මොරගහකන්ද! | දිනමිණ

මොරගහකන්ද!

 

ශ්‍රී ලංකාව ඈත අතීතයේ සිට ම සශ්‍රීකව පැවැතිණි. පෙරදිග ධාන්‍යාගාරය යන වචනයෙන් අපේ රට හැඳින්වෙන්නේ ද පැවැති සමෘද්ධිමත්භාවය නිසා ය. පෙරදිග ධාන්‍යාගාරය යන යෙදුමෙන් කරුණු දෙකක් සනාථ වෙයි. පළමු කරුණ වන්නේ ආසියානු කලාපයේ කැපී පෙනෙන ආර්ථික තත්ත්වයක් අපට තිබුණු බව ය. දෙවන කරුණ වන්නේ එදා රටේ ජනතාව සමෘද්ධිමත් ජීවිත ගත කළ බව ය. නිදහස ලබන විට අපේ ආර්ථිකය ආසියාවේ ජපානයට පමණක් දෙවෙනි වූ බවට සාක්ෂි තිබේ. මෙයින් පෙනීයන්නේ එදා නායකයන් බුද්ධිමත් සැලැසුම්වලට අනුව රටේ ආර්ථිකය ස්ථාවර කළ බවකි.

ශ්‍රී ලාංකේය ශිෂ්ටාචාරයේ කැපී පෙනෙන ලක්ෂණ දෙකක් ඇති බව විද්වතුන්ගේ මතය වේ. එකක් නම්; වාරි කර්මාන්තය සඳහා අපේ ඉංජිනේරුවන් දැක් වූ සමත්කම් ය. අනෙක නම්; ස්ථූප හා ගොඩනැගිලි ඉදිකිරීම සඳහා අපේ ඉංජිනේරුවන් දැක්වූ සමත්කම් ය. මේ ඉදිකිරීම් ඔස්සේ එක අතෙකින් රටේ ජනතාවගේ ආර්ථිකය පොහොසත් විය. තව අතෙකින් ජනතාවගේ අධ්‍යාත්මික ජීවිතය පොහොසත් විය. වැවයි - දාගැබයි යන සංකල්පය බිහි වූයේ ද යථෝක්ත ඉදිකිරීම් ඔස්සේ ය. මේ ශිෂ්ටාචාරය ලෝකයේ සියලු විශිෂ්ට ශිෂ්ටාචාරවලට නොදෙවෙනි බව සනාථ වී ඇත.

අපේ ශිෂ්ටාචාරයේ ප්‍රධාන පදනම් දෙකක් ඇති බව මෙයින් පෙනී යයි. පළමු පදනම සාර්ථක කෘෂිකාර්මික රටාව යි. දෙවන පදනම වන්නේ බුදුදහමේ අධ්‍යාත්මික සංවර්ධනය යි. අතීත රජවරු මේ අංශ දෙකම දියුණු කිරීමට උත්සුක වූහ. කෘෂිකර්මාන්තය දෙසට හැරුණහොත් එහි ප්‍රධාන විභවශක්තිය වූයේ වාරි කර්මාන්තය යි. වාරි කර්මාන්තය යන්නට වැව් තැනීම, ඇළ මාර්ග තැනීම හා වාරිමාර්ගවලට අයත් තවත් දේවල් ඉදිකිරීමත් අයත් විය. වසභ රජු වැව් එකොළහක් තැනුවේ ය. ප්‍රධාන ඇළ මාර්ග දොළහක් තැනුවේ ය. මහසෙන් රජු වැව් දහසයක් හැදුවේ ය. මහා පරාක්‍රමබාහු රජු පරාක්‍රම සමුද්‍රය ඇතුළු වාරිකර්මාන්ත රැසක් ඉටුකොට රට නව ආර්ථික යුගයක් කරා ගෙන ගියේ ය.

මෑත යුගයේ මෙබඳු සංවර්ධනයකට හා නව ශිෂ්ටාචාරයකට යන මාවත හෙළි වූයේ මහවැලි සංවර්ධන ව්‍යාපාරයෙන් යැයි කිව හැකි ය. මහවැලි මහා ව්‍යාපෘතිය අපේ ඉතිහාසයේ සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකි ය. අද වන විට මහවැලි ව්‍යාපාරය ආරම්භ වී වසර හතළිහක් ගත වී ඇත. මහවැලිය ව්‍යාපෘතියට ප්‍රධාන ජලාශ පහක් ඇතුළත් විය.ඒ වික්ටෝරියා, කොත්මලේ, රන්දෙණිගල, මාදුරුඔය හා මොරගහකන්ද යන ලෙසින් ය. මෙහි මුල් ජලාශ හතර ඉදි ව අවසන් වුව මොරගහකන්ද ජලාශයේ ඉදිකිරීම් තරමක් ප්‍රමාද විය. එය කව්රුත් දන්නා සත්‍යයෙකි.

මොරගහකන්ද ජලාශය අපේක්ෂිත විදුලිය උත්පාදනයට උපකාරක නොවන බැවින් පළමුව එහි ඉදිකිරීම් ප්‍රමාද වූ බවක් කියැ වේ. දෙවනුව දේශපාලන සාධක මත මොරගහකන්ද ජලාශයේ ඉදිකිරීම් පමා වූ බවක් පෙනී යයි. රජරට ප්‍රදේශයේ කෘෂිකර්මයට අවශ්‍ය ජලය සැපයීම කෙරෙහි ඇතැම් දේශපාලකයන් උනන්දු වී ඇති බවක් පෙනෙන්නට නැත. ඒ වෙනුවට හම්බන්තොටට ජලය ලබාදීම කෙරෙහි සමහරුන් උනන්දු වී ඇත. රජරට ජල ගැටලුව දීර්ඝ කාලය සිට පවතින්නකි. ශ්‍රී ලංකාවට අවශ්‍ය සහල් නිෂ්පාදනයේ මූලික තැන ලැබෙන්නේ ද රජරටට ය. රජරට යැයි කියුවද මොරගහකන්ද ව්‍යාපෘතියෙන් පෝෂණය වන ප්‍රදේශ ගණනාවකි. අනුරාධපුරය, පොළොන්නරුව, මාතලේ, ත්‍රිකුණාමලය හා කුරුණෑගල යන දිස්ත්‍රික්ක ඊට ඇතුළත් ය.

මොරගහකන්ද ජලාශයේ මංගල දියවර අද නිකුත් වේ. මෙය රජරට කෘෂිකර්මයේ සුවිශේෂ අවස්ථාවක් සේ ම අපේ විදුලිය නිෂ්පාදනයේ ද සුවිශේෂී අවස්ථාවක් ද වෙයි. මොරගහකන්ද විදුලිය නිෂ්පාදනය ඔස්සේ රටට රුපියල් මිලියන 336ක ප්‍රතිලාභයක් ලැබෙන බව ප්‍රකාශිත ය. මේ ව්‍යාපෘතියේ ජල සැපයුම ඔස්සේ කුඹුරු හෙක්ටයාර් 82,000ක් වගා කළ හැකි බව ද ඒ මගින් රටට වාර්ෂිකව රුපියල් මිලියන 4000ක ප්‍රතිලාභයක් හිමිවන බව ද සඳහන්ය. රජරට ප්‍රදේශයේ කුඹුරු වගාවට ඉතා අවාසනාවන්ත කාලයක් උදා වී තිබිණි. ඒ අනුව කන්න දෙක - තුන අත්හැරී ගියේ ය. අපේ රටේ පවතින සහල් හිඟයට හා මිල ඉහළ යෑමට ප්‍රධාන හේතුවක් වන්නේ ද රජරට සහල් නිෂ්පාදනය දුර්වල වීම ය.

මොරගහකන්ද ජලාශයට ජලය සපයන ප්‍රධාන මූලාශ්‍රය වන්නේ අඹන් ගඟ ය. අඹන් ගඟ හරස් කොට රජරටට ජලය සපයන ව්‍යාපෘති අතීතයේ ද පැවැති බව ඉතිහාසය සඳහන් කරයි. අදත් ඒවායින් සමහරක් පවතී. ඇළහැර වාරි හැරවුම් පද්ධතිය ඉන් එකකි. ඇළහැර අමුණ වසභ රජුගේ කාලයේ පටන් පැවැත එන බව සඳහන් ය. ඉන් පැහැදිලි වන්නේ අතීතයේ පටන් පැවැත එන උරුමයක් ද මොරගහකන්ද ව්‍යාපෘතියට පාදක වී ඇති බව ය. රජරටට ජලය සැපයිය හැකි හොඳම ව්‍යාපෘතිය ලෙස මෙය හැඳින්විය හැකි ය. මේ ව්‍යාපෘතිය ඉදිකිරීමේ මූලික ගෞරවය හිමිවිය යුත්තේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බව අමුතුවෙන් කිව යුතු නැත. එතුමා මේ ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා අනන්ත කැපකිරීම් සිදුකර ඇති බව ඉතිහාසය විමසන විට පෙනී යයි.

මහවැලි ඇමැති ලෙස කටයුතු කරන කාලයේ මෛත්‍රීපාල සිරිසේන මහතා මේ ව්‍යාපෘතියට මුල්ගල තබා ඇත. ඊට පෙර ව්‍යාපෘතිය සම්බන්ධනේ විද්‍යාත්මක ශක්‍යතා වාර්තා කිහිපයක් ලබාගෙන ඇත. එම ශක්‍යතා අධ්‍යයන වාර්තාවලින් පෙන්වා දී ඇත්තේ මෙය රජරටට වෙනසක් ඇති කරන ප්‍රධාන ජල ව්‍යාපෘතියක් හැටියට ය. ඇළ මං, වාරි උමං මං, වගා බිම්, නගර නිර්මාණ ආදී නව ශිෂ්ටාචාරයකට අයත් සියලු අංග මේ වන විට ඉදිකර අවසන් ය.රටේ සංවර්ධනයේ මූලික සාධකය කෘෂිකර්මය නම්; ඊට විභව ශක්තිය ලබා දෙන ප්‍රධාන ක්‍රමවේදයක් ලෙස මොරගහකන්ද හැඳින්විය හැකි ය. මෙය ජාතියේ ජයග්‍රහණයක් ලෙස ද හැඳින්විය හැකිය. ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා එකතුව මෙහි මංගල දියවර මුදාහැරීම ද දේශපාලනයේ කැපී පෙනෙන අවස්ථාවක් වෙයි.

රජරට ගොවි පුතෙක් රටේ නායකත්වයට පත් වී ඇත. ඔහු සමස්ත රාජ්‍යයේම සංවර්ධනයට මග පාදන යෝධ ව්‍යාපෘතියක් නිමවා ඇත. එය ඉතිහාසයට එකතුවන්නේ නව ශිෂ්ටාචාරයක ආරම්භයක් ලෙස ය.



නව අදහස දක්වන්න

Or log in with...