අන්දරේ විහිළුකාරයෙක් නොවේ! | දිනමිණ

අන්දරේ විහිළුකාරයෙක් නොවේ!

රන්ජන් අමරරත්න

අන්දරේගේ ළමාවිය ඉතා සුන්දර ලෙසින් මෙහි නිරූපණය වෙයි. විටෙක දඟකාර දරුවෙක් ද, තව විටෙක හුරුබුහුටි දක්ෂ කොලු ගැටයෙක් ද, තවත් විටෙක සුන්දර කීකරු දරුවෙක් ද අපට මුණ ගැසෙති. යොවුන් නවකතාවක් හැටියට ගතහොත්; යෞවනයාට ගැළපෙන බුද්ධිමය සංවාදයක් ද, වින්දනීය සංවාදයක් ද කතුවරයා ගොඩනඟා තිබේ.

නවකතාව බිහිවන්නේ උපමා කතා, උපදේශන කතා, මිථ්‍යා කතා, ඉතිහාස කතා ආදිය පාදක කරගනිමින් ය. මේ මූලාශ්‍ර කතාවල එන වෘත්තාන්තයට හේතු - සාධක හා යුක්තිය ඉටු කිරීමටත් නව අර්ථ හා භාව එකතු කිරීමටත් නවකතාකාරයෝ උත්සුක වූහ. අද වන විට නවකතාවේ නූතන විලාසය වන්නේ, ජීවිතයට හා සමාජ සිදුවීම්වලට වඩාත් සමීප වීම ය. එහි ලා නිරූපණය යන ශිල්ප ධර්මය ප්‍රමුඛ වී තිබේ. චරිත හා සිද්ධි වඩාත් සූක්ෂ්ම ලෙස නිරූපණය කිරීමත්, ඒ ඔස්සේ පාඨකයාට වින්දනයක් හා බුද්ධියක් ලබා දීමත් සාර්ථක නවකතාවක ලක්ෂණය සේ සැලැකිය හැකි ය.

ඇතැම් නවකතා මුළුමනින් ම පාහේ නිර්මාණය වන්නේ පරිකල්පනය මත ය. එහෙත්, ඊට අදාළ අත්දැකීම් සමාජයේ සත්‍ය සිදුවීම් බව පෙනී යයි. තව නවකතා විශේෂයක් වන්නේ ඓතිහාසික කාල පරිච්ඡේද පසුබිම් කොට වෘත්තාන්තයක් ගෙතීම ය. තවත් නවකතා විලාසයක් වන්නේ, ඓතිහාසික චරිත පාදකකොට නූතනයට ද ගැළපෙන ලෙස කතාවක් ගොඩනැඟීම ය. මේ කුමන විලාසයක් ගත්ත ද, නවකතාව ජීවිතයට සමීප විය යුතු ය. නැතහොත් එහි ආකර්ෂණය බිඳී යන්නට පුළුවන.

‘තියරි ඔෆ් ලිට්රචර්’ නමින් විචාර ග්‍රන්ථයක් සම්පාදනය කරන රෙනී හා ඔස්ටින් යන විචාරකයන් දෙදෙනා සඳහන් කරන පරිදි, නවකතාව ජීවිතයට සම්බන්ධ විය යුතු ය යන්න විවිධාර්ථවත් ය. ඇතැම් විට එය එක් සිද්ධියක් විය හැකි ය. තවත් විටෙක විශේෂ ක්‍රියාකාරකමක් විය හැකි ය. ප්‍රබන්ධය පට්ටපල් බොරුවක් නොවන්නේ, ජීවිතය සමඟ එය ගළපන ආකාරය අනුව යැයි සිතන්නට පුළුවන.

කෙටි පූර්විකාවකින් මේ තීරය ආරම්භ කළේ, ඓතිහාසික චරිතයක් කේන්ද්‍රකොට රචනා වූ යොවුන් නවකතාවක් ගැන සටහනක් තබන්නට ය. කතුවරයා මහින්ද කුමාර දළුපොත ය. නවකතාව “පුංචි අන්දරේ” ය. අන්දරේ කියූ සැණින් අපගේ සිහියට නැ‍ඟෙන්නේ විහිළුකාරයෙකි. රාජ සභාවේ කවටයකු ලෙස ද, කවියකු ලෙස ද ඔහු හැඳින් වේ. රජතුමාට, බිසවට ඇමැතියන්ට පවා ඔච්චම් කළ හැකි පුද්ගලයකු ලෙස ද ඔහු ප්‍රකට ය. අන්දරේට සම්බන්ධ සිද්ධිවලින් පෙනී යන්නේ, ඔහු ස්ථානෝචිත ප්‍රඥාවෙන් හෙවත් තැනට සුදුසු නුවණින් පරිපූර්ණ පුද්ගලයකු බව ය. කොටින් ම ඔහු විහිළුකාරයකු නො ව; බුද්ධිමතකු යැයි තර්කයක් ද ගොඩනැඟිය හැකි ය.

ඓතිහාසික චරිතයක් පාදකකොට නව ප්‍රබන්ධයක් ගෙතීම අතිශය දුෂ්කර කාරණයකි. ඊට අදාළ ප්‍රධාන අභියෝග දෙකක් පෙන්වාදිය හැකි ය. පළමුවන්න රචකයාගේ පරිකල්පනයට සීමාවන් පැන වී තිබීම ය. එය තවදුරටත් පැහැදිලි කරන්නේ නම්; නවකතාකරුවාට තම සිතැඟි පරිදි ඓතිහාසික චරිතයක් හැසිරවීමට ඉඩ ලැබෙන්නේ නැත. එය නිරූපණයට එල්ලවන ප්‍රධාන බාධාවක් සේ සැලැකිය හැකි ය. දෙවන්න ඓතිහාසික චරිත සම්බන්ධයෙන් ජනමත හා ජන විශ්වාස පැවැතීම ය. එම චරිතවල පෞරුෂය මේ වන විටත් ගොඩනැඟී අවසන් ය. ඒ අනුව නවකතාකරුවාට සම්ප්‍රදායක් තුළ සිරවීමට සිදුවනු ඇත. නවකතාවක් පරිපූර්ණ තැනකට ගෙන යෑමට නම්, මේ අභියෝග ජයගැනීමට සිදු වේ.

ඊසොප් ගැන ප්‍රබන්ධ රචනා වී ඇත. සොක්‍රටීස් ගැන නාට්‍ය රචනා වී ඇත. මේ දෙදෙනාම බුද්ධිමතුන් ලෙස සැලකේ. මෙයින් අන්දරේට වඩාත් සමීප වන්නේ ඊසොප් ය. ඔහු හයවැනි සියවසෙහි මැද භාගයෙහි පමණ සැමොන් දූපතෙහි ජීවත් වූ වහලකු බව කියැවේ. අන්දරේ යනු ද සාමාන්‍ය තැනැත්තෙකි. මේ දෙදෙනාගේ සමාන ලක්ෂණය ස්ථානෝචිත ප්‍රඥාව යැයි කිව හැකි ය.

මිනිසුන් මළපහ කරන විට; ඒ මළ දෙස නැවත බලා සිටින්නේ මන්දැයි වැඩ ප්‍රධානියා ඊසොප්ගෙන් විමසුවේය. ඔහු දුන් පිළිතුර වූයේ අතීතයේ රාජ කුමාරයකු බඩවැල් රෝගයකින් ද, චපල ස්වභාවයකින් ද, යුක්තව ජීවත් වූ අතර මළ පහ කිරීම සඳහා සෑහෙන කාලයක් ගත කළ බව ය. මේ කාලය තුළ කුමාරයාගේ බුද්ධිය ද මළ සමඟ පිට වී ගොස් ඇත. එදා පටන් මිනිසුන් මළපහ කරන විට ඒ මළ දෙස බලන බව ඊසොප් කියා සිටියේ ය. ඔහු නැවත පෙන්වා දුන්නේ වැඩ නායකයාට බිය වන්නට දෙයක් නැති බව ය. හේතුව වැඩ නායකයාට බුද්ධියක් නො වීම ය.

ඊසොප් ප්‍රභූන් හාස්‍යයට ලක් කරයි. අන්දරේ ද ප්‍රභූන් හාස්‍යයට ලක් කරයි. ඒ ප්‍රබල තර්කයක් ද සහිතව ය. මේ උපමා කතාවලින් පාඨකයාට ලැබෙන ප්‍රයෝජන කිහිපයක් තිබේ.

I.වින්දනය

II.තර්කය

III.සිද්ධි ගැළපීම

IV.බුද්ධිය මුවහත් කිරීම

අපේ යොවුන් පරපුරට ඉහත කී සාධක හතරම අතිශයින් වැදගත් ය. ඔවුන්ගේ අධ්‍යාපනයට, සාමාන්‍ය ජීවිතයට මෙන් ම විශේෂ ගැටලු විසඳා ගැනීමට ද මේ ඔස්සේ ක්‍රමවේදයක් තනාගත හැකි ය.

මහින්ද කුමාර දළුපොත මහතා පුංචි අන්දරේ නවකතාව ගොඩනඟා ඇත්තේ සාම්ප්‍රදායික ප්‍රබන්ධයක ශිල්ප ලක්ෂණ භාවිත කරමින් නොවේ. නිදසුනක් ගතහොත්; මේ කතාව තුළ මෝරා වැඩෙන ගැටුමක් නැත. අන්දරේගේ උපමා කතා ද සමඟ නවකතාවේ සිද්ධි විකාශය වෙයි. එහෙත් සභාවේ ආකර්ෂණයට බාධාවක් නැත. සාකල්‍යයෙන් ගත් කල ප්‍රධාන සාධක හතරක් මේ ප්‍රබන්ධයෙන් උකහාගත හැකි ය.

I.අන්දරේගේ ළමා අවදිය

II.අන්දරේ හා අක්කා අතර සම්බන්ධය (සහෝදර ප්‍රේමය)

III.අන්දරේගේ සමාජ භාවිතය

IV.ජනශ්‍රැති අධ්‍යයනය

අන්දරේගේ ළමාවිය ඉතා සුන්දර ලෙසින් මෙහි නිරූපණය වෙයි. විටෙක දඟකාර දරුවෙක් ද, තව විටෙක හුරුබුහුටි දක්ෂ කොලු ගැටයෙක් ද, තවත් විටෙක සුන්දර කීකරු දරුවෙක් ද අපට මුණ ගැසෙති. යොවුන් නවකතාවක් හැටියට ගතහොත්; යෞවනයාට ගැළපෙන බුද්ධිමය සංවාදයක් ද, වින්දනීය සංවාදයක් ද කතුවරයා ගොඩනඟා තිබේ.

නවකතාව ආරම්භ වන්නේ “පුංචි අන්දරේ හෙළිකොට්ටෙං” නම් පරිච්ඡේදයෙන් ය. එය පාඨක ආකර්ෂණය දිනා ගනු ලබන අපූරු සිදුවීම් පෙළකින් සමන්විත ය. අන්දරේ නම් කොලු ගැටයා විවිධ බාධා කිරීම් ඔස්සේ තම ඉලක්කය කරා උපක්‍රමශීලීව ගමන් කරන ආකාරය පළමු පරිච්ඡේදයෙන් ම පැහැදිලි වෙයි.

අන්ද‍රේත් - ඔහුගේ අක්කාත් අතර ඇත්තේ අපූරු සහෝදර බැඳීමකි. ශ්‍රී ලාංකේය ගැමි සමාජය තුළ අක්කා හා මල්ලීගේ සහෝදර බැඳීම මෙයින් නිරූපණය කෙරේ. මල්ලී අපහසුවට පත්වන බොහෝ අවස්ථාවල ඔහුගේ සහායට එන්නේ අක්කා ය.

“ඈ මලේ... යමං අඩේ ගෙදර

අදට ඔය මී ඇට මදෑ”

“හෙනම් මං රත්තිගෙන් දොවන්නම්!”

‘මං දන්නවා උඹැහැ... රත්තිට මනාප ඇයි කියා’

“අක්කණ්ඩිය එසේ කියන විට අන්දරේ ඇඹරෙන්නට වූයේ ය. ඒ ඔහු රත්තිගෙන් වගේ ම හොඳීගෙන් ද කිරි දොවන විට මදක් කිරි දොවා තනපුඩුවට කට තියා වැස්සීගෙන් කිරි උරාගෙන බොන බැවිනි.”

(පිටු 61/62)

අක්කා තම මල්ලීට බෙහෙවින් ස්නේහවන්ත ය. අන්දරේගේ රහස් මෙන් ම ඔහුට වරදින තැන් ද අක්කණ්ඩිය දනී. ඇය ක්‍රියා කරනුයේ මල්ලීගේ ආරක්ෂකයා හැටියට ය. ග්‍රාමීය සංස්කෘතියේ අපූරු මානව සබඳතා අප සිහියට නැ‍ඟේ.

අන්දරේ දරුවකු වුව තම සමාජ භාවිතය ඔස්සේ සනාථ කරන සාධක කිහිපයක් තිබේ. එක; ඔහු හැම විටම ඇත්ත හා යුත්ත සොයා යන බව ය. දෙක; ප්‍රභූ පැළැන්තියේ සූරාකෑමට හා තර්ජනයට අන්දරේ උපක්‍රමශීලී ලෙස මුහුණ දෙයි. හැබෑවට ම ඒවා පරාජය කරයි. තුන; ඔහු ගරු කළ යුත්තාට ගරු කරයි. ඉගෙනගත යුත්ත ඉගෙන ගනියි. හතර; අන්දරේ පසු බසින චරිතයක් නොවේ. බැටකමින් නැගිටින ගතියක් ඔහු ළඟ තිබේ. පහ; අන්දරේ කිසිවකින් සැලෙන්නේ නැත. ඔහු බොහෝ දේ දරා ගනිමින් තම ඉලක්කය වෙත යයි. මේවා යොවුන් පරපුරට අවශ්‍ය විභව ශක්ති ලෙස හඳුනාගත හැකි ය.

පුංචි අන්දරේ යොවුන් නවකතාවේ ඇති තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ, අපේ ජනශ්‍රැතිය පිළිබඳ අධ්‍යයනයක් ඒ මඟින් උකහාගත හැකි බැවිනි. ජන වහර, ජන ක්‍රීඩා, ජන ඇදහිලි පිළිබඳ නිරූපණ රැසක් එහි පවතී. කතුවරයා මේවා සම්බන්ධයෙන් උප සටහන් තබමින් පාඨකයාගේ කියැවීම පහසු කරයි. ඊට අදාළ නිදසුන් කිහිපයක් දැක්වීම වටී.

පන්සලේ ගෙඩිය :-

පන්සලේ පමණක් භාවිත කරයි. මේ දැව කඳට ලීයකින් ගසන විට ශබ්දය නැ‍ඟෙයි.

මීගොන් කජු:-

විශාල ප්‍රමාණයේ කජු ඇට

හේලංකඩ:-

(ගෙයි ඉදිරිපස වහලෙන් වතුර වැටෙන තැන)

මී අං හෙප්පුව:-

(මී අඟක දමා තිබෙන ඖෂධ. මෙය පුරාණ ඔසු මංජුසාවකි.)

නවකතාවේ ආඛ්‍යානයට අලුත් යෙදුම් හා අර්ථ එක් කිරීමට ද මහින්ද කුමාර දළුපොත මහතා උත්සුක වෙයි. ඒවා බොහෝ විට හොඳින් ගැළපී, භාෂාව පොහොසත් කරයි.

“කුළු මීමකු සේ ජවයෙන් මිදුලට කඩා පැන්න අන්දරේ මේ දසුන් පෙළින් හීලෑ වෙච්ච පූස් පැටියකු බවට පත්කර තිබිණි. මුහුණ පුරා වහා බියක් සමඟ වේදනාකාරී හැඟීමක් ආරෝපණය වන බව අන්දරේට වැටහී ගියේ ය.”

(පිටුව 4)

කතුවරයා වරෙක මෙලෙස නවකතාව පරිපූර්ණ කර ගන්නා අතර , තව වරෙක නොසැලකිල්ල නිසා භාෂාවේ සම්ප්‍රදාය බිඳ දමයි.

“ගැටයින් කිහිප පොළක් හවුල් වූහ.”

(පිටුව 23)

“උදව්කරුවෝ හත් අට දෙනකු සිටියෝ ය.”

(පිටුව 45)

පුංචි අන්දරේ නවකතාව රසවත් ය. අන්දරේ රජවාසලට යන තෙක් කතාව ඊට ඇතුළත් ය.


නව අදහස දක්වන්න