මට දැනෙන දේ මම ලියනවා | දිනමිණ

මට දැනෙන දේ මම ලියනවා

ජස්ටින් පිකාඩී

The Spirit Moves You, Life and Love After death,Wish I May, My Mother’s wedding Dress යනාදී කෘති ගණනාවක කතුවරිය වන ජස්ටින් පිකාඩී සමඟ Writers and Artists වෙබ් අඩවිය කළ සාකච්ඡාවක පරිවර්තනයකි මේ. ජස්ටින් පිකාඩී සත්‍ය කතා ඇසුරින් ග්‍රන්ථ රචනා කිරීමට විශේෂ ඇල්මක් දක්වන ලේඛිකාවකි.

ඇයි ඔබ ලියන්නේ?

මම ලියන්නෙ, මට ලිවීමේ හැකියාවක් තිබෙනවා කියලා මට දැනෙන නිසයි. මට වෙනත් වෘත්තියක් හරියන්නේ නැති බවත්, ලිවීම මගේ හරි ම තෝරා ගැනීම බවත් මට හැ‍ඟෙනවා. මම කුඩා කාලයේ සිට කවි, කතන්දර ලියනවා. ඒ වගේම කුඩා කාලයේ මම මගේ කුඩා සහෝදරියට කුඩා කුඩා පොත්, සඟරා සකස් කර දෙනවා. ඒ මගේ අතින්ම ලියැවුණු කතන්දර, කවි ඇතුළත් කරලයි. ඒවාට අදාළ චිත්‍ර, පින්තූර අඳින්නෙත් මමමයි. අකුරු ටයිප් කරන්නේ නම් නෑ. මගේ අත් අකුරුවලින්මයි ලියන්නෙ.

ඔබ අගය කරන අනෙකුත් නවකතා රචකයන් කවුද?

ඩප්නේ දු මුරියර්, නැන්සි මිට්ෆෝඩ්, ‍රොසමන්ඩ් ලේමෑන්, ඊව්ලින් වෝග්, ‍එෆ්. ස්කොට් ෆිට්ස්ගෙරල්ඩ් වැනි බොහෝ නවකතාකරුවන්ට මම කැමැතියි. නවකතාව හරහා ආරම්භයේ සිට අවසානය දක්වා කිසියම් ආකාරයක කඩා වැටීමක් නොමැතිව ගලාගෙන යන නවකතා ලියන ඕනෑම නවකතා රචකයෙකු මං අගය කරනවා.

ඔබගේ පළමු නවකතාව ප්‍රකාශයට පත් වීම දක්වා මාර්ගය විස්තර කළොත්?

මගේ පළමු නවකතාව මගේ පළමු පොත නොමෙයි. මම ඊට පෙර ප්‍රබන්ධ නොවන කතා ලියා තිබෙනවා. නවකතාවක් ලියන්න ඕන කියන කාරණය පසුපස මම හඹා ගි‍යේ නැත්නම්, ඒ හැඟීම මගේ සිතට ආවේ මගේ සහෝදරියගේ මරණයත් සමඟයි. ඒ අවාසනාවන්ත කරුණ පදනම් කරගෙන තමා ඇගේ මරණය පිළිබඳ මම මගේ ප්‍රථම ග්‍රන්ථය ලිව්වේ.

එය ‘The Spirit Moves You’ කියලයි නම් කළේ. ඒත්, මම ඒ සත්‍ය සිදුවීම ප්‍රබන්ධ කතාවක් ලෙසයි ලිව්වේ. පසුව මම එය ‘Wish I May’ ලෙසින් නවකතාවක් විදිහට පළ කළා. එය මගේ ප්‍රකාශකයා විසින් පිළිගනු ලැබුවා.

ඔබ සාර්ථක රචකයකු කියා ඔබ කවදාද ප්‍රථමවරට දැන ගත්තේ?

මට කවදාවත් මං සාර්ථකය කියන හැඟීම ඇවිත් නෑ. මං පොත් කිහිපයක් ලිව්වා කියලා කොහොමද සාර්ථක වෙන්නේ? මම තවමත් දුර්වලයි කියන හැඟීමේ ඉන්නේ. මම ජීවත් වෙන්නේ මම මෙතෙක් නොලියපු පොත් පිළිබඳ මානසිකත්වයෙන්. මම නිතරම ඒ පිළිබඳ මගේ මනස වෙහෙසවනවා. ඒ අනුව අලුත් නිර්මාණ බිහි කරනවා.

ඔබට නියෝජිතවරයෙක් සිටිනවාද?

ඔව්. මගේ නියෝජිතවරයා තමා ඊ.ඩී. වික්ටර්. මට ඔහුගෙන් ලැබෙන්නේ කියා නිමකළ නොහැකි උපකාරයක් . ඒ වගේම මට ඔහුගෙන් මට අවශ්‍ය කරන උපදෙස් , ධෛර්ය, සහයෝගය නිරන්තරයෙන් ලැබෙනවා.

ඔහු මගේ සෑම පොතක්ම විකිණීම සම්බන්ධයෙන් කටයුතු කරනවා. මම දන්නේ නෑ ඔහු නැතුව මගේ මේ පොත් සම්බන්ධ කටයුතු මං කොහොමද කරගන්නේ කියා. ඔහුට අමතරව මට තවත් සිටිනවා නියෝජිතවරයෙක්. ඔහු Gra inne Fox. ඔහුත් මට විශාල සහයෝගයක් ලබා දෙනවා.

ඔබගේ සාමාන්‍ය වැඩ කරන දවසක් ගත වන ආකාරය විස්තර කරන්න පුළුවන්ද?

මම මගේ නිවෙස තුළ සිටයි සියලු වැඩ කටයුතු කරන්නේ. මගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වගේම, පොත් ලිවීමේ කටයුතු සඳහා මට වෙනම කුඩා කාමරයක් තිබෙනවා. එම කාමරය පිරී තිබෙන්නේ ‘නෝට්බුක්’ වලින් සහ ලියන කොළවලිනුයි.

උදෑසන මගේ පුතා පාසල් ගියාට පසුව මම සාමාන්‍යයෙන් මගේ ලිවීමේ කටයුතු ආරම්භ කරනවා. මගේ පුතා නැවත නිවෙසට පැමිණියාට පසුව ඔහුගේ වැඩ කටයුතු, පාසල් ගෙදර වැඩ, නිවෙසේ වැඩ ආදී සියල්ල කර, නැවතත් මම රාත්‍රී ආහාරයෙන් පසුව තමා ලියන්න ගන්නේ, සාමාන්‍ය‍යෙන් මධ්‍යම රාත්‍රිය වනතුරු මම ලියනවා. ඇතැම්විට මධ්‍යම රාත්‍රියත් පසු වෙනවා.

ඔබ පොත් ලිවීමේ කාර්ය වගේම සිදු කරන වෙනත් දේ තිබෙනවාද?

ඔව් . මං මගේ පොත් ලිවීම වැඩිදියුණු කරගන්නවා වගේම, කාලය බොහෝම අර්ථවත් විදිහට යොදා ගන්නවා. මම සින්දු කියනවා. සම්මුඛ සාකච්ඡා සඳහා සහභාගී වෙනවා. සාහිත්‍ය උළෙලවලට යනවා වගේම, එහිදී කතා පවත්වනවා.

ඔබ කැමැති, ඔබට ලියන්න තිබුණානම් කියා සිතන වෙනත් අයගේ පොත් තිබෙනවාද?

මම හිතනවා ’ රෙබෙකා’ කියන ග්‍රන්ථය ඉතා විශිෂ්ට එකක්. ඒ වගේ පොතක් මට ලියන්න තිබුණානම් කියා හිතෙනවා. ඒ වගේම මම කැමැතියි ’බ්‍රෙක්ෆස්ට් ඇට් ටිෆනි' කියන පොතටත් කැමැතියි. එය ටෲමන් කැපොති ගේ ග්‍රන්ථයක්. තවත් මම කැමැතියි 'ද කස්ල්' කියන ග්‍රන්ථයට. එය ඩොලී ස්මයිට් ගේ. මට ලියන්න තිබුණානම් හොඳයි හිතෙන ඒ වගේ පොත් කීපයක්ම තියෙනවා.

යශෝදා ඉන්දීවරී

නව අදහස දක්වන්න