ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවර්ධනය හා මූල්‍ය ප්‍රගතිය කරා පියනඟනවා | දිනමිණ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවර්ධනය හා මූල්‍ය ප්‍රගතිය කරා පියනඟනවා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් සංවර්ධනය හා මූල්‍ය ප්‍රගතිය යන ද්විත්ව ඉලක්කයන් කරා සාර්ථකව පියනගමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවක සේවිකාවන් නව වසරේ (2018) රාජකාරී කටයුතු ආරම්භ කළ අවස්ථාවට සහභාගී වෙමින් මේ අදහස් පළ කළ සුමතිපාල මහතා ක්‍රිකට් ආයතනයට තමා තේරීපත්ව වසර දෙකක් ඇතුළත මෙහි සේවක මඩුල්ල හා එක්ව දුර්වලව තිබූ මූල්‍ය තත්ත්වය ස්ථාවර තත්ත්වයකට ගෙන ආ බව කියා සිටියේය.

තමා රාජකාරී භාරගන්නා අවස්ථාවේ ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුව අමෙරිකානු ඩොලර් මිලියන 80ක මුදලක් ශ්‍රී ලංකාවට සාමාජික මුදල් වශයෙන් ගෙවීමට එකගව සිටියත් සෙසු සාමාජික රටවල සහයෝගයෙන් එම මුදල ඩොලර් මිලියන 120 දක්වා වැඩි කරගනිමින් ආයතනයේ ආදායම ඉහළ නැංවීමට සමත් වූ බවද ඒ මහතා කීවේය.

“වසර දෙකකට පෙර මේ ආයතනය අප භාරගත්තේ රුපියල් බිලියන පහක ණය බරක් සහතිවයි.

ආයතනය ණය බරින් ගලවාගෙන ලාභ ලබන සේවා ස්ථානයක් බවට පත් කරන්නේ කෙසේද යන ගැටළුවලට අප එදා මුහුණදුන්නා. නමුත්, මා අද සතුටින් ප්‍රකාශ කරනවා ක්‍රිකට් ආයතනය දැන් ලාභ ලබන ආයතනයක් බව.”

තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු සම්පත් හා මුදල් පරිපාලනය කිරීම සඳහා ආයතනයට සම්බන්ධ වත්කම් කළමණකාරන අනුබද්ධ සමාගමක් පිහිටුවීමට සැලැසුම් සකස් කර ඇතැයි ද එමගින් උපරිම ඵල නෙලා ගැනීමට හැකිවනු ඇතැයි ද පැවසීය.

ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් පසුගිය වසර 2ක තුළ පියවර ගණනාවක්ම ගෙන ඇති බවත්, එම පියවර අතර අන්තර් පළාත් හා දිස්ත්‍රික්ක වලට තම තමන්ගේ ප්‍රදේශයන්හි ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ බලය බෙදා හැර ඔවුනට සියලු පහසුකම් සැපයිම වැනි දෑ සිදු කර ඇති බවත් කියා සිටියේය.

තවද, බිම් මට්ටමින් වයස් සීමා අවුරුදු 15න්, 17න්, 19න්, 21න් හා 23න් පහළ කණ්ඩායම් පළාත් හා දිස්ත්‍රික්ක මට්ටමින් කණ්ඩායම් පුහුණු හා සංවර්ධනය කිරීමට පියවර ගැනීම, දේශීය පුහුණුකරුවන්ගේ දැනුම වර්ධනය කිරීමට හා තෝරාගත් පුහුණුකරුවනට එතෙර පුහුණුව ලබාදීමට පියවර ගැනීම, මෙන්ම පසුගිය වසර දෙක තුළ ජාතික මට්ටමේ ක්‍රීඩකයන් හොඳින් රැකබලා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි ද සුමතිපාල මහතා කීය.

“අප මේ ආයතනය භාරගන්නා විට ආයතනය මගින් ක්‍රිකට් සමාජ 132ක් පාලන කළා. අප එය 24 දක්වා අඩු කර පළාත් හා දිස්ත්‍රික්කවලට බලය විමධ්‍යගත කර ක්‍රිකට් ආයතනයේ පූර්ණ අධීක්ෂණය යටතේ ඔවුනට තීරණ ගැනීමේ හා සංවර්ධන කටයතු ක්‍රියාත්මක කිරීමේ බලය පැවරුවා.” යැයි සුමතිපාල මහතා පැවැසීය.

ඒ යටතේ ජාතික මට්ටමේ ක්‍රීඩකයනට ශක්තිමත් රක්ෂණාවරණයක් ද, දක්ෂතා මත ප්‍රසාද දීමනා ක්‍රමයක් ද, පළමු ශ්‍රේණියේ ක්‍රීඩකයන් 70කට කොන්ත්‍රාත් ලබා දීම ද, ක්‍රීඩකයනට සපයා ඇති පහසුකම් අතර වන බව ඔහු සඳහන් කළේය

නව අදහස දක්වන්න