මොරගහකන්ද ජලාශයෙන් හෙක්ටයාර් 82,000ක් අස්වද්දයි | දිනමිණ

මොරගහකන්ද ජලාශයෙන් හෙක්ටයාර් 82,000ක් අස්වද්දයි

සමන්මලී ප්‍රියශාන්ති

මංගල දියවර නිකුත් කිරීම 8 දා ජනපති, අගමැති සහභාගීත්වයෙන්

මහවැලි ව්‍යාපාරය හරහා ජලය ලබා ගත් හෙක්ටයාර් ලක්ෂයක භූමි ප්‍රමාණය මොරගහකන්ද වාරි ව්‍යාපෘතිය නිසා තවත් හෙක්ටයාර් 82,000 කින් වැඩි කර ගැනීමට හැකියාව ලැබුණු බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ මංගල දියවර නිකුත් කිරීම් ජාතික උත්සවය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක් වෙමිනි. මෙම මාධ්‍ය හමුව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී ඊයේ (05දා) පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ ඒ මහතා මෙසේද කීවේය. මංගල දියවර නිකුත් කිරීමේ උත්සවය ජනාධිපති හා අගමැති ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර මැති ඇමැතිවරු පිරිසක් මේ අවස්ථාවට එක් වීමට නියමිතයි.

මොරගහකන්ද මහා වාරී ව්‍යාපෘතියේ පංචජල ව්‍යාපාරයේ අවසන් ජලාශය වන මොරගහකන්ද ජලාශයේ ජලය නිකුත් කිරීම සනිටුහන් කරන උත්සවය හා මහවැලි ව්‍යාපාරය අවසන් කිරීමත් සනිටුහන් කිරිම අරමුණු කර ගෙන මෙය ජාතික උත්සවයක් ලෙස පවත්වන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබෙනවා. මොරගහකන්ද ජලාශයේ දියවර නිකුත් කිරීමේ උත්සවයට සමගාමීව පාපැදි තරඟයක් ක්‍රීඩා අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. එම තරඟය මොරගහකන්දේ සිට මහනුවර පොල්ගොල්ල දක්වා පැවැත්වෙන අතර දියවර නිකුත් කිරීමේ උත්සවයෙන් පසුව ජනාධිපති, අගමැති ඇතුලු පිරිස මහනුවර පොල්ගොල්ලේ දී සවස 3.30 ට පැවැත්වෙන උත්සවයකද සහභාගී වෙනවා.

1960 ගණන් වල මහවැලි ව්‍යාපරය සම්බන්ධ සංකල්පය මතු ව පසුව 1976 ජනවාරී 7 වැනිදා සිරිමාවෝ මැතිණිය විසින් ප්‍රථම දියවර නිකුත් කිරීමේ අවස්ථාව අනුස්මරණය කරමින් මේ උත්සවය පැවැත්වෙනවා.

මොරගහකන්ද දියවර නිකුත් කිරීමද ජනවාරී 8 වැනිදාට යෙදීම ඓතිහාසික සිදුවීමක් වන නිසා මේ උත්සව දෙකම එක දිනකට එක් කර මේ උත්සවය පවත්වනවා.

වසර තිහක් යුද්ධ කරන විට සහල් පිළිබඳව අපට ගැටලුවක් තිබුණා නම් යුද්ධයක් කරන්න බැරි වෙනවා. සහල් ගෙන්වන්න සිදු වෙනවා. අපිට මේ සියල්ල කරන්න පුළවන් වුණේ මහවැලි ව්‍යාපාරය යටතේ අපි සහලින් ස්වයං පෝෂිතවීම නිසයි. මහවැලි ව්‍යාපාරය රටේ ආර්ථික, දේශපාලන, සමාජ ඇතුලු විවිධ ක්ෂේත්‍රවලට සාධනීය බලපෑමක් කළා.

මොරගහකන්ද පංචමහා වැව් ව්‍යපෘතිය නොයෙක් හේතු නිසා අතර මඟ නතර වුවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත මේ ව්‍යාපෘතිය ආරම්භ කරන්නට පියවර ගත්තා. දේශීය මුල්‍යාධාර මත ආරම්භ වු මේ ව්‍යාපෘතියට පසුව විදේශ ආධාර ලබා ගත්තා. මේ ව්‍යාපෘතිය මෙතැනින් නතර වන්නේ නැහැ. වඩමුණේ පළාත දක්වා තවත් වසර එකහමාරක කාලයක් තුළ මේ ව්‍යාපෘතිය තව දුරටත් පුළුල් කරනවා. මේ ව්‍යාපෘතිය සමඟ ඒකාග්‍ර කෘෂිකර්මාන්තයකට යාමට අවස්ථාව ලැබෙනවා වගේම නව ආයෝජන අවස්ථා, කෘෂි කර්මාන්ත ආදිය මේ ප්‍රදේශවල ඇති වෙනවා. එමෙන්ම මේ තුළින් ජනවාර්ගික, පළාත්බද ඒක්‍රාග්‍රතාවයක් ඇති කරන්නත් බලාපොරොත්තු වෙනවා.

මේ රටේ පොහොර සම්බන්ධයෙන් ගැටලුවක් තිබෙන බව කවුරුත් දන්නවා. මේ වන විට පොහොර මෙට්‍රික් ටොන් 75000 ක් ජනාධිපතිවරයාගේ ඉල්ලීමක් පරිදි පකිස්ථානයෙන් ගෙන්වීමට නියමිතය. මෙහි පළමු තොගය ලෙස මෙට්‍රික් ටොන් 41000 ක් වහාම ගෙන්වීමට නියමිත අතර පෙබරවාරි අග වන විට අනෙක් තොගය ලැබෙනු ඇතැයි අපෙක්ෂා කරනවා.

මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග මහතා - මෙය ආරම්භ කරන විට ඒකාබද්ධ අරමුදල් පමණයි වැය කළේ. නමුත් අද වන විට කුවේට් සංවර්ධන අරමුදල, සෞදි සංවර්ධන අරමුදල, ඔපෙක් ජාත්‍යන්තර අරමුදල යටතේද මුදල් ලබා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. මහවැලි ව්‍යාපාරය හරහා මේ රටේ භූමි ප්‍රමාණයෙන් තුනෙන් එකක් ආවරණය වන අතර බිලින 1.4 ක් මෙයින් සෘජු ප්‍රතිලාභ ලැබුවා. මොරගහකන්ද ව්‍යාපෘතිය නිසා ඒ ප්‍රතිලාභ තවත් වර්ධනය වෙලා තිබෙනවා. මෙය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන අතර ඉතා වේගයෙන් මෙහි කටයුතු සිදු කර මේ ව්‍යාපෘතිය යථාර්ථයක් බවට පත් කර තිබෙනවා. මෙයින් ක්ෂේත්‍ර ගණනාවකට සෘජු හා වක්‍ර ප්‍රතිලාභ ලැබුණා. මහවැලි හා පරිසර අමාත්‍යංශ ලේකම් ගෝඨාභය ජයරත්න- මහවැලි ව්‍යාපාරය නිසා පුනර්ජනනීය බලශක්ති ව්‍යාපාරය යටතේ අපි සෘජුව ම හා කුඩා පරිමාණ ව්‍යසායකයින් සමඟ එක්ව දිනකට මොගා වොට් දහසක් ජාතික විදුලිබල පද්ධතියට එක් කරනවා. මොරගහකන්ද හා උමා ඔය ව්‍යාපෘති හරහා මෙය ඉදිරි වසර තුළ තවත් මෙගා වොට් 150 කින් වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා.

හෙක්ටයාර් 30000 ක ජල මතුපිටක් අපේ සමස්ත ජලාශ පද්ධතියේ තිබෙනවා. 2025 වන විට අපි බලාපොරොත්තු වෙනවා එයින් සියයට 20 ක් සුර්යබල විදුලි නිෂ්පාදන සඳහා අයෝජකයින්ට අවස්ථාව ලබා දෙන්න. එහි පළමු අදියර ලෙස මාදුරුඔය ව්‍යාපෘතියට අපි ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවා තිබෙනවා. අනාගතයේදීත් තවදුරටත් පුනර්ජනනීය විදුලි බල නිෂ්පාදනයට දායක වෙන්න අපි අදහස් කරනවා. එමෙන්ම මෙරට පානීය ජල අවශ්‍යතා සියයට 35 ක් සපයන්නේ මහවැලිය ආශ්‍රිතයෙන්. ඒ අනුව මහවැලි ජලය හුදෙක් කෘෂිකර්මයට පමණක් නොවේ. බීමට, විදුලි බලය නිෂ්පාදනයට ලබා ගෙන කෘෂිකර්මාන්තයටත් ලබා දෙනවා. අපි හැම ජල බිදුවකින්ම උපරිම ප්‍රතිඵල ලබා ගන්නවා. යැයි කීවේය.මේ අවස්ථාවට ව්‍යාපෘතියට සම්බන්ධ ඉංජිනේරුවන් ඇතුළු පිරිසක් ද සහභාගී වුහ.‍ 

නව අදහස දක්වන්න