සන්ඩේ ඔබ්සර්වර්-මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන උළෙල | දිනමිණ

සන්ඩේ ඔබ්සර්වර්-මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන උළෙල

ෆවුස් මොහොමඩ්

අසමසම වාර්තා දෙකක් දෝතින් ගෙන දෙවතාවක් සම්මාන දිනූ පළමු ක්‍රීඩකයා
- අර්ජුන රණතුංග

පාසල් ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙසින් සිය ක්‍රිකට් ජීවිතය ආරම්භ කළ අර්ජුන රණතුංග දශක කිහිපයකට පසුව ඉන් විශ්‍රාම ගියේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයකු ලෙසිනි. අනතුරුව දේශපාලන ජීවිතය ආරම්භ කළ හෙතෙම වර්තමානයේදී ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටී.

වසර 1996දී මෙරට ක්‍රිකට් වංශ කතාව රනින් සරසමින් එක්දින ලෝක කුසලානය ජයගැනීමට කණ්ඩායමට නායකත්වය දුන් මේ විශිෂ්ට ක්‍රීඩකයා ක්‍රීඩාවෙන් සමුගන්නා විට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයකුට ලැබිය හැකි ඉහළම කීර්තියත්, ගෞරවයත් දිනා සිටියත් ආනන්ද විදුහලේ සිය පාසල් ක්‍රීඩා දිවියේ 1980දිත්, 1982දිත් දිනූ ‘ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා’ කුසලාන ද්විත්වය සිහිපත් කරන්නේ ඉමහත් ගෞරවයකිනි.

ආනන්ද විදුහලේ එතෙක් මෙතෙක් කාලයක් බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩකයකු ලෙස අර්ජුන රණතුංග සන්ඩේ ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් දෙවතාවක්ම පිදුම් ලැබූ පළමු ක්‍රීඩකයා ද වෙයි.

පාසල් ක්‍රිකට් ක්‍රීඩකයකුට එවැනි දිරිගැන්වීමක්, ඇගැයීමක් ලැබීම ඔහුගේ ක්‍රීඩා අනාගතය ආලෝකමත් කිරීමට කෙතරම් විශාල සාධකයක් වන්නේදැයි යන්න අවබෝධ කරගැනීමට හොඳම නිදසුනත් අර්ජුන රණතුංගය. එවකට 17 හැවිරිදි වියෙහි පසුවෙද්දී පළමුවතාවට මේ ගෞරවාන්විත සම්මානයෙන් පිදුම් ලැබු අර්ජුන රණතුංග අනතුරුව 19 හැවිරිදි වියේදී දෙවැනි වරටත් ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය අත්පත් කරගත්තේය. දශක 4ක ඔබ්සර්වර් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන ඉතිහාසයේ කිසිදිනෙක නොබිඳෙන අසමසම වාර්තාවක් අර්ජුන රණතුංග තබා ඇති බව දන්නේ අතලොස්සකි. එනම් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ඔබ්සර්වර් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් දෙවැනි වතාවට 1982දී පිදුම් ලබද්දී අර්ජුන රණතුංග ජාතික ටෙස්ට් කණ්ඩායමේ සාමාජිකයකු වී සිටීමය. ඒ අනුව ටෙස්ට් පිතිකරුවකු ලෙස ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය දිනාගත් පළමු හා එකම පාසල් ක්‍රීඩකයා ලෙස අර්ජුන රණතුංග තැබුවේ කිසිදින නොබිඳෙන ඓතිහාසික වාර්තාවකි. එය ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන උළෙලේ සංවිධායකයන් ලෙස ලේක්හවුස් ආයතනයටත්, අර්ජුන රණතුංග නමැති සුවිශේෂී ක්‍රිකට් ක්‍රීඩකයා බිහිකළ ආනන්ද විදුහලටත් එක ලෙස ආඩම්බර විය හැකි සිදුවීමකි.

අර්ජුන රණතුංග දෙවැනි වර ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය දිනාගත්තේ ටෙස්ට් පිතිකරුවකු ලෙසින් පමණක් නොව තවත් ජාතික වාර්තාවකට ද හිමිකම් කියමිනි. එනම් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ අර්ධ ශතකයක් ලැබූ පළමු පිතිකරුවාගේ වාර්තාවට හිමිකම් කීමය.

1982 පෙබරවාරි මස 17 වැනිදා සිට 21 දක්වා එංගලන්ත පිල සමග කොළඹ පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකාවේ මංගල ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කිරීමට අර්ජුන පිටියට පිවිසෙද්දී ශ්‍රී ලංකා පිලේ කඩුලු 4ක්ම බිඳ වැටී තිබුණේ ලකුණු 34කටය. නායක බන්දුල වර්ණපුර, සිදත් වෙත්තමුණි, රෝයි ඩයස් සහ දුලිප් මෙන්ඩිස් වැනි ප්‍රබල පිතිකරුවන් සිවුදෙනාම ඒ වනවිට ක්‍රීඩාගාරයට ගොස් සිටියේය.

අර්ජුන සිය මංගල ටෙස්ට් ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට යද්දී අනික් පස සිටියේ 1979 වසරේ පැවැති ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා මංගල සම්මාන උළෙලේ කුසලානයට හිමිකම් කී රන්ජන් මඩුගල්ලේය. 1980 දෙවැනි සම්මානය උළෙලේදී කුසලානයට හිමිකම් කී අර්ජුන ඔහු සමග එක්වී ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීමට පටන් ගත්තේය.

ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබූ මේ පිතිකරුවන් දෙදෙනා එවකට එංගලන්ත පිලේ සිටි ලෝක පුජිත වේගපන්දු යවන්නන් වන බොබ් විලිස්, ඉයන් බෝතම් ඇතුළු පන්දු යවන්නන් හමුවේ නොබියව පිත්ත හසුරුවමින් පස්වැනි කඩුල්ලට ලකුණු 99ක අගනා සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත්වූයේ වාර්තාගත අර්ධ ශතක දෙකකට හිමිකම් කියමිනි. එදා තරගයේදී රන්ජන් මඩුගල්ලෙ ලකුණු 65ක් රැස් කිරීමට සමත්වූවත් ඔහුගේ අර්ධ ශතකයට පෙර සිය අර්ධ ශතකය රැස් කළ අර්ජුන රණතුංග ශ්‍රී ලංකා ටෙස්ට් ඉතිහාසයේ අර්ධ ශතකයක් රැස් කළ පළමු පිතිකරුවා ලෙස වාර්තාපොතට එක්විය.

ආනන්ද විදුහල, එස්.එස්.සි. ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම මෙහෙයවීමේ ගෞරවය දිනාගත් අර්ජුන රණතුංගගේ නායකත්වය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ප්‍රවීණ විචාරකයන්ගේ මෙන්ම ක්‍රීඩකයන්ගේ ද ගෞරවයට පාත්‍ර වූ එකකි. ඔහු 1996 වසරේ එක්දින ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහා තරගයේ දී කාසිය වාසිය දිනාගත්තේය. ඒ වනවිට පැවැති ලෝක කුසලාන තරගාවලි 5දීම ශූරයන් වූයේ පළමුව පන්දුවට පහරදුන් කණ්ඩායමය.

ලකුණු හඹා ගිය කණ්ඩායම්වලට අත්වූයේ පරාජයේ වේදනාවය. එහෙත් තමා ඉතිහාසය පසුපස දුවන මිනිසකු නොවන බව කී අර්ජුන රණතුංග එදා ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරවමින් පන්දුවට පහරදීමේ වාරය ඔස්ට්‍රේලියාවට පිරිනැමුවේය. මුලු ක්‍රිකට් ලෝකයම විමතියට පත් කරමින් එදා අර්ජුන රණතුංග ගත් තීරණය නිවැරැදි බව පසුව තහවුරු විය. ඔහු තම කණ්ඩායම ගැන පැහැදිලි අවබෝධයක් සහිත නායකයකු විය. ඔහු සිය ක්‍රීඩකයන් කෙරෙහි විශ්වාසය තැබුවේය. ඒ වනවිට ඔහු ඇතුළුව ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය දිනූ ක්‍රීඩකයන් 6ක් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටියහ. රොෂාන් මහනාම (1983-1984), අසංක ගුරුසිංහ (1985), කුමාර් ධර්මසේන (1989), මාවන් අතපත්තු (1990) සහ මුත්තයියා මුරලිදරන් (1991) ඒ අතර සිටියහ. මීට අමතරව ලෝක කුසලාන තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා බවට පත්වූ සනත් ජයසූරිය 1988 දී ඔබ්සර්වර් පිටපළාත් වසරේ පාසල් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලබා තිබිණි.

ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය දෙවතාවක්ම දිනූ පළමු ක්‍රීඩකයා ලෙසින් සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ආරම්භ කළ අර්ජුන රණතුංග වසර 2000 අගෝස්තුවේ දකුණු අප්‍රිකාව සමග එස්.එස්.සී.පිටියේ පැවැති ටෙස්ට් තරගයෙන් පසුව ක්‍රීඩාවෙන් සමුගනිද්දී ටෙස්ට් තරග 93කට සහභාගි වී ලකුණු 5105ක් රැස් කර තිබිණි. මීට අමතරව එක්දින තරග 269කට ක්‍රීඩා කරමින් ලකුණු 7456ක් රැස් කිරීමටත් ඔහු සමත්විය. පිතිකරුවකු ලෙසින් පමණක් නොව පන්දු යවන්නකු ලෙසත් දස්කම් පෑ අර්ජුන ටෙස්ට් කඩුලු 16කටත්. එක්දින කඩුලු 79කටත් හිමිකම් කියයි.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...