුන් වැටුප් හා විවිධ දීමනා ලබන්නේ මහජන මුදලිනි. ඒ නිසා මෙතැනි සිට ජනතාව වෙනුවෙන් තම රාජකාරිය ඉටු කිරීම ඔවුන්ගේ වගකීම යි.

සොයා බැලීම් හා වැටලීම් කෙසේ වෙතත් විමසීමක දී පාරිභෝගික සේවා අධිකාරියෙන් අදාළ භාණ්ඩ හා ඒවායේ මිල මට්ටම් ලබා ගැනීමට වුව ද වෙහෙසක් දැරීමට සිදු වේ. එහි සේවය කරන සමහරු දුරකතනයෙන් දුරකතනයට පණිවුඩය හුවමාරු කරමින් වගකීමෙන් මඟහරින ගතියක් දක්නට ලැබේ.

‘ඒක දන්නේ මම නොවෙයි අරයා. මේ අංකයෙන් අහන්න, මෙතනින් අහන්න’..... ආදී වශයෙන් අසන්නා රවුමේ යවන ගතියක් දක්නට ලැබේ. අදාළ මිල ගණන් ගැනවත් වැටහීමක් නොමැති බෝලය පාස් කරන සමහර නිලධාරීන් හෙට අනිද්දා රජය ප්‍රකාශයට පත් කර ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම් කරන්නේ අහවල් ක්‍රමයකට දැයි කියන්න දන්නේ නැත‍.

අවසානයේ ජනතාවට වගකීමට සිදු වන්නේ රට පාලනය කරන දේශපාලනඥයන්ටය. නැත්නම් ආණ්ඩුවටය. ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම මහජන මුදලින් පඩි ලබන අදාළ බලධාරින් හා නිලධාරින් ගේ වගකීමකි. අවසානයේ ආණ්ඩුව ගෙදර ගියත් මේ අය යන්නේ නැත. සමහරු සුපුරුදු පරිදි සෑම රජයක් යටතේම මේ ඇඟ බේරා ගැනීමේ නිලධාරීවාදී පිළිවෙත ක්‍රියාත්මක කරනු ඇත.

තොරතුරු දැන ගැනීමේ පනතට අනුව සෑම ආයතනයකට මහජන මුදලින් පඩි ලබන තොරතුරු නිලධාරිහු පත්ව සිටිති. නැත්නම් ඒ පිළිබඳ වගකීම මේ වන විට පවරන ලද පිරිස් රාජ්‍ය සේවයේ සිටිති. තවමන් සමහර රාජ්‍ය ආයතනවල කිසිවක් නොදන්නා තැනැත්තන් හෝ තැනැත්තියන් බවට පත්ව සිටින්නේ ඒ වාගේ අයය. මේ රටේ බොහෝ මාධ්‍යකරුවෝ තොරතුරු සොයා යෑමේ දී මෙම අත්දැකීමට මුහුණ දෙති.

පසුගිය මසයේ අප රටට බලපෑ ස්වාභාවික විපත් හා දේශගුණික ප්‍රශ්නය මේ රටේ හාල්, පොල්, එළවළු අල, ලූණු වැනි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයුමට බලපා තිබේ. මේ නිසා එම ද්‍රව්‍ය වැඩි වැඩියෙන් පිටරටන් ආනයනය කිරීමට සිදු වී ඇත. පසුගිය සමයේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය සඳහා විදේශවලට ඇදී ගිය මුදල රු. මිලියන 200කි. ස්වාභාවික විපත් හා දේශගුණික කාරන නිසා මෙය වැඩි වූ වා මිස අඩු විමක් විය නොහැකි ය.

කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා 2017. 12. 22 පාර්ලිමේන්තුවේ සඳහන් කළ පරිදි පසුගිය සමයේ ඇති වූ නියඟය 1974 වසරේ අප රට මුහුණ දුන් නියඟයට සමානය. එදා මෙරටට අවශ්‍ය සහල් ප්‍රමාණයෙන් 50 ක්ම ආනයනය කිරීම සිදු විය. එතෙක් මේ වන විට කන්න තුනක් නියඟයට හසු වුව ද ආනයනය කිරීමට සිදු වී තිබෙන සහල් ප්‍රමාණය මො.ටො. ලක්ෂ 4කි. ඉන් ද අදහස් වන්නේ මෙතරම් දරුණු නියඟ තත්ත්වයක් යටතේ වුවද ආනයනය කිරීමට සිදු වි තිබෙන්නේ රටේ සහල් අවශ්‍යතාවෙන් මාස 2කට අවශ්‍ය ප්‍රමාණයයි.

2015 මෙ.ටොන් මිලියන 4.8ක වාර්තාගත අස්වැන්නක් ලැබුණි. එය 2014 ට සාපේක්ෂව 42%ක වර්ධනයකි. එසේ ම 2014 හොක්ටරයාර් 1කට ලබා ගත කි. ග්‍රෑම් ප්‍රමාණය 4264ක් වන විට 2015 එය 4429 දක්වා වැඩ වි තිබේ. අර්බුද හට ගන්නේ 2016 යල කන්නයේ වී නිෂ්පාදනය 2015ට සාපේක්ෂව මො.ටොන් මිලියන 1.5ක් දක්වා 21.9% කින් පහත වැටුණි. මෙය එක් උදාහරණයක් පමණි.

පොල් පලදාවේ තත්ත්වය ද මේ හා සමානය. අපේ රටේ වාර්ෂික පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 3000ක් පමණ වේ. පසුගිය සමයේ පැවැති නියග නිසා එය පොල් ගෙඩි මිලියන 2500 දක්වා පහත වැටුණි. මේ අනුව මිලියන 500ක පමණ හිඟයක් දක්නට ලැබේ. එහෙත් සහල් මෙන් නොව පොල් පිටරටින් ගෙන්වීම තවමත් නීතියෙන් තහනම්ය. ඊට හේතුව විදේශීය පොල් හරහා විවිධ පිලිබෝධක දිවයිනට ඇතුළු විය හැකි නිසාය. මේ නිසා වෙනත් විකල්පයක් භාවිතා කිරීමට සිදුවේ. මෙවන් පසුබිමක පොල් ගෙඩියක මිල රු. 100 ඉක්මවා යෑම ගැන පුදුම විය යුතු නැත. මීට විකල්පයක් ලෙසින් පොල් ගෙඩි වෙනුවට පොල් මද ආනයනය කිරීමට දැනටමත් පෞද්ගලික අංශයෙන් මිල ගණන් කැඳවා කටයුතු කරමින් සිටී.

එළවළු වගාවේ තත්ත්වය එසේමය. 2015 ට සාපේක්ෂව ගත් කල 2016 යල කන්නයේ එළවළු නිෂ්පාදනය 10.4%කින් ඉහළ ගිය ද මහ කන්නයේ එළවළු නිෂ්පාදනය 4.9%කින් අඩු විය. මේ ආකාරයෙන් කාලගුණික විපර්යාස හා ස්වභාවික සම්පත් කෙළින්ම රටේ බඩු මිලේ ප්‍රශ්නයට බලපා තිබෙන බව පැහැදිලිය. මෙය ආණ්ඩුවේ ප්‍රශ්නයක් නොවේ. බලයේ සිටින ඕනෑම රජයකට මීට මුහුණ දීමට සිදුවන්නකි. එහෙත් මේ සියල්ල සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට අදාළ බලධාරීන් හා ආයතන අසමත්ව තිබෙන බවත් දක්නට ලැබේ. නව වසරේ සිටවත් මේ තත්ත්වය වෙනස් විය යුතුව ඇත.


නව අදහස දක්වන්න