වසර තුනක්! | දිනමිණ

වසර තුනක්!

වත්මන් ආණ්ඩුවට වසර තුනකට ආසන්න කාලයක් ගෙවී ඇත. මෙලෙස ගෙවී ගිය කාලය තුළ රටට හා ජනතාවට සිදුවූ ධනාත්මක දේ කුමක්ද යන්න ප්‍රශ්න කිරීමට හොඳම කාලය පැමිණ තිබේ. එක අතෙකින් රටේ ආර්ථිකය ස්ථාවිර විය යුතු ය. අනෙක් අතින් රටේ දේශපාලනය නිදහස් විය යුතුය. හරියටම කිවහොත් එය යුක්තිසහගත විය යුතුය. මේ අංශ දෙකෙන්ම සැලැකිය යුතු ප්‍රගතියක් සටහන් කිරීමට වත්මන් ආණ්ඩුව සමත් වී ඇති බව අපගේ අදහස ය. එලෙස ම එය අපගේ පිළිගැනීම ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා රනිල් වික්‍රමසිංහ මහතා එකම රාජ්‍ය පාලනයක් සඳහා නැතහොත් එක ආණ්ඩුවක් සඳහා ඒකමතික ලෙස කැමැත්ත පළ කිරීම අපේ රටේ දේශපාලනයේ සන්ධිස්ථානයකි. එම සන්ධිස්ථානය ලෝකයේ දේශපාලන රටාව හා ආර්ථික රටාව ඒකරාශී කළ අපූරු බුද්ධිමත් සංවාදයක් ලෙස හැඳින්විය හැකිය. එය අදටත් පවතී. අපගේ හැඟීමට අනුව එය හෙටටත් පවතී. රටට හා ජාතියට ගැලපෙන දේශපාලන හා ආර්ථික ක්‍රියාවලිය මේ යැයි සඳහන් කරන්නට පුළුවන.

අවුරුදු තුනක් තිස්සේ මේ ආණ්ඩුව සිදුකළේ කුමක්දැ’යි සමහරු ප්‍රශ්න කරති. ඊට පිළිතුරු ගණනාවක් තිබේ. එක; රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා උපරිම පියවර ගෙන තිබේ. දෙක; රටේ ආර්ථිකය ලෝක ආර්ථිකය හා සම්බන්ධ කර තිබේ. තුන; රටට අවශ්‍ය පෞද්ගලික නිදහස මාධ්‍ය නිදහස හා නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කර තිබේ. නිදහස් රාජ්‍යය බිහිකිරී‍ෙම් පළමු කොන්දේසිය ලෙස එය සැලැකිය හැකි ය. 2015 න් පසු අපේ රට නිදහස් රාජ්‍යයක් බවට පත්විය.

මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ ඊයේ විවෘත විය. එහි අදහස වන්නේ රජරට ස්වයංපෝෂිත කිරීමේ ප්‍රධාන වැඩසටහන ආරම්භ වී ඇති බවය.මොරගහකන්ද යනු දේශපාලන මතිමතාන්තර අනුව යටගිය රටේ සංවර්ධනයට අවශ්‍ය මූලික ව්‍යාපෘතියකි. මහින්ද රාජපක්ෂ යුගයේදී එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ඉඩ ලැබුණේ නැත. ඒ වෙනුවට හම්බන්තොටට ජලය ප්‍රවාහනය කරන වෙනත් වැඩසටහනක් සඳහා ආණ්ඩුවේ ප්‍රමුඛතාව ලැබිණි.

වත්මන් ආණ්ඩුව ලෝක ආර්ථිකයේ සැලැකිය යුතු සටහනක් ලෙස ශ්‍රී ලංකාව තබා ගැනීමට උත්සාහ කළේය. එය සාර්ථකවී තිබේ. එක අතෙකින් ශ්‍රී ලංකාවේ අපනයන ගැන ලෝකයේ අලුත් උනන්දුවක් ඇතිවී ඇත. තව අතෙකින් අපට අවශ්‍ය ආයෝජකයන් රටට ආකර්ෂණය වී ඇත. තවත් අතෙකින් රටේ සුළු පරිමාණ හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් කුල්මත් වී ඇත. මේ සියල්ලෙන් ම පෙනී යන්නේ රටේ ජාතික ආර්ථිකයේ විශාල ප්‍රබෝධයකි. ආණ්ඩුව විවේචනය කරන අය පවා ව්‍යාපාර කිරීමට පෙළැඹී සිටිති.

රටක ස්ථාවරත්වය සඳහා බලපාන ප්‍රධාන සාධක දෙකක් තිබේ. එක; එම රාජ්‍යයෙහි ගොඩනැඟෙන ආර්ථික ස්ථාවරත්වයය. අනෙක එම රාජ්‍යයේ ගොඩනැඟෙන දේශපාලන ස්ථාවරත්වයයි. මේ දෙක එකිනෙකට සම්බන්ධය. අංශ දෙකෙහි සමපාතී බවකින් තොරව රට ඉදිරියට ගෙන යා නොහැකි ය.

ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුව අන්තර්ජාතික වශයෙන් ඉතා හොඳ කීර්තිමත් තැනෙක සිටී. එහි ගෞරවය යා යුත්තේ ජනාධිපතිවරයාට අගමැතිවරයාට හා කැබිනට් මණ්ඩලයට යැයි අපි නැවත නැවත කියා සිටිමු. ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර සම්මුතියක් නොවූයේ නම්; මේ එක වැඩසටහනක් හෝ ක්‍රියාත්මක කළ නොහැකිය. අනෙක් අතට ජනතාව මේ වැඩසටහන අනුමත නොකරන්නේ නම්; ඒවා ද ඉදිරියට ගෙන යා නො හැකි ය. ආණ්ඩුව මෙන්ම පාලකයන්ද බුද්ධිමත් ලෙස කටයුතු කළ බැවින් දේශපාලනයේ බොහෝ ගැටලු විසැඳී ඇත.

අප්‍රිකානු මහාද්වීපයේ රටවල් ගණනාවක් අද වනවිට ගැටුම්කාරී තත්ත්වයක පසුවේ. එම රටවල සංවර්ධන ඉලක්ක ජයගැනීමට හැකිවී නැත. ඒ අනුව උද්ධමනය ඉහළ ගොස් ඇත. විරැකියාව ඉහළ ගොස් ඇත. අතුරු ආබාධ ගණනාවක් ගොඩනැඟී ඇත. ඉරානයත් ඊට ගොදුරු වී සිටී. ඉරානයේ උද්ධමනය ශීඝ්‍රයෙන් ඉහළ යයි. විරැකියාව ශීඝ්‍රයෙන් ඉහළ යයි.

අපේ රට ඉදිරියට ගෙන යා හැකිය. එහිලා ඉදිරිපත් වන සාධකද ජයගත හැකි ය. තවත් ගැටලු ඇතොත්; ඒවා විසඳා ගැනීමට හැකියාව ලැබී තිබේ. අප කළ යුත්තේ සොබාදහම හා මිනිසා ආරක්ෂා කරන තැනකට යෑම ය.

කළ යුත්තේ එක ම දෙයකි. එය හරියට විග්‍රහ කළහොත් අපි එකතු වෙමු. එකතු වී නව දේශපාලන සංස්කෘතියට මුහුණ දෙමු යන්න ය. 



නව අදහස දක්වන්න