පොහොර! | දිනමිණ

පොහොර!

 නිසි කලට පොහොර නො යොදන්නේ නම් වගාවකින් ආර්ථික ප්‍රතිලාභ ලැබිය නොහැකි යැයි පිළිගත් මතයක් තිබේ. එහි අර්ථය වන්නේ ශ්‍රී ලංකාව වැනි කෘෂිකාර්මික රටවල අත්‍යවශ්‍ය සාධකයක් බවට පොහොර පත් වී ඇති බව ය. තව ද නිදසුනක් ගතහොත් පාකිස්ථානය ද කෘෂි කාර්මික රාජ්‍යයකි. එලෙසම පොහොර අපනයනය කරන රාජ්‍යයකි. පාකිස්ථානය මෑතක සිට පොහොර අපනයනය සීමා කර තිබේ. හේතුව; රටේ දේශීය කෘෂිකර්මාන්තය නඟා සිටුවීම ය. පොහොර පිළිබඳ විවිධ මත හා ප්‍රවාද තිබෙන්නට පුළුවන. එහෙත් පොහොරවලින් තොරව අපේ කිසිදු වගාවක නියම අස්වැන්න ලබාගත නොහැකි ය.

මේ වනවිට රටේ පොහොර ප්‍රශ්නයක් තිබේ. එය වැඩියෙන් ම බලපා ඇත්තේ වී වගාවටය. වී වගාව අපේ ප්‍රධාන භෝගය වන අතර එහි අස්වැන්න අඩු වුවහොත් එය ජාතික ප්‍රශ්නයක් බවට පත් වෙයි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආහාරය බත් වන බැවිනි. විවිධ හේතු නිසා වී වගාව කන්න තුනකින් සිදු නොකළ ප්‍රදේශ තිබේ. ඒ හැරෙන්නට මීට මාස කිහිපයකට පෙර සහල් පිළිබඳ අර්බුදයක් ද හට ගැනිණි. සහල් පිටරටින් ආනයනය කිරීමට සිදුවිය. නැවත කාලගුණය යහපත් වී වී වගාව ආරම්භ කර තිබේ. එහෙත් පොහොර හිඟය සම්බන්ධයෙන් උණුසුම් කතා බහක් ඇති වී තිබේ.

පොහොර පිළිබඳ එක්තරා මතයකින් කියැවෙන්නේ වී ගොවියාට නොමිලේ පොහොර ලබා දිය යුතු බව ය. ඊට විරුද්ධ මතයකින් කියැවෙන්නේ දැනට ම ගොවියාට අවශ්‍ය පොහොර ලබා ගැනීමට රජය ආධාර කරන බව ය. තවත් මතයකින් කියැවෙන්නේ පොහොර ආනයනය පෞද්ගලික අංශයට භාර දී ඇති බැවින් ගැටලු මතු වී ඇති බව ය. ඊට ප්‍රතිවිරුද්ධ මතයකින් කියැවෙන්නේ පෞද්ගලික අංශය පමණක් නොව; රජය ද පොහොර ආනයනය කරන බව ය. තත්ත්වය කෙසේ වුව වී ගොවියාට අවශ්‍ය පොහොර වහා ම සැපයිය යුතු ය. එසේ නොවුණහොත් කුඹුරු පාළු වීමට ඉඩ ඇත. එහි ප්‍රතිඵලය තවත් සහල් අර්බුදයකි.

පොහොර පිළිබඳ ගැටලුව පවතින්නේ සැලැකිය යුතු කාලයක සිට ය. මේ ගැටලුවට හේතුව නිසි කලට පොහොර ගෙන්වා, ඒවා ගබඩාකොට නිසි කලට බෙදාහැරීමක් සිදු නොවන බැවින් යැයි කිව හැකි ය. කෘෂිකර්මයට සම්බන්ධ රාජ්‍ය ආයතන හා ඒවායෙහි උසස් නිලධාරීන් අපේ වගාවන් හි රටාව හඳුනාගෙන පොහොර පිළිබඳ චක්‍රය ක්‍රියාත්මක කළ යුතුය. ඇතැම් ආයතනවලට පොහොර ගැන සිහිපත් වන්නේ ගොවි සංවිධාන උද්ඝෝෂණ කරන විට ය. කන්නයකට අවශ්‍ය පොහොර ප්‍රමාණය පුරෝකථනය කොට එම පොහොර ගබඩාවල තැන්පත් කළේ නම්; මේ ගැටලුව පහසුවෙන් ම විසඳාගත හැකි ය. එහෙත් එය සිදුවන බවක් පෙනෙන්නට නැත.

මීට දින දෙකකට ඉහත දී මැදිරිගිරියේ ගොවිජන මධ්‍යස්ථානයට පොහොර හොණ්ඩර 500ක් ලැබී තිබිණි. එම පොහොර තොගය ගොවීන් විසිපස් දෙනකු අතර බෙදාහැර තිබේ. තවත් ගොවීහු විශාල පිරිසක් හිස් අතින් ගෙදර ගියහ. මේ සම්බන්ධයෙන් කරුණු විමැසීමේදී දැන ගන්නට ලැබුණේ ඉදිරි දිනවල දී පොහොර තොග ලැබීමට නියමිත අතර එසේ ලැබුණු විගස අනෙකුත් ගොවීන් අතර පොහොර බෙදා හරින බව ය. එහෙත් ගොවීන් තෘප්තිමත් වී නැත. ඔවුන්ගේ චෝදනාව වන්නේ පොහොර සම්බන්ධයෙන් මාෆියාවක් පවතින බව ය. තවත් චෝදනාවක් වන්නේ ගොවීන්ගේ ඉල්ලීම්වලට නිලධාරීන් කන් නොදෙන බවය.

මේ පොහොර ප්‍රශ්නය නිසා රජය විවේචනයට ලක්වීමට පුළුවන. දැනට ම එය සිදුවෙයි. එහෙත් වරද පවතින්නේ කොතැන ද යන්න කිසිවකුගේ නිරීක්ෂණයට ලක්වන්නේ නැත. සහල් ප්‍රශ්නය, තෙල් ප්‍රශ්නය හා තවත් බොහෝ ප්‍රශ්න විසඳීමට එක්කෝ ජනාධිපතිවරයා මැදිහත් විය යුතුය. නැතහොත් අගමැතිවරයා මැදිහත් විය යුතුය. ඉන් කියැවෙන්නේ රාජ්‍ය තන්ත්‍රයට අයත් නිලධාරී පැළැන්තිය රට ගැන හැඟීමකින් වැඩ නොකරන බව ය. සහල් අර්බුදයක් එන බව පළමුව දැනගත යුත්තේ නිලධාරීන් ය. තෙල් අර්බුදයක් ඇති විය හැකි බව දැනගත යුත්තේ ද නිලධාරීන් ය. පොහොර අර්බුදයක් ඇතිවිය හැකි බව දැනගත යුත්තේ ද නිලධාරීන් ය. එහෙත් ඒ එකක්වත් සිදු වී නැත. එම ගැටලු හඳුනාගෙන විසැඳුම් ක්‍රියාමාර්ග සෙවූ බවක් ද දැනගන්නට නැත.

ජනාධිපතිවරයා සහල් අර්බුදය විසඳීම සඳහා තායිලන්තයේ ආණ්ඩුවට කතා කළේ ය. තෙල් අර්බුදය විසැඳීම සඳහා ඉන්දියාවට කතා කළේ ය. පොහොර අර්බුදය විසැඳීම සඳහා පාකිස්ථානයට කතා කළේය. තේ අර්බුදය විසඳීම සඳහා රුසියාවේ නායකයාට කතා කළේය. මෙසේ රාජ්‍ය නායකයන් අතර සුහද කතාබහක් ඇතිවීම ද සබඳතා තරවීමද නරක දෙයක් නොවේ. එහෙත් සෑම ගැටලුවක් ම විසැඳීම සඳහා රටේ නායකයන්ම ඉදිරිපත් විය යුතු නම් රාජ්‍ය යාන්ත්‍රණයෙන් පලක් නැත. සහල් ගබඩා කරගෙන නිසි පිළිවෙළකට අනුව ඒවා බෙදාහැරීමට කටයුතු නොකළ නිසා එම අර්බුදය ඇති විය. තෙල් අර්බුදයට හේතුව ගබඩාවල පැවැති තෙල් තොග පවා නිසි ලෙස බෙදාහැරීමට වැඩපිළිවෙළක් නොතිබීමය.

නැවතත් පොහොර අර්බුදය දෙසට අවධානය යොමුකළහොත්; පොහොර ආනයනයට හා ඒවා බෙදා හැරීමට නිසි වැඩපිළිවෙළක් පැවැතිය යුතු බව පෙනී යයි. රට පුරා විහිදුණු ගොවිජන මධ්‍යස්ථාන තිබේ. මේවා ඔස්සේ පොහොර බෙදාහැරීම අගේට කළ හැකි ය. එම මධ්‍යස්ථාන වෙත නිසි කලට පොහොර ලැබෙන ක්‍රමවේදයක් තිබිය යුතුය. එහිදී පොහොර ගබඩා කිරීමේ ක්‍රමවේදයද වැදගත් වෙයි. පොහොර ගබඩා ද සැලැකිය යුතු ප්‍රමාණයක් රට පුරා පවතී. ඇතැම් ගබඩා අවුරුද්දේ වැඩි කාලයක් හිස් ව පවතී. හේතුව පොහොර හිඟකම ය. අවශ්‍ය තරම් පොහොර ගෙන්වා ගබඩා කර ගැනීමට නිලධාරීන් අසමත් වන්නේ ඇයි ද යන්න ප්‍රශ්නයකි.

පොහොර ආනයනය අප දන්නා පරිදි රජය හා පෞද්ගලික අංශය සම - සම ව සිදු කරයි. පෞද්ගලික අංශයටද පොහොර ආනයනය සම්බන්ධයෙන් අවශ්‍ය මූලික පහසුකම් ලබා දෙන්නේ රජය යි. එහි අර්ථය වන්නේ පොහොර සම්බන්ධයෙන් කටයුතු කිරීමේ ඒකාධිකාරී බලයක් රජයට ඇති බව ය. එය කළ යුත්තේ දේශපාලකයන් නොව; නිලධාරීන් ය. නිලධාරීන්ගේ අකාර්යක්ෂමභාවය නිසා ජනාධිපතිවරයාට විදේශීය රාජ්‍ය නායකයන්ට දුරකථනයෙන් කතා කිරීමට සිදුවී තිබේ. පොහොර අර්බුදයෙන්ද ඒ බව සනාථ වී තිබේ. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...