පුංචි ඡන්දයේදී කාගෙත් වගකීම් | දිනමිණ

පුංචි ඡන්දයේදී කාගෙත් වගකීම්

අසේල කුරුළුවංශ

ක්‍රියාකාරී මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම්ද සමාජ මාධ්‍ය හමුවේ මොහොතින් මොහොත දැනුවත් වන ජනතාවද නිරන්තර අවධානයෙන් සිටීම සාධාරණ හා නිදහස් මැතිවරණයක් වෙනුවෙන් අත්‍යවශ්‍ය කරුණකි. අද එයද හොඳ මට්ටමකින් ක්‍රියාක්මකය. මැතිවරණ නීතී උල්ලංඝනය වීමක් සිදුවූ සැණින් මාධ්‍ය ඒ ගැන කතා නොකළහොත් ජනතාව ඒ ගැන දැනුවත් කිරීමට සමාජ මධ්‍ය සූදානම්ය. එයද හොඳ ප්‍රවණතාවකි.

දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්ථාපිත කළ ස්වාධීන මැතිවරණ කොමිසම පිහිටුවීමෙන් පසු පැවැත්වෙන ප්‍රථම මැතිවරණය සඳහා දැන් දින නියම වී තිබේ. සාමාන්‍යයෙන් ජාතික මැතිවරණයක් සේ පළාත් පාලන මැතිවරණය නොසලකන නමුත් මෙවර පළාත් පාලන මැතිවරණය ජාතික මැතිවරණයක ස්වරූපයක් ගෙන තිබෙන්නේ එක් පැත්තකින් මෙය ප්‍රධාන දේශපාලන පක්ෂ වල බලය උරගා බැලීමේ සටනක් බවට පත්ව තිබෙන බැවිනි. යහපාලන ආණ්ඩුව පිහිටුවීමෙන් පසු පැවැත්වෙන ප්‍රථම මැතිවරණය වීමත්,වසර 2 1/2 ක ප්‍රමාදයකින් පසුව පළාත් පාලන මැතිවරණය පැවැත් වීමත්,නව මැතිවරණ ක්‍රමයක් යටතේ මෙවර මැතිවරණය පැවැත්වීමත් ඇතුළු කරුණු ගණනාවක් හේතුවෙන් මෙවර පළාත් පාලන මැතිවරණය විශේෂත්වයක් ගෙන තිබේ.

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාවට නැන්වීමේදී ඓතිහාසික වැදගත්මක් ඇති මැතිවරණයක් බවට පළාත් පාලන මැතිවරණය පත් වන්නේ මෙරට ජනතාවට සර්ව ජන ඡන්ද බලය ලැබීමටත් පෙර දහනව වන සියවසේ අග භාගය තුළ කොළඹ,මහනුවර හා ගාල්ල නගර සභා සඳහා සීමිත ජන පිරිසකට ඡන්දය ලබා දීමේ අවකාශ ලැබීම හේතුවෙනි. වර්ෂ 1978 න් පසු දශක හතරකට ආසන්න කාලයක් පැවැති සමානුපාතික මැතිවරණ ක්‍රමය වෙනුවට නව සීමා නිර්ණයකින් පසු මෙවර මැතිවරණය පැවැත්වෙන්නේ දෙමුහුන් ක්‍රමයක් යටතේය. කොට්ඨාස ක්‍රමයට ප්‍රමුඛත්වය ලබා දෙමින් නිර්මිත නව මැතිවරණ ක්‍රමය යටතේ කොට්ඨාස මට්ටමින් මහජන නියෝජිතයින් 60 % ක් තෝරා ගැනීමට නියමිතය. ඉතිරි 40 % තෝරා ගනු ලබන්නේ සමානුපාතික ක්‍රමය යටතේය. මෙතෙක් පැවැති මනාප ඡන්ද ක්‍රමය මෙවර අහෝසි වී තිබීමද විශේෂත්වයකි.

පුංචි ඡන්දයේ ලොකු පමාව

වසර 6 1/2 ක කාලයක් තුළ මෙරට පළාත් පාලන මැතිවරණයක් පවත්වා නොමැත. යහ පාලන ආණ්ඩුව බලයට පැමිණ ජාතික ආණ්ඩු ස්වරූපයේ ආණ්ඩුවක් ක්‍රියාත්මක කර දැන් වසර දෙකකට වැඩි කාලයක් ගතව තිබේ. ගතවූ කාල සීමාව තුළ යහ පාලන ආණ්ඩුව කළ කී දෑ සම්බන්ධව ජනතා තක්සේරුව කොයි ආකාරද යන්න පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට මෙම මැතිවරණයේ ප්‍රතිඵලය තුළින් එක්සත් ජාතික පක්ෂයට මෙන්ම ශ්‍රීලංකා නිදහස් පක්ෂයට අවකාශ සැලසෙනු ඇත. එමෙන්ම ආණ්ඩුවේ වැඩපිළිවෙළ සම්බන්ධව දැඩි විවේචන එල්ල කරමින් සිටින ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී සහාය මත ගොඩනැගුණු ශ්‍රීලංකා පොදු ජන පෙරමුණේ ශක්තිය කොයි ආකාරද යන්න උරගා බැලීමක්ද මෙම මැතිවරණය මගින් සිදුවෙයි. මෙම පසුබිම තුළ සියලු පක්ෂ තම උපරිම ශක්තිය මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් යොදවන බවක් පැහැදිලිව පෙනෙන්නට තිබේ. මේ තුළ මැතිවරණ නීතී උල්ලංඝනය වීමේ පසුබිමක් නිර්මාණය වීමේ අවදානමක් පවතින අතර මැතිවරණ කොමිසමද එය අවබෝධ කර ගනිමින් කටයුතු කරන බවක් පෙනෙන්නට ඇත. දහනව වන ව්‍යවස්ථා සංශෝධනය මගින් බිහිකළ ස්වාධීන මැතිවරණ කොමිසම සම්බන්ධව ජනතාව තබා ඇති විශ්වාසය තහවුරු කිරීම එක් පැත්තකින් මැතිවරණ කොමිසමට අභියෝගයකි.

මැතිවරණ කොමිසම

ස්වාධීන මැතිවරණ කොමිසම පෙර පැවැති මැතිවරණ කොමසාරිස් ප්‍රධාන කොටගත් මැතිවරණ දෙපාර්තුමේන්තුවට වඩා බලවත්ය. මැතිවරණ දෙපාර්තුමේන්තුව පිහිටවනු ලැබුවේ 1955 ඔක්තෝම්බර් මස 01 දිනය. එතැන් පටන් 2015 වර්ෂයේ අගභාගය තෙක් මෙය ක්‍රියාත්මක විය. දහනව වන ව්‍යවස්ථා සංශෝධනයෙන් අනතුරුව ස්වාධීන කොමිෂන් සභා සඳහා නියෝජිතයින් පත් කිරීමත් සමග ස්වාධීන යැයි කියන මැතිවරණ කොමිසමක් අපට ලැබී තිබේ. ඉන්දියාවේ මැතිවරණ කොමිසම තරම්ම බලතලවලින් ශක්තිමක් නොවුණද මෙය පැවැති මැතිවරණ දෙපාර්තුමේන්තුව හා එහි කොමසාරිස්ට වඩා බලගතු බව කවුරුත් පිළිගත යුතු සත්‍යයකි. ව්‍යවස්ථාමය වගකීමක් ලෙස ස්වාධීන මැතිවරණ පැවැත්වීම කොමිසමේ ප්‍රධාන කර්යභාරයකි.

දහනව වන ව්‍යවස්ථා සංශෝධනය මගින් නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම පිණිස අවශ්‍ය පසුබිම සකස් කිරීම හා ඊට අවශ්‍ය කාරණා සම්පූර්ණ කිරීම ජනපති කාර්යයක් බවටද පත්කර තිබේ. මේ නිසා මැතිවරණ දූෂණවල යෙදීමට මේ ව්‍යවස්ථාව යටතේ ජනපතිටද නුපුළුවන. ඔහුද මැතිවරණ කොමසාරිස් මෙන්ම ස්වාධීන හා නිදහස් මැතිවරණ පැවැත්වීමට වගකීමෙන් බැඳී සිටියි. යම් හෙයකින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් නොපැවැත්වෙන්නේ නම් එය 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ අසාර්ථක භාවය පෙන්නුම් කරන්නකි.

මැතිවරණ කොමිසමට අමතතරව ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම,පොලිස් කොමිසම හා මානව හිමිකම් කොමිසමක් ද දැන් ක්‍රියාත්මකය. නිදහස් හා සාධරණ මැතිවරණයක් පැවැත්වීම යන කාරණයේදී මැතිවරණ කොමිෂන් සභාවට අනෙක් කොමිෂන් සභා තුනේ සහායද අතවශ්‍යය. එකිනෙකට බද්ධ වූ වගකීම් සමුදායක් මෙම කාල සීමාව තුළ මෙම කොමිෂන් සභාවන්ට පැවරී තිබෙන අතර ඔවුන් ඒවා නිවැරදිව අවබෝධ කර ගනිමින් කටයුතු කිරීම ඉතා වැදගත්ය. ඇත්තෙන්ම මෙය 19 වන ව්‍යවස්ථා සංශෝධනය උරගා බැලීමක් ලෙසද අර්ථකතනය කළ හැකිය.

මැතිවරණ දෙපාර්තුමේන්තුව තුළ කටයුතු කරමින් මැතිවරණ කොමසාරිස් ධූරයටද පත්ව දිගු කාලීන අත්දැකීම් ඇති අයකු මැතිවරණ කොමිසමේ සභාපති ලෙස කටයුතු කිරීම සුබ ලකුණකි. කොමිසම මගින් ලැබී ඇති බලතල මෙන්ම දීර්ඝ කාලීන සේවා අද්දැකීම්ද උපයෝගි කරමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා පාර කැපීම ඔහුට එතරම් අපහසු කටයුත්තක් නොවන්නේය. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත් වීම පිණිස අපේ රටේ පවතින මැතිවරණ නීතී හොඳටම ප්‍රමාණත්වය.

ඡන්ද නීතිය එදා-අද

1956 බණ්ඩාරනායක මහතා අගමැති ධූරයට පත් වීමෙන් පසු මෙම නීතී රීතී සකස් විය. ඔහු මහජන එක්සත් පෙරමුණ යටතේ තරග කර 1956 අගමැති ධූරයට පත්වූ පසු ලංකාවේ මැතිවරණ නීතී ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකට අවශ්‍ය ලෙස වෙනස් කළේය. ඡන්ද පෝස්ටර් හා කටවුට් ප්‍රදර්ශනය, පත්‍රිකා බෙදීම, අපේක්ෂක කාර්යාල පවත්වා ගෙන යෑම, පෙළපාලි යාම ආදි කරුණු සම්බන්ධ වර්තමානයේ පවතින නීතී හා සීමාවලට මග පෑදුණේ බණ්ඩාරනායක මහතා එදා ගත් ක්‍රියාමාර්ග නිසාය.

1959 සම්මත කළ මැතිවරණ නීතියෙන් හා 1964 සම්මත කළ පාර්ලිමේන්තු මැතිවරණ පනතින් මෙරට මැතිවරණ පැවැත්වීමේ කාර්යභාරය සදහා ප්‍රජාතන්ත්‍රවාදී පදනමක් වැටුණු අතර අද එය දියුණු රටක පවතින තත්ත්වය හා සමගාමීව පවතී. 1971 මහ මැතිවරණය පිළිබද විවරණයක් කරමින් මහචාර්ය ඒ. ජේ විල්සන් 1970 මහතා පැවසුවේ දියුණු රටවල මැතිවරණ පැවැත් වීමේදී දක්නට ලැබෙන මැතිවරණ නීතී මෙරට දක්නට ලැබෙන බවයි. මැතිවරණ නීතී තිබූ පමණින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත් වීමට ඉඩකඩ සකස් නොවන අතර වඩා වැදගත් වන්නේ පවතින නීතී හරියාකාරව ක්‍රියාත්මක වීමයි. පවතින මැතිවරණ නීතී හෝ නිසි අයුරින් ක්‍රියාමක නොවන බවක් පසුගිය මැතිවරණවලදී අපට දක්නට ලැබිණි.

සමාජයේ වගකීම

කොමසාරිස්වරයා මූලීක කරගත් මැතිවරණ දෙපාර්තුමේන්තුවට ප්‍රමාණවත් බලතල නොදීම,එහි ස්වාධීනත්වයට විධායක ජනපති ධූරය අවහිරයක් වීම, දේශපාලන පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයෙන් ඔබ්බට ගොස් කටයුතු කිරීම, සිවිල් සමාජය දුර්වල වීම, ජනමාධ්‍ය මධ්‍යස්ථ නොවීම වැනි කරුණු රැසක් මෙම තත්ත්වයට බලපෑ බව කවුරුත් දන්නා සත්‍යයකි. කලක් අප අත්විදි මෙම අමිහිරි අත්දැකීම්වලින් ගොඩ ඒම පිණිස 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් බලවත් වටපිටාවක් අද නිර්මාණය වී තිබේ. දැනුවත් සිවිල් සමාජයක් දැන් අපට තිබේ. සෝභිත හිමිගේ අගමනයත් සමඟ සිවිල් සමාජ සංවිධාන ශක්තිමත්වූ බව නොරහසකි. උන්වහන්සේගේ අපවත් වීමෙන් පසුද එම සංවිධාන විධිමත් මැදිහත් වීමක් සමාජ ප්‍රශ්නවලදී සිදුකරන බවක් පෙනෙනන්ට ඇත.

ක්‍රියාකාරී මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම්ද සමාජ මාධ්‍යය හමුවේ මොහොතින් මොහොත දැනුවත් වන ජනතාවද නිරන්තර අවධානයෙන් සිටීම සාධාරණ හා නිදහස් මැතිවරණයක් වෙනුවෙන් අත්‍යවශ්‍ය කරුණකි. අද එයද හොඳ මට්ටමකින් ක්‍රියාක්මකය. මැතිවරණ නීතී උල්ලංඝනය වීමක් සිදුවූ සැණින් මාධ්‍යය ඒ ගැන කතා නොකළහොත් ජනතාව ඒ ගැන දැනුවත් කිරීමට සමාජ මධ්‍යය සූදානම්ය. එයද හොඳ ප්‍රවණතාවකි.

නිදහස් හා සාධරණ මැතිවරණයක් පැවැත් වීම පිණිස ඕනෑම තින්දුවක් ගැනීමේ හැකියාව කොමිසමට තිබේ. මැතිවරණ දින ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ප්‍රධාන පක්ෂවල නියෝජිතයින් සමග කොමිසමේ සභාපතිවරයා සාකච්ඡාවක් පවත්වා මැතිවරණ නීතී උල්ලංඝනය වන අවස්ථා මගහරවා ගැනීම පිණිස එකඟතා රැසක් ඇතිකර ගත්තේය. ඡන්ද කොට්ඨාසයක් තුළ එක් අපේක්ෂකයකුට පවත්වා ගෙන යා හැක්කේ එක් අපේක්ෂක කාර්යාලයක් පමණි. කොට්ඨාසය පුරා පෝස්ටර් ඇලවීම තහනම්ය. තවත් කරුණු රැසක් සම්බන්ධයෙන් ඇති කර ගත් එකඟතා රැකීම පක්ෂවල මෙන්ම අපේක්ෂකයන්ගේ ද වගකීමය. පවතින ඡන්ද ක්‍රමය ද මැතිවරණ නීතී උල්ලංඝනය යම් ප්‍රමාණයකට අඩු වීමට හේතුවනු ඇත. පෙර පැවැති මනාප ක්‍රමය අනුව අපේක්ෂකයෝ පෝස්ටර් යුද්ධයක නිරත වී සිටියහ. එකම පක්ෂයේ අපේක්ෂකයන් අතර පවා ගැටුම් ඇතිවන තත්ත්වයක් දක්නට ලැබිණි. තමන්ගේ ඡන්ද බල ප්‍රදේශය පුළුල් වීම නිසා ඔවුන්ට ගෙන් ගෙට යෑම අසීරු වීමේ ප්‍රතිඵලයක් ලෙස පෝස්ටර් ඇලවීම මහ පරිමාණයෙන් කරන්නට සිදුවිය. දැන් එවැනි තත්ත්වයක් නොමැති නිසා අපේක්ෂකයින්ට මැතිවරණ නීති උල්ලංඝනය කළා කියා ලැබෙන අමතර වාසියක් නොමැත. මෙය එක් පැත්තකින් මැතිවරණ නීතී උල්ලංඝණය වීම් අවම වීමට හේතුවනු ඇතැයි විශ්වාස කළ හැකිය.

පක්ෂ දෙකේ වගකීම

මෙය යහ පාලනය මූලික කරගත් ප්‍රජාත්නත්‍රවාදය ගරු කරන ආණ්ඩුවක් බව ජනතාවට එත්තු ගැන්වීම සඳහා මැතිවරණය නිදහස් හා සාධාරණ ලෙස පැවැත්වීමට මැතිවරණ කොමිසමට අවශ්‍ය උපරිම සහාය ලබා දීම එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වගකීමය. සෑම විටම නිදහස, සාධාරණත්වය හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කතා කරන හිටපු ජනපති ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමටද මැතිවරණය සාධාරණ ලෙස පැවැත්වීම පිණිස සහයෝගය ලබා දීමේ වගකීමක් තිබේ. එසේ නොවුණ හොත් මෙම කණ්ඩායම් තුනම ප්‍රබල වශයෙන් ජනතා අප්‍රසාදයට ලක්වනු නොඅනුමානය. එසේ කරන්නට සිවිල් සමාජය සූදානම් විය යුතුය. මේ කණ්ඩායම් තුන ප්‍රධාන වශයෙන් මැතිවරණ නීතී උල්ලංඝනය කරනවාද කියන කාරණය ගැන ජනතාව උනන්දු වීම වැදගත්ය.

ජනතා විමුක්ති පෙරමුණ සාමාන්‍යයෙන් මැතිවරණ නීති උලල්ඝණය කරන අවස්ථා අඩුය. මනාප ක්‍රමය ක්‍රියාත්මක වෙත්දී පවා ඔවුන් ක්‍රියා කළේ අනෙක් පක්ෂවලට ආදර්ශයක් වන අකාරයටය.

මැතිවරණ සමයේ පොලීසියට අවශ්‍ය නියෝග ලබා දීමේ බලය මැතිවරණ කොමිසමට තිබේ. එම නියෝග අනුව කටයුතු කිරීම පොලීසියේ වගකීමකි. රාජ්‍ය සේවා කොමිසම ක්‍රියාත්මකව තිබීම වැදගත්ය. රාජ්‍ය සේවකයන්ගේ විශාල දායකත්වයක් මැතිවරණයේදී ලැබෙන බැවින් ඔවුන්ද ස්වාධීනව කටයුතු කිරීම වැදගත්ය.

මැතිවරණ දින කිහිපයක් තුළ පමණක් සිදු කෙරෙන නිරීක්ෂණ මගින් මැතිවරණයක නිදහස් හා සාධාරණ බව තීන්දු කිරීම එතරම් යෝග්‍යය නොවූවද මේ වනවිට ලොව පුරා සිදු කෙරෙන්නේ එවැනි ක්‍රියාවලියකි. මැතිවරණයකට දින පහකට පමණ පෙර මෙරටට පැමිණෙන විදේශීය නිරීක්ෂකයන් එම කාලය තුළ සිදුවන සිදුවීම් ක්‍රියාවලිය සම්බන්ධ වාර්තාවක් එළි දක්වයි. දැනට දශක තුනක පමණ කාලයක සිට මෙම ක්‍රියාවලිය සිදු විය. මැතිවරණයක නිදහස් හා සාධාරණ බව තක්සේරු කළ හැක්කේ මුල සිටම සිදු කරනු ලබන ක්‍රියාවලියක් ඔස්සේය. ඡන්ද කොට්ඨාස බෙදා වෙන් කරන අවස්ථාවේ සියලු පක්ෂවලට සාධාරණත්වයක් සිදුවිය යුතුය. ජන කොටස් අතර විරසකභාවයක් ගොඩ නොනැගෙන සේ එය සිදුවීමද වැදගත්ය.

නිරීක්ෂක කාර්යභාරය

ඡන්දදායකයන් ලියාපදිංචියේදී අගතීන් සිදුවීම තවත් කාරණයකි. පක්ෂ මගින් නාම යෝජනා ලබා දීමේදී අසාධාරණ සිදු වෙන අවස්ථා කොතෙකුත් තිබේ. නාම යෝජනා ලබා දීමේදී සියලු පක්ෂවලට සාධාරණයක් ඉටු කිරීමට දිස්ත්‍රික් මට්ටමින් මැතිවරණ කොමිසමේ කාර්යභාරය ඉටු කරන දිස්ත්‍රික් නිලධාරීන් කටයුතු කරන්නේද යන්න සොයා බැලිය යුතුය. දේශපාලන විද්‍යාඥයන් හෝ මැතිවරණ නීරීක්ෂක කණ්ඩායම් අතර හෝ මේ සම්බන්ධ නිර්නායක පිළිබඳව ජාත්‍යන්තර මට්ටමේ එකඟතාවක් මෙතෙක් නොමැති වීම විශාල අඩුවකි. නාම යෝජනා බාර දීමේ සිට ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම දක්වා පමණක් වන ක්‍රියාවලිය නිරීක්ෂණය කර නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වූ බවට තීන්දු කිරීම එතරම් සාධාරණ නැත.

මැතිවරණයක නිදහස පමණක් ආරක්ෂා වී සාධාරණත්වය නොරැකී තිබිය හැකිය. මැතිවරණයක සාධාරණ බව තීරණය කෙරෙන නිර්නායක මෙන්ම නිදහස් බව තහවුරු කෙරෙන නිර්නායක වෙන් වශයෙන් තිබේ. මැතිවරණය නිදහස් හා සාධාරණ යැයි කිව හැක්කේ මෙම නිර්නායක එකට එකතු වී ගැලපීම මගිනි. ජනතාව අවධියෙන් සිටින්නේ නම් මැතිවරණ නීතී උල්ලංඝනය කිරීම අපහසුය.

නීතී රීතී හා එකඟතා උල්ලංඝනය කරමින් මැතිවරණ ව්‍යාපාරයේ නිරතවන අපේකෂකයන් ප්‍රතික්ෂේප කිරීමට ජනතාව එකඟතාවක් ඇතිකර ගත යුතුය. ජනතාව වැරදි අනුමත නොකරන බව දේශපාලකයන්ට ඒත්තු ගැන්වීම වැදගත්ය. එසේ වුවහොත් දේශපාලකයන් වැරදි කිරීමෙන් යම් පමණකට හෝ ඈත් වීමට උත්සාහ කරනු ඇත. සාධාරණ හා නිදහස් මැතිවරණයක් සඳහා හොඳ නීතී හා හොඳ නිලධාරීන් සිටීම පමණක් ප්‍රමාණවත් නොවන්නේය. ඒ සඳහා අදාළ නීති අකුරටම ක්‍රියාත්මක වීම වඩා වැදගත්ය. මේ වනවිට එය සාධනීය මට්ටමකින් සිදුවන බවක් පෙනෙන්නට තිබීම යහපත් ප්‍රවණතාවකි.


නව අදහස දක්වන්න