පරාර්ථකාමි කත සාහිත්‍යයට ගෙනාවා | දිනමිණ

පරාර්ථකාමි කත සාහිත්‍යයට ගෙනාවා

තුෂාරි අබේසේකර

ප්‍රවීණ සිත්තරාවියක, කිවිඳියක හා ප්‍රකට සිනමාකාරියක ද වූ මාතාහරි ජයප්‍රධා නාරායන් නමැති මනඃකල්පිත තැනැත්තියගේ ජීවිත කතාව ඇතුළත් ‘මාතා’ ග්‍රන්ථය, අපේ රටේ දක්ෂ ලේඛිකාවක් වන තුෂාරි අබේසේකරයන්ගේ නවතම ග්‍රන්ථයයි. ලාබයි ඇපල්, සුදු කපුරු පෙති, ස්නේහයේ දාසි, සිහින දූවිලි, ගංගා තොමෝ ඇතුළු ග්‍රන්ථ රැසක් ඇගේ පන්හි‍ඳෙන් දැනටමත් දායාද වී හමාර ය. ඇය ලේඛනකරණයට අමතරව රූප මාධ්‍යයෙන් ද කටයුතු කරන දක්ෂ කලාකාරිනියකි. මාතෘත්වය විදහා දක්වන ‘මාතා’, පිළිබඳ තුෂාරි අබේසේකර සමඟ කළ සාකච්ඡාවකි මේ.

බොහෝම කෙටියෙන් මට කියන්න තියෙන්නේ, මගේ හිත ඇතුළෙ, මගේ ඇස් දෙක යට නිධන්ගත වෙලා සිටි චරිත ටිකක් මං ඩිමයි කොළ උඩට ගෙනාවා. මාතා මඟින් එළියට ගෙනාවා කියන එකයි. මං හිතේ තැන්පත් කරගෙන සිටි යම් කිසි මතක, මං කෘතියක් මඟින් නිර්මාණය කළා. නැවත බැලීමක් කළා.

ඔබට ‘මාතා’ කතාව ලියන්න හේතු වුණු අත්දැකීමක් තියෙනවාද? නැතිනම් සත්‍ය සිදුවීමක් ඇසුරින් ගොඩනඟපු කතාවක්ද?

සත්‍ය සිදුවීමක් නම් නෙමෙයි. ඒත් , සත්‍ය සිදුවීම් මේ කතාව ඇතුළේ බොහොමයක් තියෙනවා. ඒවා මගේ ජීවිතයෙන් මං ගත්ත ඒවා සහ නිර්මාණකාරියක් ලෙස, මේ රටේ මිනිසුන්ගේ හා ගැහැනුන්ගේ ජීවිත ඇතුළ දැකපු ආකාරයයි. මම ඒ පිළිබඳ ලියන්න හිතුවා. බොහෝ වෙලාවට අපි කියවන සමහර නිර්මාණවල, ඒක එහෙන් මෙහෙන් ලියූ බවක් පෙනෙන්න තියෙනවනෙ. මට හිතුණා මේ කොළඹ පරිසරයට මං මගේ ගමෙන් ගැහැනියක් ගෙනත්, ඒ ගැහැනිය ගැන නිර්වචනය කරනවා කියලා. ඒක තමයි මාතා පොත පුරාම තියෙන්නෙ. ඒ කියන්නෙ දැරියක්, ගැහැනියක්, මවක් හැටියට , කාන්තාවක් හැටියට ජීවිතයට මුහුණ දෙන ආකාරය කියලා විග්‍රහ කරන්න පුළුවන්.

මාතාහරි ජයප්‍රධා නාරායන ඇය යකඩ ගැහැනියක්. ඔබ කොහොමද මෙය දකින්නෙ?

මේ පොත කියවලා ඉවර කරන ඕනෑම අයෙකුට ඒක ඔප්පු වෙනවා. සාමාන්‍යයෙන් මගේ ජීවිතයේ මං යකඩ ගැහැනියක් කියලා කාට හරි කියන්නෙ, ඒ ගැහැනිය තුළ තියෙන්න ඕන අපූරු මාතෘත්වයක්. ඒ ගැහැනිය තුළ තියෙන්න ඕන අපූරු ධෛර්යවන්තකමක්. ඒ වගේම ඒ ගැහැනිය තුළ තියෙන්න ඕන මෛත්‍රිය, කරුණාව වගේ දේ. හැබැයි ඒ ගැහැනිය ඒ සියල්ල අතින් අරගෙන,පැහැදිලි මනසකින් ජීවිතාන්තය දක්වා ගමන් කරන්න පුළුවන් වෙන්න ඕනැ . එහෙම ගැහැනියකට මම කියනවා 'යකඩ ගැහැනියක්' කියලා. බොහෝ අයට මේ සියලු ම දේ අරගෙන ඉදිරියට යන්න බෑ. මොකක් හරි හේතුවකට අතරමඟ කඩා වැටෙනවා. ඒත්, මේ මාතාහරි නාරායන මේ සියලු දේ අතින් අරගෙන, එයාගෙ ගමනාන්තය දක්වා ගියා. ඒ නිසා තමයි මාතාහරි ට මං යකඩ ගැහැනියක් කියා කියලා තියෙන්නෙ.

මෙහි කතා දෙකක් කියැවෙනවා. ඒ කියන්නෙ මෙහි කතා නායිකාවගේ වර්තමාන කතාව හා අතීත කතාව. ඒ ආකෘතිය ඔබ ඉතා හොඳින් ගළපගෙන සිදුවීම් පෙළ ඉදිරිපත් කර තිබෙනවා.

ඒක මෙහෙමයි. සාමාන්‍යයෙන් දැන් සාහිත්‍ය පරිශීලනයේදී අපි, දැන් මම සාහිත්‍යධරියක් නිසා, සාහිත්‍යත් එක්ක නිතර ගැවසෙන නිසා මට ඕනකමක් තියෙනවා. හැම තිස්සෙම මං කරන නිර්මාණයකින් යම් කිසි අඩියක් උඩට තියන්න. ඒ කියන්නෙ දැන් ලෝකය එක යායක් කියලා අපි හැමෝම එක එක ආකාරයේ දියුණු තලවලට ගිහින් තියෙනවානෙ. තාක්ෂණය පැත්තෙන් ගත්තත් එහෙමයි. මේ විදිහට හැම දේකින්ම අපි ඉස්සරහට ගිහින් ඉන්නවා. මට ඕන වුණා මගේ සාහිත්‍යකරණය ඇතුළේ හැම පොතක්ම ඔය වගේ කරන්න.

ඒ කිව්වෙ මොකක් හරි වියමනක්, ආකෘතියක් මං ඒකට හදාගන්නවා. ඒ හදා ගත්ත ආකෘතිය ඇතුළෙ තමයි මේ අතීත කතාව හා වර්තමාන කතාව ඇතුළත්ව අපූරු වියමනක් වෙලා පේන්නෙ. ඒක ලේඛකයකුට හරි අමාරුයි. ඒත්, මං වෙනස් වෙනස් ආකෘති මගේ පොත් සඳහා යොදා ගන්නවා. ඒ ඒ කතාවට ආවේණික රිද්මයක්. ගැළපෙන රිද්මයක් මං හොයා ගන්නවා. ඒ හැම නිර්මාණයක්ම ඉදිරිපත් කරන්න මං වෙනස් විදිහක් සොයා ගන්නවා.

මාතා, ළමයි පස්දෙනකුට අම්මා කෙනෙක් වෙනවා. ඒ මඟින් මාතෘත්වය ඉතා ඉහළින් කැපී පෙනෙනවා . ඇය සමස්ත කාන්තා පරපුරටම ආදර්ශයක් කිව්වොත්, ඔබ කොහොමද එය විග්‍රහ කරන්නෙ?

මාතා ආදර්ශමත් කාන්තාවක් තමයි. තුෂාරි අබේසේකර හැටියට මටත් ඉන්නවා ඔය වගේ දරුවො. ඒ කියන්නෙ මගේ දරුවෝ සහ මගේ සහෝදරයන්ගේ දරුවො. මං අදටත් ඒ අයට බොහොම ආදරෙයි. මට පුළුවන් විදිහට මං ඒ අයට උදවු කරනවා. මේ හැමෝටම අම්මා තමා මම. ඒ නිසා මම කැමැතිම මාතෘකාව තමයි මේ ලෝකයේ මාතෘත්වය කියන එක සහ අම්මා කියන වචනය. ඒ වචනවලට මං හරි ආදරෙයි.

අම්මා කෙනෙක් ඇතුළෙ මං හිතන්නෙ මේ ලෝකෙ හැම අම්මා කෙනෙක්ටම හැම දරුවෙක්ම තමුන්ගේ කියලා හිතන්න පුළුවන් වුණොත්, හරි ලස්සන වෙනවා මේ ලෝකෙ. ඒ චින්තනයෙන් තමා මං මගේ වැඩකටයුතු කරගෙන යන්නෙ. ඒක තමයි මාතා පොත පුරාම තිබෙන්නෙ. මාතා පොත සෑම දැරියයක්ම, සෑම මවක්ම කියවිය යුතු පොතක් විදිහට අධ්‍යාපන දෙපාර්තමේන්තුව ‍තෝරගෙන ඉවරයි. ඒ ගැන මං සතුටු වෙනවා.

ඕනම කෙනෙක් අතට ගියාම ඒ ගොල්ලො තේරුම් ගනියි මවක් කියන්නෙ කවුද කියන එක. ඒ වගේම මාතා බොහොම කෙටි කාලයකින් දෙවැනි මුද්‍රණයටත් ගියා. එය බොහොම සාඩම්බරව රට පුරා යනවා. ඒ ගැන මට හැම අතින්ම සතුටු යි.

මාතා ඉගෙනීමටත් ඉතා දක්ෂයි. කැමැතියි. නොයෙකුත් ප්‍රශ්න මධ්‍යයේ ඇය උසස් අධ්‍යාපනය තෙක් යනවා. ඇය විභාගවලින් ඉහළින් ම සමත් වෙනවා. ඒත් ඇයට නොයෙකුත් ප්‍රශ්න පැමිණියා. මෙය කොහොමද ඔබ දකින්නෙ?

මෙහෙමයි. මට අවශ්‍ය වුණා ගැහැනු දැරියක් පුංචි කාලයේ සිට මොන තරම් ධෛර්යවන්තව කටයුතු කරන්න ඕනද කියන එක මගේ සාහිත්‍යකරණය ඇතුළෙ කතා කරන්න .ධෛර්යවන්තකම එක්කම අධිෂ්ඨානශීලී බව සහ කැපවීම, උත්සාහය යන කාරණා එකතු වුණොත්, ඕනම තැනකට යන්න පුළුවන්නෙ. මං මාතා මඟින් බැලුවෙත් එයයි. මං පාසල්වලට ගිහින් තියෙනවා.

දේශන පවත්වලා තියෙනවා. ඒ හැම තැනකම මං දැකලා තියෙන්නෙ, මේ විභාග ප්‍රතිඵල හරියට පෙන්න ගන්න බැරිවුණු දරුවො, එක්කො කෝච්චියට පනිනවා, නැත්නම් එල්ලිලා මැරෙනවා. සාමාන්‍යයෙන් අම්මා මොනවා හරි වචනයක් කිව්වා කියලා හිත රිදිලා වහ බීපු ළමයි ඉන්නවා. දිවි නසාගන්න ළමයි ඉන්නවා. මට අවශ්‍ය වුණේ, මේ කියන නිර්මාණ ඇතුළෙ එහෙම දරුවකුට ජීවිතය දරා ගන්නවා කියන්නෙ මෙන්න මේකයි කියන දේ පෙන්වන්නයි. අපි ඕනම කෙනකුට ඕනම දෙයක් කරන්න පුළුවන්. හැබැයි උත්සාහය සහ ඒ වෙනුවෙන් කැපවීම තියෙන්න ඕනැ. ඒක තමයි ඔබ මාතා මඟින් දකින්නෙ. මාතා ඒ සියලු ප්‍රශ්න උඩ අධ්‍යාපනය කියන දේ කරගෙන යන ආකාරය ඔබට මේ කෘතිය කියෙව්වොත් වටහා ගන්න හැකි වේවි.

මාතාහරි කකුලේ ආබාධයක් ඇතුවත් ඉතාමත් ධෛර්යෙන් ජීවිතයට මුහුණ දුන් කාන්තාවක්. ඇයට අවසානයේ කිහිලිකරු ආධාරයෙන් හා රෝද පුටුවක ආධාරයෙන් යාමට සිදු වුණා. ඒ ආශ්‍රයෙන් ගත්තහම, ඔබ මේ චරිතය යොදා ගත්තෙ සමාජයට ආදර්ශයක් දෙන්නද?

ඒක මෙහෙමයි. ඔය වියමන ගත්විට, ඒ කියන්නෙ ඔබගේ අතේ තියෙන ඔය මාතා පොතෙහි වියමන ගත්තහම, එහි එකකට එකක් සම්බන්ධතාව බොහොම සියුම් විදිහට තියාගෙන යනවා. මාතා, සීයාගේ මරණ දවසේ මුහුදු වෙරළෙදි ගලක හැප්පිලා වැටෙන එක, ඒ සියුම් සම්බන්ධතාව පෙන්වන එක අවස්ථාවක් . ඒක තමා එයා නොදැනුවත්වම ජීවිත කාලෙම එයාගේ ශරීරය පුරා දුවන්නෙ. ඒ තුළ තමා අවසානය මං නිර්මාණය කර තිබෙන්නෙ. අවසානයේ, මාතා දන්නෙම නැතුව ඒක පිළිකාවක් බවට පත්වෙලා මැරෙනවා. මෙහිදී ලොකුම කාරණය තියෙන්නෙ ඔය කියන සාහිත්‍ය ඇතුළෙ. ඔය වියමන ඇතුළෙ.

මට කියන්න ඕන වුණේ අනෙක් පැත්තෙන් මාතා කවදාවත් එයා ගැන හිතලා නෑ. එයාගෙ අසනීපය ගැන හිතලා නෑ. මෙතනදී මගෙන් ඇතැම් මාධ්‍ය අහපු දෙයක් තමා, ඒ වගේ පරාර්ථකාමී කාන්තාවො ජීවත් වෙනවාද කියන එක. ජීවත් වෙන්න පුළුවන්ද? කියන එක. ඇත්තටම ඔව්. එහෙම අය ඉන්නවා. අනන්තවත් ඉන්නවා. දරු ප්‍රසූතිකාගාරයේ ඉඳන් ම දරුවො හදලා, ලොකු මහත් කරලා, පිටරටවලට යවලා, ලොකු නම්බු නාම ගන්න, දරුවන් වෙනුවෙන් කොච්චර පරාර්ථකාමී අම්මලා ඉන්නවද? මේවා තමා ඔබ අහපු දේට හේතු කාරණා වී තියෙන්නෙ.

සමස්තයක් විදිහට මාතා පොත ගැන ඔබට කියන්න තියෙන්නේ මොනවාද?

දැනට මට විවේචන, චෝදනා මොකුත් ම නො ආව මගේ එකම පොත මේ කෘතිය වෙන්න ඇති. මගේ සාහිත්‍යකරණ අත්දැකීම් සමඟ මම බොහොම උත්සාහ ගත්තා මං මොන විදිහටද ගමන් කරන්නේ කියලා. ඒ කියන්නෙ බොහොම සියුම් තලයක් උඩ ගමන් කරනවා වාගේ තමා මං ඔය නිර්මාණය කළේ. අතිශය සියුම් විදිහට මිනිසුන්ගේ හිත ඇතුළට මාතා රිංගනවා. ඒ රිංගලා පොත අතින් බිම තියන්නෙ නැති විදිහට අවසානයේ එයා පාඨකයා අරගෙන යනවා.

මේ පොත කියවපු ඇතැම් අය මට දුරකථන ඇමතුම් දීලා අඬනවා. ඒ අයට මේ කතාව දරා ගන්න බැරුව. සමස්තයක් විදිහට පොත ගැන කියනවා නම්, බොහෝම කෙටියෙන් මට කියන්න තියෙන්නේ, මගේ හිත ඇතුළෙ, මගේ ඇස් දෙක යට නිධන්ගත වෙලා සිටි චරිත ටිකක් මං ඩිමයි කොළ උඩට ගෙනාවා. මාතා මඟින් එළියට ගෙනාවා කියන එකයි. මං හිතේ තැන්පත් කරගෙන සිටි යම් කිසි මතක, මං කෘතියක් මඟින් නිර්මාණය කළා. නැවත බැලීමක් කළා.

ඉදිරියට මොනවාද ඔබගේ බලාපොරොත්තු?

දැන් මම රූප මාධ්‍යයෙන් කටයුතු කරන කෙනෙක්නෙ. මං ඒ වැඩත් සමඟ ටිකක් කාර්යබහුල වෙලා ඉන්නෙ. ඒත්, පොතක් ලියනවා කියන්නෙ අධ්‍යක්ෂණ කාර්යයට වඩා හරි ම වටිනා දෙයක්. මට ඒක හරියට පිපාසයට වතුර පොදක් වගේ. මේ දවස්වලත් මං පොතක් ලියමින් ඉන්නෙ. සාහිත්‍ය කියන දේ මගෙ අතින් මැරෙනකන් අත ඇරෙන්නේ නෑ. ඒක තමා මගේ ජීවිතය වෙලා තියෙන්නෙ.

ශ්‍රී ලංකාවේ ස්වතන්ත්‍ර නිර්මාණවලට තිබෙන තැන ගැන ඔබ මොකද හිතන්නෙ? වර්තමානයේ පරිවර්තනවලට වැඩි ඉල්ලුමක් තියෙනවා නේද?

පරිවර්තන මිනිස්සු කියවන්නෙ ඒ තුළ යම්කිසි ගැඹුරක් තියෙන නිසයි. ඒ වගේ ම, ඒ ලේඛකයන් තුළ වස්තු බීජ තිබිලා තියෙනවා ලියන්න. මං දකින අපොහොසත්කම තමා අපේ රටේ, අපේ රට කියන්නෙ පසුගිය අවුරුදු 30 ක් ඇතුළත පුදුමාකාර වස්තු බීජ තැන්පත්වෙලා තිබෙන රටක් සහ අපි එහෙව් ජාතියක්, එහෙව් පරපුරක් අපි. අනන්ත පීඩනයන්ට මුහුණ දීපු අය අපි. අප තුළ මොන තරම් හොඳ දේවල් තියෙනවද ලියන්න. ඒත් කිසිකෙනෙක් මට පේන්න නෑ එහෙම වස්තු බීජ අහුවෙන බවක්. මට තේරෙන්නේ නෑ ඒ ඇයි කියලා. ඒත් , අපේ රටේ දක්ෂයො ඉන්නවා.

රුසියානු සාහිත්‍ය ගත්තහම ඒ අය සාහිත්‍යකරණය තුළ ලෝකයේ ඉහළ ම තැනකට ඇවිත් තියෙනවා . ඔවුන් විඳපු දුකත් එක්ක තමයි පෑන හසුරවලා තියෙන්නෙ. අපේ කිසි ම කෙනෙක් මං දන්නෑ අපේ ඒ ජීවිතවල ගැඹුරටම ගමන් කරනවද කියලා. එහෙම වුණොත් ඔය ස්වතන්ත්‍ර නිර්මාණ අපේ රටේ ඇති වෙලා සහ ඒවා ලෝකය පුරා යයි. ශ්‍රී ලංකාවේ හොඳ සාහිත්‍යයක් තියෙනවා කියලා අපට ලොකු ජයග්‍රහණයක් අරන් එයි.

පරිවර්තන තුළ ලේඛකයා හරි අපූරුවට අත්දැකීම කියන දෙය වහරනවා. අපේ අයට එහෙම බැරිකමක් තියෙනවද දන්නෙ නම් නෑ. ඒත් , ස්වතන්ත්‍ර නිර්මාණ වගේම පරිවර්තනත් කියවන්න මාත් කැමැතියි. වැඩිපුරම පරිවර්තන කියවන්න මාත් කැමතියි.

ඔබ කියන්නෙ ශ්‍රී ලංකාවෙ ස්වතන්ත්‍ර නිර්මාණ බිහි වෙන්නෙ නෑ කියලද? නැත්නම් පිහි වෙනවා අඩුයි කියලද?

නෑ. ස්වතන්ත්‍ර නිර්මාණ බිහි වෙනවා. මං කියන්නෙ හරි ම තැනට ඇණය තියලා මිටියකින් ගහනවද කියන ප්‍රශ්නෙයි තියෙන්නෙ. ඒ කියන්නෙ අපි ගැඹුරටම ගමන් නොකර, උඩින් පල්ලෙන් මිනිසුන්ගෙ අත්දැකීම අල්ල ගත්තට මේ කාර්යය හරියටම කරන්න බෑ. මං කියන්නෙ, හිතන්න. තමුන්ගෙ හිතට වද දෙන තරම් හිතන්න. මිනිසුන්ට සිද්ධ වෙන දේ ගැන, අත්දැකීම් ගැන ගැඹුරින් හිතන්න කියලයි. අන්න එතකොට, ලියන්න ඕන කාරණාව අපට මතුකර ගන්න පුළුවන්.

සාමාන්‍යයෙන් හැමෝටම ලියන්න බෑනෙ. මං හිතන්නෙ මට මේ ලිවීමෙ හැකියාව දෙවියන් විසින් දුන් තෑග්ගක් කියලයි. සොබාදහමට අනුව මං දකින්නෙ එහෙමයි. මං ඒ ගැන පුළුවන් තරම් අධ්‍යයනයේ යෙදෙනවා. මිනිසුන් විනිවිද දකින්න උත්සාහයේ යෙදෙනවා. ඒක තමා මගේ සාහිත්‍ය බවට පත්වෙලා එළියට එන්නෙ.

මට අවසානෙට කියන්න තියෙන්නෙ, අර හැංගිලා යන වස්තු බීජ කොහොම හරි එළියට අරගෙන, ඒවා නැවත නිර්මාණකරණයේ යොදවන්න කියලයි. අපට මතුපිටින් පේන දෙයට වඩා, තව ඇසකින් බලන්න පුරුදු වෙන්න කියලයි. එතකොට තමා මං හිතන්නෙ අපට හරි දේ හම්බ වෙන්නෙ.

යශෝදා ඉන්දීවරී
ඡායාරූපය - නිශ්ශංක විජේරත්න


නව අදහස දක්වන්න