ඉන්නෙ වතුර මැද බොන්න වතුර නැත | දිනමිණ

ඉන්නෙ වතුර මැද බොන්න වතුර නැත

වයඹ පළාතේ, පුත්තලම දිස්ත්‍රික්කයේ, පිහිටි කල්පිටි අර්ධද්වීපයට අසිරියක් වූ දූපත් දාහතරහක් අතුරින් බත්තලංගුංඩුව දූපත පිහිටා ඇත්තේ කල්පිටිය ජෙටිය සිට කිලෝමීටර 32ක් දුරිනි. පසකින් කල්පිටි කළපුවෙනුත්, අනෙක් පසින් ඉන්දියන් සාගරයෙනුත් වටවී පවතින මෙහි බිම් වපසරිය හෙක්ටයාර 145.53කි. වාරකන් සමයේ වුවද ධීවරයින් 700ක් පමණ දූපතේ වෙසෙන අතර වළාල සමයේ දී මෙම සංඛ්‍යාව එක් දහස් පන්සියයට ආසන්න වෙයි. බත්තලංගුංඩුවේ ඉතිහාසය වසර සියයකට ආසන්න වේ.

මීගමුවේ හලාවත සහ තදාසන්න ප්‍රදේශ ගණනාවක සංක්‍රමණික ධීවරයින් සිය රැකියා පල ලෙස තෝරා ගෙන තිබුණේ මෙම දූපතය. ධීවර කර්මාන්තයට තෝතැන්නක් වූ බත්තලංගුංඩුව එදා මෙන්ම

අදත් මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවයන් හෝ නොපිරුණු දුෂ්කර වැළිකතරකි. ජලය, විදුලිය, සෞඛ්‍යය, අධ්‍යාපනය ඈ මූලික හිමිකම් එදා මෙන්ම අදද ඔවුන්ට අහිමි ය. දූපතේ ධීවරයෝ ඉතිහාසය පුරාම සිය ජල අවශ්‍යතා සපයා ගත්තේ වැල්ලේ පොල් කටුවකින් කණින කුඩා වළකින් ලබා ගත් ජලයෙනි. එහෙත් මෙම සාම්ප්‍රදායික ජල සම්පාදන ක්‍රමයට ආයුබෝවන් කීමට දූපත් ජනතාවට දැන් දැන් සිදුව ඇත. ඊට හේතුව තවදුරටත් එම ජලය බීමට නුසුදුසු තරමට කිවුල් වීමය.

වත්මනේ දූපත්වාසීන් බහුතරය මීගමුවේ පදිංචිකරුවෝ ය. එසේ වූ නමුදු ඔවුන්ගෙන් බොහෝ දෙනකු වසර පනහක් හෝ ඊටත් වඩා කාලයක් දූපතේ පදිංචිකරුවෝ වෙති. මීට අමතර හලාවත වැනි සෙසු ප්‍රදේශවල පදිංචිකරුවෝ ද දූපතම සිය ගම් බිම් කරගත් ධීවර කම්කරු පවුල් ද ඒ අතර සිටිති.

අප හා කථා බහට එක්වූ දූපත්වාසී ධීවරයකු වන පතිරාජ මුදියන්සේලාගේ අනුර (51),

“මම දූපතේ ජීවත්වෙන්න ඇවිත් අවුරුදු 32ක් වෙනවා. මම බෝට්ටුවක කුලියට රස්සාවට යන ධීවර කම්කරුවෙක්. මට දරු දෙන්නෙක් ඉන්නවා. අපිට අඩු නැතිව වැලි පොළොව හෑරුවාම වතුර ලැබුණා. අද හවසට වතුර අරගත්තාට පස්සේ හෙට හවසට තවත් තැනකින් බිම හාරලා වතුර ගත්තා. පස්සේ වතුර ලැබෙන වළවල් අපි බැරල් බස්සලා ආරක්ෂා කළා. අපිට අඩු නැතිව වතුර ලැබුණා. ඒත් දැන් වැල්ලේ වළවල් හාරලා වැඩක් නැහැ. ඒ වතුර කළපු වතුරටත් වඩා කිවුල්.”

මෙම ජනතාව තම පානීය ජල අවශ්‍යතාවයන්ට මෙන්ම, අනෙකුත් ජල පරිභෝජනයන්ට ලබාගන්නේ කල්පිටිය නගරයේ සිට රැගෙන එන ජලයයි. “කල්පිටිය ජෙටියේ ඉදලා ලයින් බෝට්ටුවෙන් ගේන ලීටර 210 බැරල් එකක් රුපියල් 600 ක්. වතුර ලීටර 20ක් රුපියල් අනූවක්. අපිට ලොකු බැරල් එකක වතුර හුඟක් අර පිරිමැස්මෙන් පාවිච්චි කළොත් දින දෙකකට සෑහෙනවා.”

මේ අනුව කුඩා ධීවර පවුලකට සිය ජල අවශ්‍යතා සපුරා ගැනීමට මසකට රුපියල් පහළොස් දාහක් ඉක්මවන මුදලක් වැය වේ. බොහෝ ධීවර කම්කරුවන්ට, මෙය දැරිය නොහැක්කකි.

විදුලි බලය ද දූපතට සපයන්නේ ධීවර සමිති ඔස්සේ ලබාදෙන විදුලි උත්පාදක යන්ත්‍රයක් මගිනි.

දෙදරු පියකු වන වර්ණකුළසූරිය තෝමස් පියෝ (41) මෙසේ අදහස් දැක්වූයේ ය.

“අවුරුදු 25කට වඩා කාලයක් ජීවත්වන්නේ දූපතේ තමයි. මට බෝට්ටු නැහැ. හුරුල්ලන් රස්සාවට කුලියට යන්නේ. වාරකන් වලාල වෙනසක් නැතිව දූපතේ තමයි ඉන්නේ. මේ දවස්වල හරිහමන් රස්සාවක් නැහැ. වතුර බොන්නේ සල්ලිවලට. දූපතේ වතුර රෙදි , ඇඟපත හෝදා ගන්න බැරි තරමට කිවුල් වෙලා. අපිට විදුලිය ලැබෙන්නේ ජෙනියෙන්. සතියකට රුපියල් හාර සියයක් පන්සියයක් යනවා.”

මදුරන්කුළියේ පදිංචි මොහමෙඩ් රියාස් (36) කුඩා සිල්ලර වෙළද සැළක් පවත්වාගෙන යන්නෙකි.

“මම දූපතට ඇවිත් අවුරුදු දොළහක් වෙනවා. කඩේට බඩු ගේන්නේ කල්පිටිය ජෙටියේ ඉඳලා. ඒ නිසා සාමාන්‍ය මුදලට වඩා ටිකක් වැඩියෙන් විකුණනවා. වතුර විදුලිය ප්‍රශ්න තිබිද්දී මේ දූපතේ කඩයක් පවත්වාගෙන යන එකත් සේවයක් කියලා හිතනවා.”

ඩබ්ලිව්.පියරිනා ප්‍රනාන්දු (45) අදහස් දක්වමින්, “අපිට රෑකට හදිසියකට ලෙඩක් දුකක් හැදුණොත් ඉතින් දෙවියෝ වගේ පිහිට වන්නේ දූපතේ නේවි එකේ මහත්වරු තමයි. එහෙම බේතකට අහන්නෙ නැති ලෙඩක් නම් ඉතින්, කළපුවෙන් පැය දෙකක් දෙක හමාරක් ගෙවාගෙන කල්පිටිය ඉස්පිරිතාලෙට එන්න ඕනේ.” බත්තලංගුංඩුවේ කිසිඳු සෞඛ්‍යය පහසුකමක් නොමැති බව ඇය තහවුරු කළා ය. අතීතයේ අත් බෙහෙත් කළ ගොඩ වෙදුන් කිහිප දෙනකු සහ වින්නඹුකම් කළ මාතාවන් සිටිය ද අද එවැන්නකුගේ හෝ සේවය ඔවුන්ට නැත.

“බබෙක් ලැබෙන්න දින ළංවෙනකොට දූපතේ නොසිට ගමට හෝ කල්පිටියට යනවා.” දූපතේ මවක අප හා පැවසුවා ය. මෙම දූපතේ බහුතර ඉඩම් අයිතිය ඇත්තේ රජයටය. බලපත් සහිත ඉඩම් අතළොස්සක් තිබේ.

සංචාරක කර්මාන්තයේ අරුණලු බත්තලංගුංඩුවට නම් තවමත් වැටී නැත. එවන් පසු බිමක, බත්තලංගුංඩුව දූපතේ, ප්‍රථම සංචාරක නිකේතනය පසුගිය දා ආරම්භ විය. “වැලැන්ටිනා ගිමන්හල” නම් සංචාරක නිකේතනය හි කළමනාකරු ජේ.නිව්ටන් ලෝව් මහතා මෙසේ අදහස් දැක්වූවේ ය.

“මෙම දූපත සංචාරක ආකර්ශනයට යොමුවෙලා තිබෙනවා. සුන්දර කළපුව හා සයුර එකම තැනකදී නැරඹීමට ලැබෙනවා. හිරු නැගීමේ සහ බැසීමේ අසිරිය, ආවේණික පක්ෂියෝ, තල්මසුන් ඩොල්පින් නැරඹීම ආදී අවස්ථා තිබෙනවා.”

“සංචාරකයින්ට දූපතේ රැයක් ගත කිරීමේ පහසුකම් නොතිබීම නිසා දෙස් විදෙස් සංචාරකයින් දූපතට එන්න මැලි වුණා. ඒ පසුබිම මත අපමණ දුෂ්කරතා මැද මෙම ගිමන්හල නිර්මාණය කළා. ජලය විදුලිය වැනි මූලික යටිතල පහසුකම්වත් සංචාරක මණ්ඩලයෙන් ලැබෙනවා නම් විශාල අනුග්‍රහයක් වෙනවා.”

අප මෙම ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටුවීම පිළිබඳව කල්පිටිය ප්‍රාදේශීය ලේකම් සුනන්ද ප්‍රියදර්ශන හේරත් මහතාගෙන් විමසූවෙමු.

ඒ මහතා ප්‍රකාශ කළේ මෙම ජනතා බහුතරය ඡන්ද දායිකයින් ලෙස ලියාපදිංචිව ඇත්තේ මීගමුවේ වීම ප්‍රතිපාදන වෙන්කිරීමට ගැටලුවක් බවත් කෙසේ වෙතත් ජල අවශ්‍යතාව පිළිබඳව සලකා බලා කල්පිටිය විජය නාවුක හමුදා කඳවුර සමඟ ද කථා බස් කොට මෙම ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවයට පිළියමක් යෙදීමට උත්සාහ දරන බවත් ය.

කල්පිටිය සමූහ 

 

නව අදහස දක්වන්න