සතර ආකාරයේ චන්ද්‍ර මණ්ඩලය | දිනමිණ

සතර ආකාරයේ චන්ද්‍ර මණ්ඩලය

පුද්ගල හස්තයේ ඉහළ කුජ මණ්ඩලයට පහළින් පිහිටි ප්‍රදේශය චන්ද්‍ර මණ්ඩලයයි‍. එම මණ්ඩලය මඟින් පුද්ගලයෙකුගේ සිතුවිලි පිළිබඳ, සංවේදීභාවය මෙන්ම කල්පනා ශක්තිය පිළිබඳව ද දැන ගතහැක. ඊට අමතරව හැඟීම් හා සෞන්දර්යාත්මක දේ පිළිබඳත් කියැවේ.

මුහුදෙන් එතෙර ගමන් බිමන් ගැන ද පෙන්වනුයේ චන්ද්‍ර මණ්ඩලය මඟිනි. ප්‍රේම සම්බන්ධතා, රසාස්වාදය, අලස ගතිය මෙන්ම සැකයද පිළිබිඹු කරන මණ්ඩලය චන්ද්‍ර මණ්ඩලයයි.

මේ මණ්ඩලය ජන්මීන්ගේ හස්තයේ හතර ආකාරයකට පිහිටයි. ඇතැමුන්ගේ චන්ද්‍ර මණ්ඩලය ප්‍රබලම අධි උත්තලාකාරව පිහිටයි. ඇතැම් ජන්මීන්ගේ චන්ද්‍ර මණ්ඩළට මධ්‍ය ප්‍රමාණයේ හෙවත් යම් ප්‍රමාණයකට උත්තල වුවද තලීය ආකාරයෙන් පිහිටයි. එමෙන්ම ඇතැමුන්ගේ චන්ද්‍ර මණ්ඩලය දුබලව අවතලාකාරව පිහිටයි. අවසාන වශයෙන් ඇතැමුන්ගේ චන්ද්‍ර මණ්ඩලය අධි දුබලව හෙවත් අධි අවතලාකාරව පිහිටයි.පිහිටන ආකාර අනුව ජන්මීන් එකිනෙකාට පරස්පර ගතිගුණවලින් යුක්ත වේ.

මුලින්ම ප්‍රබල චන්ද්‍ර මණ්ඩලයක් හෙවත් අධි උත්තලාකාර චන්ද්‍ර මණ්ඩලයක් හිමි පුද්ගලයාගේ ස්වභාවය සලකා බලමු. ප්‍රබල චන්ද්‍ර මණ්ඩලයක් හිමි පුද්ගලයා නිතර ඈත ගමන් බිමන්වල යෙදෙනයි. එක දෙයක් දීර්ඝ කාලයක් නොකරයි. එසේම සිතුවිලි අධික, නිතර වෙනස් වන පුද්ගලයෙකි. ත්‍යාගශීලි නොවේ. දැඩි ආත්මාර්ථකාමී ස්වාභාවයක් උසුලයි. ඊර්ෂ්‍යාකාරය. තමා ළඟින් සිටින අයව සැක කරයි. මොවුන්ගේ දියුණුව නිතර විචලනය වේ. විවිධ දේ ඉගෙනීමට කැමැත්තක් දක්වයි. ආගම දහමට භක්ති වන්තය. මෙවැනි පුද්ගලයින් සුළු දේකින් පවා බියට පත්වන අතර ඉක්මනින් අධෛර්ය වේ. ගුප්ත ශාස්ත්‍රයට ඇලුම් කරන අතර තම මවට හා සතුන්ට දැඩි ඇල්මක් දක්වයි. මෙවැනි චන්ද්‍ර මණ්ඩලයක් හිමි පුද්ගලයා ක්‍රියාශිලි පුද්ගලයෙන් නොවේ. නිතර නිදා ගනී. ආහාරයට ගිජු බවත් දක්වයි. කරුණාවන්තකමද ඥාණවන්තකමද මොවුන් තුළින් ප්‍රකටව දැකිය හැක.

මධ්‍යම ප්‍රමාණයේ හෙවත් යම් ප්‍රමාණයකට උත්තල වුද තලීය චන්ද්‍ර මණ්ඩලයක් හිමි පුද්ගලයා.

මොවුන් ජලය ආශ්‍රිත කටයුතුවල නිරත වීමට වැඩි ප්‍රියතාවයක් දක්වන අතර ගුප්ත කටයුතුවලටද බොහෝ ලැදියාවක් දක්වයි. එක දෙයක් දිගටම නොකරයි. මෙම චන්ද්‍ර මණ්ඩලය හිමි පුද්ගලයා තුළ අධි උත්තල චන්ද්‍රමණ්ඩලය සතු පුද්ගලයාගේ ලක්ෂණද සුළු වශයෙන් දැකිය හැක.

දුබල චන්ද්‍ර මණ්ඩලයක් හෙවත් අවතල චන්ද්‍ර මණ්ඩළයක් පිහිටි පුද්ගලයා‍ ස්ත්‍රියක් වුවද පුරුෂයෙක් වුවද පහත් ගති ඇත්තෙකි. බුද්ධි හීනය, රාගය ඉතා වැඩිය. සතුරන් අධික වේ . කරන කිසිදු ක්‍රියාවක් ඇගයීමකට ලක් නොවේ. සිත ඉතා අධෛර්ය සම්පන්නය. මානසිකවද දුර්වලය . හිතක් පපුවක් නැති පුද්ගලයෙකු සේ හැසිරේ . කේලම් කීම, පරුෂ වචන කීම,අනාචාරයේ හැසිරීම,දුරදිග නොබලා කටයුතු කිරීම ආදී දේට නම් දරා ඇත. ඉතා අඩුවෙන් ජලය පානය කරයි. ස්නානය කරන්නේද අඩුවෙනි. බොහෝ අපිරිසුදුය. එනිසා සමාජය මොවුන්ව පිළිකුල් කරති. මොවුන් බොහෝ චපලය.

චන්ද්‍ර මණ්ඩලය අධි දුබල හෙවත් අධි අවතල පුද්ගලයා සිතට එන එන දේ කරයි. ඒවා හොඳ ද නරක ද කියා නොසිතයි. කාමාතුර මට්ටමටම චරිතය අයහපත්ය. විකෘති මානසික තත්ත්වයක් පෙන්නුම් කරයි. නිතර හිසේ රෝග සෑදේ. මණ්ඩලය අවතල වීමේ ගුණ ද සුළු වශයෙන් පවතී. නමුත් ප්‍රබලව ඇත්තේ අධි අවතල හෙවත් ගිලිනු චන්ද්‍ර මණ්ඩලයට අදාළ ගතිගුණයි. බොහෝ විට ස්ත්‍රී දූෂකයින්, කාම අපරාධකරුවන්, ළමා අපචාරවල යෙදෙන්නන්ට මෙවැනි චන්ද්‍ර මණ්ඩලයක් හිමි වේ‍‍‍‍‍‍‍‍.

මෙයට අමතරව චන්ද්‍ර මණ්ඩලයේ විවිධ හස්ත ලකුණු දැනගත හැක. ඒවා අතර මණ්ඩලය ප්‍රබල කරන මෙන්ම දුබල කරන ලකුණු ද වේ. දුබල මණ්ඩලයක සුබ ලකුණක් වේ නම් දුබල මණ්ඩලයෙන් ලැබෙන අශුභ ප්‍රතිඵල අඩුවේ. ප්‍රබල මණ්ඩලයේ අසුබ ලකුණක් වෙයි නම් ලැබෙන සුබඵල අවම කරයි.

ජ්‍යොතිෂවේදිනී
මංජුලා පුෂ්පරාංගනී
පල්ලෙබැද්ද

නව අදහස දක්වන්න