මොරගහකන්ද ජලාශය ඒ.එන්.එස් කුලසිංහ නමින් ප්‍රකාශයට | දිනමිණ

මොරගහකන්ද ජලාශය ඒ.එන්.එස් කුලසිංහ නමින් ප්‍රකාශයට

ජනතා අයිතියට පැවරුණු මොරගහකන්ද ජලාශය මෙරට කීර්තිමත් ඉංජිනේරුවකු වූ ඒ.එන්.එස්. කුලසිංහ මහතා නමින් නම් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (8) යෝජනා කළේය.

පොල්ගොල්ල වේල්ල අසළ පැවති ,සාළිස් වසරක මහවැලි අසිරිය, ජාතික මහෝත්සවය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේය.

මීට දශක හතරකට පෙර ජනවාරි 08 වැනි දිනයකම පොල්ගොල්ලෙන් ඇරඹී යෝධ මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ සමාප්තිය මොරගහකන්ද ජලාශය ජනතා අයිතියට පැවරීමත් සමග සනිටුහන් කෙරෙන අතර එය අභිමානවත් අයුරින් සමරනු වස් ,සාළිස් වසරක මහවැලි අසිරිය, ජාතික මහෝත්සවය සංවිධානය කර තිබුණි.

ලෝකයේ ඉතාමත් සම්භාවනීය ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ වාරි සභ්‍යත්වය තුළ මහවැලි සංවර්ධන ව්‍යාපාරය ජාතියේ ප්‍රණාමයට ලක්වූ සුවිශේෂි ව්‍යාපෘතියක් ලෙස හැඳින්විය හැකිය. හැටේ දශකයේ අවසාන භාගයේ ආරම්භ වූ මෙම ව්‍යාපාරය රටපුරා පැතිරුණු මහා පරිමාණ සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් ජාතික ආර්ථිකයේ නවෝදය උදෙසා මහඟු මෙහෙවරක් ජාතියට දායාද කළේය.

මොරගහකන්ද - කළු ගඟ ව්‍යාපෘතිය තුළින් මෙරට කෘෂිකර්මයේ නවෝදයක් ඇතිවනවා සේම ධීවර, කර්මාන්ත, පානීය ජලය වැනි අංශ ගණනාවක පුළුල් සංවර්ධනයක් ඇතිකෙරෙන බව ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

එමෙන්ම ජනතාවට පිරිසිදු පානීය ජලය ලැබීම තුළින් රජරට ජනතාව ගොදුරුව සිටින වකුගඩු රෝගයට විසඳුම් හිමිවනු ඇති බවද ජනාධිපතිතුමා සඳහන් කළේය.

මීට වසර 05කට පෙර ව්‍යාපෘතියේ වැඩ අවසන්වීමට නියමිතව තිබුණ ද දේශපාලන සංස්කෘතියේ අවභාවිතයත් සමග එය ප්‍රමාද වූ බව සඳහන් කළ ජනාධිපතිතුමා වත්මන් රජය යටතේ එය කඩිනම් කිරීමට හැකිවීම විශාල ජයග්‍රහණයක් බව ද කියා සිටියේය.

සාළිස් වසරක මහවැලි අසිරිය ජාතික මහෝත්සවය නිමිත්තෙන් පැවති පාපැදි තරඟයේ ජයග්‍රාහකයින්ට තිළිණ ප්‍රධානය කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු අන්‍යාගමික පූජකතුමන්ලා ද, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරු සහ දෙස් විදෙස් සම්භාවනීය ආරාධිතයින් රැසක් මෙම උත්සවයට එක්ව සිටියහ.

ඉන්දික පොල්කොටුව 

නව අදහස දක්වන්න