මැතිවරණයේදි රටේ යහපත ගැන සිතා ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්න | දිනමිණ

මැතිවරණයේදි රටේ යහපත ගැන සිතා ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්න

හිටපු ජනපති කඩවතදී කියයි

මෙවර මැතිවරණයේදි රටේ යහපත ගැන සිතා ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති , පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ මෙවර පළාත් පාලන මැතිවරණයේ ඒකාබද්ධ පොදුජන පෙරමුණේ පළමු ප්‍රචාරක රැස්වීම අමතමිනි. මෙය ඉකුත්දා(06) කඩවතදී පැවැත්විණි. එහිදි වැඩිදුරටත් රාජපක්ෂ මහතා මෙසේද කීය.

මේ මැතිවරණය ඉතා වැදගත් මැතිවරණයක් මේ රටට මෙවර ඔබ ඡන්දය දෙන්නේ පළාත් පාලන ආයතනවල සභිකයන් පත් කිරීමට පමණක් නොවේ. ඊට එහා ගිය කාර්යයක් ඔබට තියෙනවා. ඒ කාර්ය මොකක්ද මේ රට දෙකඩ කඩන්න යන ව්‍යවස්ථාවක් ගෙන එමින් තියෙනවා. එමෙන්ම මේ රටේ සම්පත් ටික මෙරට සිටින අයට දෙනවානම් කමක් නැහැ. අපේ ඇතැම් ව්‍යාපාරිකයන් මේවා ගන්න කැමැත්ත පළ කරනවා. එහෙත් ඒක දෙන්න සූදානම් නැහැ. විදේශ සමාගම්වලට තමයි දෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බණ්ඩාරනායක මහතා ආරම්භ කළ දිනයේ සිට අද වෙනකල් රටේ ජාතික සම්පත් ආරක්ෂා කළා. දැන් ඒ තත්ත්වය නැහැ.

මේ ආණ්ඩුවට පොහොර ටිකවත් දෙන්න බැරිවෙලාලු .දැන් ආණ්ඩුවට වසර තුනයි. අපි වසර තිහක් ඉවරකරන්න බැරිවු යුද්ධය වසර තුනෙන් ඉවර කළා. සංවර්ධනය ආරම්භ කළා. පරේ , ගොඩනැගිලි ඇතුළු සෑම දෙසම බැලුවත් පෙනෙන්නට තියෙන්නේ කාගේ වැඩද විදුලිය , ජලය අපි සෑම ගමකටම වගේ දුන්නා. වැඩබිමක් වු ශ්‍රී ලංකාව දැන් මුඩුබිමක් වෙලා තියෙනවා. අද අපිට රටේ නායකයින් කව්ද කියා සොයන්න බැහැ. මහ බැංකු මංකොල්ලය ගැන කවුරුත් කතා කළා. එවැනි මංකොල්ලයක් කිසිම රටක සිදුවෙලා නැහැ. මින් සිදුවි තිබෙන අලාභය ප්‍රකාශයට පත්වු ප්‍රමාණයට වඩා වැඩියි. මේ නිසා ජනතාවගේ පොකට් එකට වැදිලා සෑම භාණ්ඩයකම මිල වැඩිවෙනවා. බදු වැඩිවෙනවා. මේවා අනුමත කරනවාද නැද්ද කියලා පෙබවාරි (10) තීරණයක් ගන්න. මෙවර මැතිවරණයේදි සුදුද කළුද කියලා පුද්ගලයෝ ගැන හිතන්න එපා. රට ගැන හිතලා ඡන්දය දෙන්න. එක්සත් ජාතික පක්ෂයේ අයත් අපිත් සමඟ සිටිනවා. ඒකාබද්ධ පොදුජන පෙරමුණ මේ ආණ්ඩුව කරන වැඩපිළිවෙළට එරෙහිවයි කටයුතු කරන්නේ. ඇණහිටි සංවර්ධනය යළි ආරම්භ කරන්න අපිත් සමඟ එක්වෙන්න.

අපි ණය ගත්තා කියනවා. රටවටේ ඇවිදලා ආවාම පේනවා අපි ගත්ත ණයවලට මොනවාද කරලා තියෙන්නේ කියලා. අපි අහනවා මේ ආණ්ඩුව ගත්ත ණයවලින් මොනවාද කරලා තියෙන්නේ කියලා කිසි දෙයක් නැහැ. බැංකුව මංකොල්ලකාපු මුදල් කෝ. ඒවාට වෙනම කොමිසම් දාන්න වෙනවා. තාජුඩීන්ගේ වල මැතිවරණයක් එනකොට ගොඩගන්නවා. ඩුබායි බැංකුවල බිලියන දහඅටක් තියෙනවා කියනවා එය ඩොලර්වලිනුයි තියෙනවා කියන්නේ. ඒ නිසා එකසිය පනස් ගණනින් වැඩි කළ යුතුයි. ගිහිල්ලා ගේන්නකෝ. මම ලිපියක් දෙන්නම් කිව්වා එහෙම දෙයක් තියෙනවා එය මේ අයට ඒ මුදල් දෙන්න කිව්වා. මේ මොන බොරු කිව්වත් රටේ ජනතාව අපිත් සමග සිටින බව දැන් පැහැදිලියි.

මෙහිදී ඒකාබද්ධ පොදුජන පෙරමුණේ හවුල්කාර පක්ෂවන මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ප්‍රජාතන්ත්‍රවාදි වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති රාජා කොල්ලුරේ, ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සිසිර ජයකොඩි, ප්‍රසන්න රණවීර, පවිත්‍රා වන්නි ආරච්චි, දිලුම් අමුණුගම හා මේ රැස්වීම සංවිධාන කළ පළාත් සභා මන්ත්‍රී සහන් ප්‍රදීප් මහත්ම මහත්මීහු රැස්වීම ඇමතූහ. මෙහිදී මහර ආසනයේ වැඩිම සාමාජික සාමාජිකාවන් බඳවා ගත් අයට තිළිණ ප්‍රදානයක්ද සිදුවිය.

අනුර ප්‍රේමලාල් සහ කැලණිය විශේෂ,මහර සමූහ, දෙල්ගොඩ සමූහ 

නව අදහස දක්වන්න