උමා ඔය කඩිනම් කරන්න ජනපතිගෙන් උපදෙස් | දිනමිණ

උමා ඔය කඩිනම් කරන්න ජනපතිගෙන් උපදෙස්

උමා ඔය ව්‍යාපෘතිය කඩිනම් කරමින් එහි ප්‍රතිලාභ ජනතාවට ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරින්ට උපදෙස් දෙයි.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට ඊයේ (9) පස්වරුවේ එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී එක්වෙමිනි. උමා ඔය ව්‍යාපෘතියේ ක්‍රියාකාරිත්වය, ඉදිරි සැලසුම් සහ මුල්‍ය තත්ත්වය පිළිබද මෙහි දී ජනාධිපතිවරයා නිලධාරීන්ගෙන් දීර්ඝ වශයෙන් කරුණු විමසීය.

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ 2017 වර්ෂයට අදාළ ප්‍රගතිය සහ 2018 ඉදිරි සැලසුම් පිළිබඳ මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්විය. අමාත්‍යාංශට අයත් ආයතනවල ප්‍රගතිය, විදේශ අරමුදල් යටතේ ක්‍රියාත්මක මහවැලි ව්‍යාපෘති, විදේශ අරමුදල් යටතේ ක්‍රියාත්මක පරිසර ව්‍යාපෘති සහ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආදායම් උත්පාදන ආයතනවල ප්‍රගතිය පිළිබඳ ද සමාලෝචනය කෙරිණි.

ජාතික පරිසර ප්‍රතිපත්තිය සකස් කිරීමේ මෙතක් ප්‍රගතිය ද සාකච්ඡාවට ලක්විය.ඉදිරියේ දී නිසිකලට වැසි නොලැබීමෙන් රට තුළ ඇතිවිය හැකි නියං තත්ත්වය හඳුනා ගනිමින් ඊට මුහුණදිය හැකි ආකාරයෙන් කෘෂිකර්ම සහ ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රවලට අදාළ සැලසුම් සකස් කිරීම සඳහා විද්වතුන්ගෙන් යුත් කමිටුවක් පත් කිරීමට ද ජනාධිපතිවරයා මෙහි දී අමාත්‍යාංශ ලේකම්වරයා වෙත උපදෙස් දෙනු ලැබීය.

මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මහවැලි අධ්‍යක්ෂ ජනරාල් ගෝඨාභය ජයරත්න යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න