දූෂණ විරෝධී හැරවුම් ලක්ෂය | දිනමිණ

දූෂණ විරෝධී හැරවුම් ලක්ෂය

වංචා හා දූෂණවලට එරෙහි ව ජාතික ව්‍යාපාරයක් ඇති වූ සැටියක් දකින්නට ලැබේ. එහි පළමු වෙඩිමුරය පත්තු කර ඇත්තේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව යැයි කියන්නටත් පුළුවන. නිදහසින් පසුව ස්වදේශික ආණ්ඩු වසර හැත්තෑවකට ආසන්න කාලයක් රට පාලනය කර තිබේ. මේ වසර හැත්තෑව පාලනය කළ ආණ්ඩු නිර්මාණය වූයේ රටේ ප්‍රධාන පක්ෂ දෙක වෙතින් ය. එහෙත් කිසිදු ආණ්ඩුවක් හෝ කිසිදු දේශපාලන පක්ෂයක් හෝ මෙබඳු ඉදිරිගාමී පියවරක් ගෙන නැත. බැඳුම්කර වාර්තාව අපේ මහ බැංකු ක්ෂේත්‍රයේ ද, දේශපාලනයේ ද, ආර්ථික ක්‍රියාවලියේ හා නීතියේ ද සන්ධිස්ථානයක් හැටියට හඳුන්වා දිය හැකි ය. එය යහපත් රටක් ගොඩනැඟීමේ හැරවුම් ලක්ෂයක් ලෙස නිර්වචනය කිරීම ඉතා නිවැරැදි ය.

මහ බැංකුවේ බැඳුම්කර සිද්ධියට අදාළ පරීක්ෂණ වාර්තාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශය දෙස හැරී බැලුවහොත් ඉතා වැදගත් සාධක කිහිපයක් මතුකර ගත හැකි ය. ඉන් පළමුවන්න නම්; බැඳුම්කර සිද්ධියෙන් රජයට අහිමි වූ රුපියල් බිලියන 8.5 ක මුදල නැවත අයකර ගැනීමට පියවර ගන්නා බව ය. දෙවන්න නම්; සිද්ධියට අදාළ වැරැදිකරුවන්ට දඬුවම් ලබාදීමට කටයුතු කරන බව ය. තෙවන්න මීට අදාළ ජනාධිපති කොමිසම පත් කළේ ද පරීක්ෂණ පැවැත්වූයේ ද පුද්ගලයන් කේන්ද්‍ර කරගෙන නොවන බව ප්‍රකාශ කිරීම ය. හතරවන්න මීට පෙර; 2008 සිට බැඳුම්කර සම්බන්ධයෙන් සිදු වී ඇති මහා පරිමාණ වංචා හා දූෂණ ගැන සෙවීමට ද කටයුතු කරන බව කියා සිටීම ය.

අගමැතිවරයා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව අදාළ පරීක්ෂණවලට ඉතා වැදගත් සහයෝගයක් ලබා දී තිබේ. ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා පරීක්ෂණ කටයුතුවලට සහයෝගය ලබාදෙමින් සිය පදවියෙන් ඉවත් විය. එය දේශපාලන ඉතිහාසයේ කැපී පෙනෙන සිද්ධියකි. අගමැතිවරයා ස්වකීය කැමැත්තෙන් ම කොමිසම හමුවට ගොස් සාක්ෂි ලබා දුන්නේ ය. එය ද අපේ දේශපාලන ඉතිහාසයේ කැපී පෙනෙන සිද්ධියකි. මීට පෙර දේශපාලන අත්දැකීම වූයේ මහා පරිමාණ වංචා හා දූෂණ වසා දැමීම සඳහා දේශපාලන බලය යොදාගැනීම ය. යහපාලන රජය සිය විනිවිදභාවය වචනවලට සීමා නොකොට එය යථාර්ථයක් බවට පත් කර තිබේ. මේ සිදුවීම් ගෙන බලන විට ඕස්ට්‍රේලියාව වැනි දියුණු රටක දේශපාලනයේ විනිවිදභාවය සිහිපත් කර ගත හැකි ය.

දැනට හෙළිදරව් වී ඇති තොරතුරුවලට අනුව ගතහොත් 2008 සිට 2014 කාලය තුළ මහ බැංකු බැඳුම්කර ක්‍රියාවලියේ වඩාත් බරතළ වැරැදි සිදු වී ඇත. එක අතෙකින් අවිධිමත් ලෙස බැඳුම්කර වෙන්දේසි පවත්වා ඇත. තව අතෙකින් පැහැදිලි අක්‍රමිකතා සිදු වී ඇත. එහෙත් ඒවා පිළිබඳ කිසිදු පරීක්ෂණයක් මේ දක්වා සිදු වී නැත. එදා පැවැති ආණ්ඩුව හා එහි නායකයන් විනිවිදභාවයකින් යුතුව රාජ්‍ය පාලනය ගෙන ගියේ නම්; එම ආණ්ඩු කාලයේ ම පරීක්ෂණ සිදු කළ යුතුව තිබිණි. එහෙත් එවැන්නක් සිදු වූයේ නැත. බැඳුම්කර ගනුදෙනු අබිරහසක් ලෙස පවත්වාගෙන ගිය බවක් අපට පෙනෙයි. කිසියම් ආණ්ඩුවක් සිය ආර්ථික ගනුදෙනු සඟවා තබාගන්නේ නම්; එහි ම විශාල සැකයක් ගොඩනැ‍ඟෙයි.

බැඳුම්කර සිද්ධිය පිළිබඳ පරීක්ෂණ වාර්තාව දෙස නැවත හැරී බලන විට සාකච්ඡා කළ යුතු තවත් වැදගත් කාරණයක් තිබේ. එනම්; මහ බැංකුවේ පත්වීම් ගැනය. අගමැතිවරයා මහ බැංකුවේ අදාළ පත්වීම් සිදුකර ඇත්තේ විධිමත් ආකාරයට බව වාර්තාව සඳහන් කරයි. බලය ලත් නායකයන් කාර්යයෙහි ශූර පුද්ගලයන් විවිධ තනතුරු සඳහා පත් කරනු ලැබේ. නායකයන්ගේ විශ්වාසය වන්නේ මේ නිලධාරීන් රටට හා ආයතනවලට විශිෂ්ට සේවයක් සිදු කරනු ඇත යන්න ය. එහෙත් එසේ නොවන අවස්ථා තිබෙන්නට පුළුවන. ඉතිහාසයේ ද එබඳු අවස්ථා ඕනෑ තරම් තිබේ. ඒ අනුව බැඳුම්කර සිද්ධියේදී අගමැතිවරයාට චෝදනා කිරීම පදනම් විරහිත බව පෙනී යයි. ඇතැම්විට එය දේශපාලන චෝදනාවක් ලෙස ද හැඳින්විය හැකිය. අගමැතිවරයා යනු මහ බැංකුවේ කටයුතු අධීක්ෂණය කරන තනි පුද්ගලයකු නොවන බවද පැහැදිලි ය.

පිටු එක්දහස් ගණනකින් සමන්විත මේ වාර්තාව පාර්ලිමේන්තු ගත කළ යුතු යැයි ඉල්ලීමක් තිබේ. වාර්තාව සිංහලයට නඟා ජනගත කළ යුතු යැයි යෝජනාවක් ද තිබේ. එය දෙමළ භාෂාවට ද පරිවර්තනය කළාට වරදක් නැතැ’යි අපට සිතේ. අප දන්නා හැටියට මෙහි සැඟවීමට දෙයක් නැත. කොමිසමේ සිද්ධි මෙන් ම ඇතැම් ප්‍රශ්න කිරීම් හා කටඋත්තර ද ජනමාධ්‍ය ඔස්සේ මේ වනවිටත් ප්‍රසිද්ධ වී ඇත. ජනතාව නොදන්නේ කොමිසමේ නිර්දේශ පමණක් යැයි සිතන්නට පුළුවන. වාර්තාව පාර්ලිමේන්තු ගත කිරීමෙන් පසු ඒවා ද ජනතාව වටහා ගනු ඇතැ’යි සිතන්නට පුළුවන. මහජනයාට මේවා ගැන දැනගැනීමට අයිතියක් ඇති බව පවා ප්‍රචාරය වූයේ ජනාධිපතිවරයා පත් කළ කොමිසම නිසා යැයි සිතන්නට පුළුවන.

කොමිසමක් යනු අධිකරණක් නොවේ. කොමිසමකට කළ හැක්කේ අදාළ සිද්ධි පිළිබඳ පරීක්ෂණ පවත්වා සත්‍ය වාර්තාවක් හා ඊට අදාළ නිර්දේශ සමූහයක් යෝජනා කිරීම පමණි. වැරැදිකරුවන් නීතිය හමුවට ගෙන ඒම, නඩු විභාග පැවැත්වීම, දඬුවම් නියම කිරීම වෙනත් ක්‍රියාවලියකි. රටේ පවත්නා නීතියට හා සම්ප්‍රදායට අනුව නීතිපති දෙපාර්තමේන්තුව නෛතික ක්‍රියාවලිය ඉදිරියට ගෙන යා යුතුය. ජනාධිපතිවරයා සිය උපදේශන නීතිපතිවරයාට ලබාදිය යුතුව තිබේ. එය සිදුකරන බව ජනාධිපතිවරයා කියා තිබේ. නඩු විභාග අවසන් වන තුරු ද, දඬුවම් නියම කරන තුරු ද කිසිවකු වරදකරුවකු නොවන වග ද සිහි තබාගත යුතුව තිබේ. දූෂිතයන්ට දඬුවම් ලබාදීම වැදගත් ය. එහෙත් නියම දූෂිතයන් කවුරුන් දැ’යි තවම කිසිවකු දන්නේ නැත.

මහජන මුදල් මහා පරිමාණයෙන් ගසා කෑම හා අවභාවිත කිරීම දීර්ඝ කාලයක සිට සිදුවන්නකි. මහ බැංකුව වැනි තැනෙක සිදුවන ගනුදෙනු සම්බන්ධයෙන් කිසිදු වැටහීමක් සාමාන්‍ය ජනතාවට නැත. මේ අනුව රාජ්‍ය බලය යොදාගනිමින් හෝ නිලධාරී බලය යොදා ගනිමින් හෝ වංචාවන් සිදු කිරීමේ ඉඩ ප්‍රස්ථා මහ බැංකු ක්ෂේත්‍රය තුළ පවතී. මෙම සිද්ධියෙන් පසු එය අවසන් වේ යැයි සිතන්නට පුළුවන. එක අතෙකින් කොමිසම ලබා දී ඇති ආදර්ශය වන්නේ මින් මතු මහ බැංකු ක්ෂේත්‍රයේ කටයුතු සම්බන්ධයෙන් විනිවිදභාවයක් පැවැතිය යුතුය යන්න ය. තව අතෙකින් බැඳුම්කර ඇතුළු මහ බැංකු කටයුතු සම්බන්ධයෙන් සැලකිය යුතු දැනුමක් මහජනයා අතර ව්‍යාප්ත වී තිබේ. මේ දෙකම යහපත් ලක්ෂණ ලෙස හඳුන්වාදිය හැකි ය.

මහ බැංකු බැඳුම්කර සිද්ධියේ ඇත්ත වරදකරුවන් කවුරුන් දැ’යි අප හරියටම දන්නේ නැත. මේ වංචාව සිදු කළ පුද්ගලයන් හෙළිදරව් කිරී‍මත් ඔවුනට දඬුවම් ලබාදීමත් අපේ දේශපාලනයේ හැරවුම් ලක්ෂයක් වන්නේ ය. මේ සිද්ධිය අනාගතයට ආදර්ශයක් වනු ඇත. ‍


නව අදහස දක්වන්න

Or log in with...