තායි සුමේධා මදුරුවන් පලවා හරින හඳුන්කූරු හඳුන්වා දෙයි | දිනමිණ

තායි සුමේධා මදුරුවන් පලවා හරින හඳුන්කූරු හඳුන්වා දෙයි

 

දේශීය හඳුන්කූරු නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන තායි සුමේධා එන්ටප්‍රයිසස් සිය ‘ලංකා සුමේධා’ හඳුන්කූරු වෙළෙඳ නාමය යටතේ මදුරුවන් පලවා හැරීමේ හැකියාවෙන් යුත් නවතම හඳුන්කූරු වර්ගයක් වෙළෙඳ පොළට හඳුන්වා දී තිබේ. පැඟිරි, සේර සහ කුරුඳු යන ස්වභාවික ශාක සාරයන් මිශ්‍ර පැඟිරි සුවඳැති හඳුන්කූරු ලෙස මෙය පාරිභෝගිකයන් අතට පත්වෙයි. කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවන, ඉහළ ප්‍රමිතියකින් යුත් නිෂ්පාදනයක් වන මෙය ඩෙංගු උවදුරට කදිම පිළියමක් බව ආයතනය පවසයි.

වසර 30 කට ආසන්න කාලයක් පුරා ඉතා ඉහළ ප්‍රමිතියෙන් සහ අනර්ඝ නිමාවකින් යුත් හඳුන්කූරු නිෂ්පාදන වෙළෙඳ පොළට හඳුන්වා දෙමින් විශ්වසනීය නාමයක් දිනා සිටින තායි සුමේධා ආයතනය නියමිත මාත්‍රාවන්ට අනුව ස්වභාවික අමුද්‍රව්‍ය පමණක් භාවිත කර මේ හඳුන්කූරු නිෂ්පාදනය කරන බැවින් එය කුඩා දරුවන්ට වුවද අහිතකර නොවන සෞඛ්‍යාරක්ෂිත නිෂ්පාදනයකි. මේ හඳුන්කූරක් මිනිත්තු 90 ක පමණ කාලයක් පුරා දැල්වී පවතියි. ‘උසස් ප්‍රමිතියෙන් යුත් හඳුන්කූරු වෙළෙඳ පොළට හඳුන්වා දෙමින් දේශීය හඳුන්කූරු නිෂ්පාදන කර්මාන්තයේ කැපී පෙනෙන වෙනසක් සනිටුහන් කළ අප ආයතනයේ තවත් අනර්ඝ නිෂ්පාදනයක් ලෙස මදුරුවන් පලවා හරින සෞම්‍ය හඳුන්කූරු හඳුන්වාදිය හැකියි.

මේ වන විට වෙළෙඳ පොළේ මදුරු නාශක කොතෙකුත් තිබුණද ඒවා නිෂ්පාදනය සඳහා විවිධ රසායනික ද්‍රව්‍ය ආදිය යොදාගන්නා බැවින් එවැනි නිෂ්පාදන භාවිතය විවිධ ලෙඩ රෝගවලට පවා හේතුවෙනවා. නමුත් ලංකා සුමේධා හඳුන්කූරුවල සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කර ඇති බැවින් එවැනි අහිතකර තත්ත්වයන්ට මුහුණ නොදී ඉතා පහසුවෙන් මදුරු උවදුරෙන් මිදීමට හැකියාව ලැබෙනවා’ යනුවෙන් තායි සුමේධා එන්ටප්‍රයිසස් අධිපති සුමේධ ඇල්පිටිය මහතා පැවැසීය. 

නව අදහස දක්වන්න