පාර්ලිමේන්තු විශේෂ සැසිවාරය හෙට - අගමැති ඉල්ලීමට ඉඩ | දිනමිණ

පාර්ලිමේන්තු විශේෂ සැසිවාරය හෙට - අගමැති ඉල්ලීමට ඉඩ

 

බැඳුම්කර කොමිසම් වාර්තාව ඉදිරිපත් කෙරේ

පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරයක් හෙට (10) පෙරවරු 10.30ට කැඳවීමට කථානායක කරු ජයසූරිය මහතා තීරණය කර ඇත.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම අනුව බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීම සඳහා එම විශේෂ පාර්ලිමේන්තු සැසිවාරය කැඳවීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීල් ඉද්දවල මහතා දිනමිණට ප්‍රකාශ කළේය. ස්ථාවර නියෝග 14 ප්‍රකාරව මෙම කැඳවීම සිදුකර ඇති බවත් නීල් ඉද්දවල මහතා ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුව නැවත රැස්වීමට නියමිත වූ ජනවාරි 23 දිනට පෙර දිනයක සභාව රැස් කරවා මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳ කොමිෂන් සභාව ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් ලබාදෙන ලෙස පක්ෂ ගණනාවක් කථානායකවරයාගෙන් ඉල්ලීම්ද කර තිබිණ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත්කිරීමේ ගනුදෙනු සම්බන්ධයෙන් පරීක්ෂා කළ ජනාධිපති කොමිසමේ වාර්තාව මේ අනුව හෙට (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමගම ප්‍රසිද්ධ ලියැවිල්ලක් බවට පත් වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කථානායක වෙත යවන ලද වාර්තාව හෙට දින සභාගත කිරීමට නියමිතය. ඒ සමඟ එය ප්‍රසිද්ධ ලියැවිල්ලක් බවට පත්වන අතර පාර්ලිමේන්තුවේ නියමයෙන් එය මුද්‍රණය කොට ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කිරීම සාමාන්‍ය සම්ප්‍රදායයි. පසුගිය දෙසැම්බර් 30 දා ජනාධිපති වෙත භාරදුන් බැඳුම්කර කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ ඉල්ලීමක් කර තිබූ අතර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපතිතුමා කළ විශේෂ ප්‍රකාශයේදී සඳහන් කළේය.

බැඳුම්කර කොමිසමේ වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදය පිළිබඳ තීරණ ගැනීමට පක්ෂ නායක රැස්වීමක් කථානායක කරු ජයසූරිය මහතා විසින් අද සවස 2.00ට කැඳවා ඇත.

සී.ජේ. අමරතුංග සහ ස්වර්ණා විජේකෝන්

නව අදහස දක්වන්න