ණය කන්දරාවක් ගෙවන්න තිබුණත් සෞඛ්‍යයට අධ්‍යාපනයට වැඩි මුදලක් වෙන් කළා | දිනමිණ

ණය කන්දරාවක් ගෙවන්න තිබුණත් සෞඛ්‍යයට අධ්‍යාපනයට වැඩි මුදලක් වෙන් කළා

උපාලි කරුණාරත්න

සුවසැරිය ගිලන් රථ සේවය පසුගිය කාලයේ හාරලක්ෂ පනස් හත් දහස් හාරසිය හතලිහක් පමණ ලබා ගෙන තිබෙනවා. පළාත් දෙකක ජනතාව සඳහායි මේ සේවය ඒ ආකාරයට ක්‍රියාත්මක වුණේ. මේක රටට ලබා දෙන විට කොතරම් මිනිසුන්  ප්‍රමාණයක් මෙයින් සේවය ලබා ගනීද.

විවිධ අර්බුද මැද්දේ රජය අධ්‍යාපනය සහ සෞඛ්‍ය නංවාලීම සඳහා වැඩි මුදලක් වෙන් කර ඇති බවත් 2018- 2019 වර්ෂ වලදී විශාල ණය ප්‍රමාණයක් ගෙවන්ට සිදුවී තිබූ නමුත් රටේ ආර්ථිකය නිසි මඟ ගමන් කරවීමට හැකි වී ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ආර්ථික අර්බුද ඇති අවස්ථාවන්වලදී රටක් වියදම් අඩු කළ යුතු වුවත් සෞඛ්‍ය සේවාව සහ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කර තිබෙන මුදල් ප්‍රමාණය වැඩි කිරීමට රජය ක්‍රියා කළ බවත් අගමැති වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ බව සඳහන් කළේ, පෙරේදා (03) අරලියගහ මන්දිරයේ පැවැති 1990 සුවසැරිය හදිසි ගිලන් රථ සේවාවේ දෙවන අදියර සඳහා එකඟතා ගිවිසුම් අත්සන් තැබීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

මේ යටතේ නව ගිලන් රථ 209ක් ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට පිරිනැමේ. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය ශක්තිමත් කරමින් මෙම ගිලන් රථ සේවාව පසුගිය වර්ෂයේ ඇමරිකානු ඩොලර් මිලියන හතයි දශම හයකින් ආරම්භ වූ අතර දෙවන අදියර සඳහා ඇමරිකානු ඩොලර් මිලියන පහළවක මුදලක් ලැබේ. මෙම මුදල් ඉන්දයාව විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන ප්‍රධානයන්ය.

සුවසැරිය ගිලන් රථ සේවාව ලබාදීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට සහ ඉන්දීය රජයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ස්තුතිය පළ කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා-

සුවසැරිය ගිලන් රථ සේවාව ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ මිත්‍රත්වයට හොඳම උදාහරණයක් වශයෙන් පෙන්වා දිය හැකියි. සුවසැරිය ක්‍රියාත්මක කිරීමට සහයෝගය ලබාදීම පිළිබඳව මම මේ අවස්ථාවේ ඉන්දියන් රජයට සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මූදි මහතාට ස්තුතිය පිරිනමනවා. අද අත්සන් කළ ගිවිසුම නිසා අපට රට පුරාම මේ සුවසැරිය සේවාව ක්‍රියාත්මක කළ හැකියි. එමඟින් මෙරට ජනතාවට ජීවිත රැක ගැනීම සඳහා විශාල සහයෝගයක් ලැබෙනවා.

සුවසැරිය ගිලන් රථ සේවාව ක්‍රියාත්මක කිරීම විශාල පුණ්‍ය කර්මයක් ලෙස හඳුවන්න පුළුවන්. යමෙකුගේ ජීවිතයක් බේරා ගැනීම, රෝගීන්ට සාත්තු කිරීම ඉතා වටිනා ක්‍රියාවන් ලෙස දැක්විය හැකියි. එනිසා සුවසැරිය හදිසි ගිලන්රථ සේවාවෙන් අප සිදු කරන්නෙ ඉතාම අත්‍යවශ්‍ය කාරණයක් බව මතක තබා ගත යුතුයි. සාත්තු ලබා දෙමින් රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම ඉතා උතුම් ක්‍රියාවක් බව අප නිරන්තරව සිහිපත් කළ යුතුයි. බුදුරජාණන් වහන්සේද රෝගීන් සුවපත් කිරීමේ ක්‍රියාව පිළිබඳව සඳහන් කර තිබෙනවා. මිනිසුන්ට පවතින ශාරීරික මෙන්ම මානසික රෝගී තත්ත්වයන් අප සුවපත් කළ යුතුයි.

මෙම ගිලන් රථ සේවාවෙන් සිදුවී තිබෙන සේවය පිළිබඳව මම දීර්ඝ ලෙස කතා කරන්නෙ නැහැ. මෙම ගිලන් රථ සේවාව තම පළාතට ගෙන එන්නෙ කවදාද කියා ජනතාව අපෙන් අහනවා. මෙම සේවාව සියලු දෙනාට ලබා දීම සඳහා එහි දෙවන අධියර අද ආරම්භ කරනවා.

අපේ රටේ රෝගීන්ට මුහුණ පෑමට සිදු වන ප්‍රශ්න පිළිබඳව අපට අවබෝධයක් තිබෙනවා. මීට පෙර කතා කළ රාජිත සේනාරත්න ඇමැතිතුමා ප්‍රකාශ කළේ සමහර අවස්ථාවලදී ත්‍රී රෝද රථයකින් රෝගීන් රෝහල් කරා ගෙන යාමට සිදුවන බව. එම තත්ත්වය වළක්වා ගැනීමට සුවසැරිය ගිලන්රථ සේවාව ප්‍රබල ලෙස දායක කර ගත හැකියි. ඒ නිසා සුවසැරිය අප තවත් ඉදිරියට ගෙන යා යුතුයි. මෙම වැඩ සටහන ආරක්ෂා කරගත යුතුයි. කිසිදු දේශපාලන මැදිහත් වීමකින් තොරව සුවසැරිය හදිසි ගිලන් රථ සේවාව අප අනාගතයේත් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වනවා.

මේ අවස්ථාවේදි තවත් වැදගත් කාරණයක් මා ප්‍රකාශ කරනවා. එනම් මෙම රජය අධ්‍යාපනය සහ සෞඛ්‍ය නංවාලීම සඳහා වැඩි මුදලක් වෙන් කර තිබෙන බව. මේ කටයුතු සිදු කරන්නෙ පවතින විවිධ අර්බුද මධ්‍යයේ. 2018- 2019 වර්ෂ වලදී අපට විශාල ණය ප්‍රමාණයක් ගෙවන්ට සිදුවී තිබෙනවා. ඒ වගේම රටේ ආර්ථිකය නිසි මඟ ගමන් කරවීමට සිදුවෙලා තිබෙනවා. මෙවැනි අවස්ථාවන් වලදී රටක් සිදු කරන්නෙ වියදම් අඩු කිරීමයි. නැතිව වියදම් වැඩි කිරීමක් සිදු වන්නෙ නැහැ. එහෙත් අප සෞඛ්‍ය සේවාව වෙනුවෙන් වෙන් කර තිබෙන මුදල් ප්‍රමාණය වැඩි කරනවා. එහි තිබෙන සේවා වැඩි කරනවා. ඖෂධ මිල වත්මන් රජය අඩු කර තිබෙනවා. මේ හා සමාන්තරව අධ්‍යාපන ක්ෂේත්‍රයේත් වැඩකටයුතු අප කරගෙන යනවා.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවේ මූලික වැඩ කටයුත්ත වී තිබෙන්නෙ ජනතා සුබ සාධනය සඳහා ජනතාවට වැඩි වැඩියෙන් මුදල් වෙන් කිරීමයි. මෙම වැඩ සටහන අප ඉදිරියට රැගෙන යනවා. මෙම වර්ෂයේ, ලබන වර්ෂයේ අධ්‍යාපනයේ සහ සෞඛ්‍ය අංශයේ ඇති වන දියුණුව රටට දැනෙයි. ඒ සඳහා අප කැපවී ක්‍රියා කරනවා. රටක් දියුණු කිරීමේදී දරුවන්ට අධ්‍යාපනය මෙන්ම දැණුම ලබාදීම ඉතා වැදගත්. ඒ වගේම සෞඛ්‍ය සම්පන්න ජනතාවක්ද අවශ්‍යයි. නිරෝගිමත් ජනතාවක් ඇති කිරීමේ කටයුත්තේදී සුවසැරිය සේවාවෙන් ලැබෙන සහයෝගය අප ඇගයිය යුතුයි. මම නැවත වතාවක් නරේන්ද්‍ර මෝදි අගමැතිතුමාට සහ ඉන්දියන් ආණ්ඩුවට ස්තුතිය පළ කරනවා.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සම්බන්ධතාව ‍ඓතිහාසික බව මා ප්‍රකාශ කළ යුතුයි. එය අවුරුදු දහස් ගණනක සිට පැවතෙනවා. බුදු දහම අපට ලැබුණෙ ඉන්දියාවෙන්. ඒ වගේම තවත් බොහෝ වටිනා දෑ අතීතයේ සිට ඉන්දියාවෙන් අපට හිමි වුණා. මෙවැනි සම්බන්ධතා තිබෙන්නෙ රටවල් ස්වල්පයක් අතර පමණයි. මෙම සුවසැරිය ක්‍රියාත්මක කරන්න නියෝජ්‍ය ඇමැති හර්ෂද සිල්වා මහතා විශාල උනන්දුවකින් කටයුතු කළා. සුවසැරිය මුලස්ථානය තිබෙන්නෙ කෝට්ටේ ප්‍රදේශයේ. සුවසැරිය මුළු රටටම වටිනා සේවයක් වෙමින් තිබෙනවා. සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා මෙම වැඩ සටහන ක්‍රියාත්මක කිරීමට ආරම්භයේ සිටම සහයෝගය ලබා දුන්නා. මෙම වැඩ සටහන ඉදිරියට ගෙන යාටම කැපවීමෙන් ක්‍රියා කිරිම පිළිබඳව මම රාජිත ඇමැතිතුමාට සහ හර්ෂද සිල්වා නියෝජ්‍ය ඇමැතිතුමාට ස්තුතිය පුද කරනවා.

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා- බුදුන් වහන්සේ දේශනා කළෙත් නිරෝගිකම උතුම් සැපයක් බවයි. වත්මන් රජය මේ වන විට හෘද රෝගීන් සඳහා අති විශාල පහසුකම් ලබාදී තිබෙනවා. රජයේ රෝහල්වලින් මුදල් ගෙවිමකින් තොරව ඒවා ලබා ගත හැකියි. ඖෂධ මිල ඉතා අඩු කර තිබෙනවා.

මෙම සුවසැරිය ගිලන් රථ සේවාවේ සේවය පසුගිය කාලයේ හාරලක්ෂ පනස් හත් දහස් හාරසිය හතලිහක් පමණ ලබා ගෙන තිබෙනවා. පළාත් දෙකක ජනතාව සඳහායි මේ සේවය ඒ ආකාරයට ක්‍රියාත්මක වුණේ. මේක රටට ලබා දෙන විට කොතරම් මිනිසුන් ප්‍රමාණයක් මෙයින් සේවය ලබා ගනීද. බස්නාහිර සහ දකුණු පළාත් වල ජනතාවයි මෙතෙක් මේ සේවාව ලබා ගත්තේ.

විසි පන්දහසක පමණ පිරිසක් හදිසි අනතුරු නිසා වර්ෂයකට මිය යනවා. මෙම ගිලන් රථ සේවාව අදාළ ප්‍රදේශයන්හි ආරම්භ කිරීමට පෙර බොහෝ රෝගීන් රැගෙන ආවේ ත්‍රී විලර් රථයෙන්. සුවසැරිය ක්‍රියාත්මක කිරීමෙන් අපගේ සෞඛ්‍ය සේවාවට විශාල මුදලක් ඉතිරි කරගත හැකියි. මෙම ගිලන් රථ සේවාවේ විශාල පිරිසක් සේවය කරනවා. එක්දහස් හයසීයකට පමණ රැකියා මෙමගින් හිමිවෙනවා. මෙහි පළමු අධියර ආරම්භ කළ අවස්ථාවේ විවිධ පිරිස්වල විරෝධතා ඇති වුණා.

මෙම වර්ෂයේ හාරසියක් පමණ නව ගිලන්රථ සහ එකසිය පනහක් පමණ තවත් විවිධ වාහන සෞඛ්‍ය සේවාවට එක් කිරීමට බලාපොරොත්තු වනවා. එදා පාරවල් හදන්න වියදම් කළ මුදල් අධ්‍යාපනයට, සෞඛ්‍යයට යොදවනවා. මම ජර්මනියේ ස්ටයිග පදනම සමග සාකච්ඡා කර තවක් තිබෙනවා සෞඛ්‍ය සේවාව සඳහා හෙලිකොප්ටර් හයකුත් මර්සඩිස් බෙන්ස් සමාගමේ වාහන විසි හතරකුත් ගෙන්වීමට. මේවාත් සුවසැරිය සමඟ බද්ධ කරනවා. මේ නිසා ගුවනින් සහ ගොඩබිමින් ගිලන් රථ සේවාවන් අපට ආරම්භ කළ හැකියි.ජී.වී.කේ ආයතනයටත් අප ස්තුති වන්ත වෙනවා.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂද සිල්වා මහතා- 1990 සුවසැරියෙන් අපේ ජනතාව විශාල සේවාවක් ලබා ගන්නවා. අද මගේ දේශපාලන ජීවිතයේ ඉතාම සතුටු වන දවසක්. 2015 මාර්තු මාසයේ ඉන්දීය අග්‍රාමාත්‍යතුමාගෙන් අපේ අග්‍රාමාත්‍යතුමා කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස මෙය හැදින්විය හැකියි. මෙම සේවාව ඉන්දියන් ජනතාව විසින් ශ්‍රී ලාංකික ජනතාවට ලබාදෙන ප්‍රදානයක් වශයෙන් හැදින්විය හැකියි. සුවසැරිය අප ආරම්භ කළේ ඇමරිකා ඩොලර් මිලියන හතයි දශම හයක මුදලකින්.

මෙම වැඩ සටහන ආරම්භයේදී ඒ සඳහා ඉන්දියාවෙන් සේවකයො ගෙන එන බව ප්‍රකාශ වුණා. ගිලන් රථයට ගොඩ වුණොත් කරන්ට් වැදිල මැරෙයි කීවා. ඉන්දියන් ඔත්තු සේවාව පැමිණෙයි කීවා. නමුත් මේ සියලු බාධක යටතේ අප මෙම ගාස්තු නොමැති ගිලන් රථ සේවාව ආරම්භ කළා. මෙම ගිලන් රථ සේවාව පිළිබඳව විශාල ජනතා ප්‍රසාදයක් මේ වන විට ඇති වි තිබෙනවා. මෙම සේවාව පිළිබඳව පැසසුම් කරමින් විශාල ලිපි සංඛ්‍යාවක් ලැබී තිබෙනවා.

මෙම සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා අග්‍රාමාත්‍යතුමාගේ මෙන්ම සෞඛ්‍ය ඇමැතිතුමාගේ පුර්ණ සහයෝගය හිමිවෙනවා. ඒ වගේම සාගල රත්නායක ඇමැතිතුමා සහ පොලිස්පතිවරයාද මේ සඳහා විශාල සහයෝගයක් ලබා දෙනවා. අද වන විට 1990 පිළිබඳව රටේ සැම පුද්ගලයෙක්ම කත බහ වෙනවා.

අද දින ලංකාව පුරාම ව්‍යාප්ත කරන සුවසැරිය දෙවන අධියර සඳහා ඇමරිකන් ඩොලර් මිලියන පහළොවකට අධික ප්‍රමාණයක් එසේ නොමැති නම් රුපියල් මිලින දෙදහස් තුන්සියයකට අධික ප්‍රමාණයක් යොදවනවා. ඉන්දිය ජනතාවට ස්තුතියි කියා මා ප්‍රකාශ කරනවා. අප ඉදිරියේදී පාර්ලිමේන්තුවටද 1990 සුවසැරියේ පදනම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒ තුළන් ස්ථිරසාර අනාගතයකට මේ වැඩ පිළිවෙළ ගෙන යාමට බලාපොරොත්තු වෙනවා. මේ සඳහා ශ්‍රී ලාංකිකයින්ගේ සහයෝගයද බලාපොරොත්තු වෙනවා.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතා- සුවසැරිය දෙවන අදියර ක්‍රියාත්මක කිරීමට ඇමරිකානු ඩොලර් මිලියන පහළොවක් අප යොදවනවා. මෙය අප ශ්‍රී ලාංකික ජනතාවට දුන් ප්‍රදානයක්. මේ සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යතුමාගේ පූර්ණ සහයෝගය ලැබෙනවා.

රෝගී ජනතාවගේ ජීවිත බේරා ගැනීම ඉතාම උතුම් ක්‍රියාවක්. ශ්‍රී ලාංකිකයින් මෙම සුවසැරියෙන් විශාල සේවාවක් ලබා ගන්නවා. මෙය ආරම්භ කිරීමට ඇමරිකා ඩොලර් මිලියන හතයි දශම හයක් පමණ අප යෙදෙව්වා. දෙවෙනි අදියර ආරම්භයත් සමඟ පළාත් දෙකකට සීමා වී තිබූ සුවසැරිය අනෙකුත් පළාත් සඳහාද ව්‍යාප්ත වෙනවා. මෙම වැඩ සටහනෙන් හොද ආදර්ශයක් මානව සමාජයට ලබා දෙනවා.

සුවසැරිය වැඩ සටහනෙන් ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර පවතින සුහදතාව පෙන්නුම කරනවා වගේම එකමුතු කමෙන් බොහෝ දේ කළ හැකි බවද පෙන්නුම කරනවා. මෙම වැඩ සටහනෙන් මෙරට ජනතාවට රැකියා අවස්ථාද බිහි වෙනවා. ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් අප ඉදිරියටත් මෙවැනි වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. රටක් දියුණු වීමට රැකියා බිහිවිය යුතුයි. රටවල් අතර නවින තාක්ෂණය හුවමාරු කරගත යුතුයි. සුවසැරිය මෙතරම් සාර්ථක වීමට ප්‍රධාන හේතුව ලංකාවේ රජය ඒ සඳහා දැඩි කැපවිමකින් ක්‍රියා කිරීමයි.

ශ්‍රී ලංකාව සමඟ ඉතා සුහදව කටයුතු කිරීම ඉන්දියාවේ ප්‍රධාන අරමුණක්. අප අනෝන්‍ය අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. අප වතුකරයේ සෞඛ්‍ය පහසුකම් දියුණු කරන්න උදව් කරනවා. ඒ වගේම වව්නියාව, කිලිනොච්චි, යාපනයට රෝහල් පහසුකම් ලබාදීමට ක්‍රියා කරනවා.

මෙම අවස්ථාව සඳහා නීතිය සාමය සහ දක්ෂිණ සංවර්ධණ ඇමැති සාගල රත්නායක මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

ඡායාරූප- හිරන්ත ගුණතිලක 

නව අදහස දක්වන්න