ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් ධුරයට රොෂාන් බියන්විල | දිනමිණ

ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් ධුරයට රොෂාන් බියන්විල

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් කොමදෝරු රොෂාන් බියන්විල මහතා පත්වෙයි. ක්‍රිකට් ආයතනයේ ඊයේ උදෑසන පැවැති විශේෂ මහ සභා රැස්වීමේදී ඒ මහතා නිතරගයෙන් ලේකම් තනතුරට පත්විය.

මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ මොහාන් ද සිල්වා මහතා දේශීය ක්‍රිකට් භාර උපසභාපතිවරයා ලෙස පත්කරනු ලැබීය.

මීට අමතරව ක්‍රීඩා පනතට අනුකූලව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සංශෝධනය කරනු ලැබූ 2006/13 (2017පෙබරවාරි 13) සහ 2017/41 (2017 මැයි 5) ගැසට් නිවේදන යටතේ ක්‍රියාත්මක වන නීතිරෙගුලාසි ක්‍රිකට් ව්‍යවස්ථාවට ඇතුළත් කරගැනීමටත්, දේශීය තරගාවලි රෙගුලාසි සහ එම තරගාවලි සැකැස්මත් ස්ථීර කරමින් ක්‍රිකට් විධායක කමිටුවේ අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ සාමාජිකයකු වන බියන්විල මහතා ගුවන් හමුදාවේ කීර්තිමත් නිලධාරියෙකි. ඒ මහතා ක්‍රිකට් විධායක කමිටුවේ සාමාජිකයකු ලෙස කටයුතු කරමින් සිටියේ ආරක්ෂක සේවා ක්‍රීඩා සංගම් නියෝජනය කරමිනි. ආරක්ෂක සේවා ක්‍රීඩා සංගම් නියෝජනය කරමින් ක්‍රිකට් විධායක කමිටුවේ සාමාජිකත්වය හිමිවන්නේ දෙවසරකට වරක් ගුවන්, යුද සහ නාවික හමුදා අතරේ බෙදී යන ආකාරයෙනි.

නව අදහස දක්වන්න