පොහොට්ටුවේ අනවසර සංගීතය නවත්වයි | දිනමිණ

පොහොට්ටුවේ අනවසර සංගීතය නවත්වයි

උරණ වූ සෙබළා ඇතුළු පිරිසක් යකා නටලා

පොහොට්ටුවේ බෝනස් ලැයිස්තු ගත තම බිරියට සහාය පතා පවත්වන ලද සංගිත සංදර්ශනය ආරම්භක අවස්ථාවේදීම නතර කර දැමීමට සිදුවිමෙන් ලැජ්ජාවට හා කෝපයට පත්වු හමුදා සෙබළකු සහ ඔහුගේ අනුගාමිකයන් පිරිසක් අසල නිවෙසකට ගල් මුල් වලින් පහර දී නිවැසියන් බියවද්දා ඇතැයි වාර්තාවේ.

දෙසැම්බර් 31 වැනිදින සවස 7. පමණ මෙකී යුධහමුදා සෙබළා විසින් මෙම ගම්මානයේ හා අවට ගම්මානවල පාසල් දරුවන් 75 දෙනකුට පාසල් උපකරණ සෙබළාගේ බිරියගේ මැදිහත් වීමෙන් බේදාදුන් පසුව සංගිත සංදර්ශනය ආරම්භ කිරීමට කටයුතු කර ඇත.මෙම සංගිත සංදර්ශනය ආරම්භ කර මිනිත්තුවකට ආසන්න කාලයක් ඇතුළත යුධහමුදා සෙබළාට ලැබුණ දුරකථන පණිවිඩය වුයේ වහාම ක්‍රියාත්මක වන පරිදි සංගීත සංදර්ශනය නවතා දමන ලෙසටය.

අධික ලෙස බීමත්ව සිටි මෙම පිරිස අසල නිවෙසකට ගල් මුල් වලින් පහරදී අශෝභන ලෙස හැසිරී පරුෂ වචනයෙන් බැණ අපහාස කරමින් යතුරු පැදිවල ගම පුරා යමින් ගම්වාසින්ට අපහසුවන අයුරින් හැසිරී ඇත.

තත්ත්වය උග්‍ර අතට හැරීමෙන් මිහින්තලේ පොලිස් ස්ථානාධිපති ජයන්ත ගුණතිලක මහතා ට දැනුම් දීමෙන් අනතුරුව පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට යවා තත්ත්වය පාලනය කර ඇත.

මෙම යුදහමුදා සෙබළා සිදු කරන්නා වු ක්‍රියාවලිය හේතුවෙන් මෙ වන විට මෙම ගම්මානයේ ජනතාව දැඩි පීඩාවකට පත්වී තිබේ. මවුපියන් පවසා සිටින්නේ මෙම පුද්ගලයා ඔහුගේ ඥාතියකු යොදවා කසිප්පු පෙරා නොමිලේ බොන්නට දි තම දරුවන් මෙම අයුතු කාර්යයන් වලට යොදවා ගන්නා බවයි. මෙම ගම්මානය තුළ ඇති වි තිබෙන තත්වයට වහාම පියවරක් ගන්නා ලෙස මවුපියෝ අදාළ බලධාරින්ගෙන් ඉල්ලා සිටිති. මිහින්තලේ පොලිස් ස්ථානාධිපති ජයන්ත ගුණතිලක මහතා ප්‍රකාශ කර සිටියේ සංගීත ප්‍රසංගය නවතා දැමීමට තීරණය කළේ තමන් බවත් එසේ පියවර ගැනීමට හේතුව වෙනත් කරුණක් නිසා නොව සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට පොලිසියේ අවසරය ලබා ගතයුතු බවකි. එහෙත් කිසිදු අවසරයක් හා දැනුම් දිමක් සිදු නොකර සිදු කළ මෙම සංගීත ප්‍රසංගය නැවැත්විමට පියවර ගත් බව පොලිස් ස්ථානාධිපතිවරය වැඩි දුරටත් සඳහන් කළේය‍. 

මිහින්තලේ සමුහ
ප්‍රියදර්ශනි කරුණාරත්න

නව අදහස දක්වන්න