සටන්කාමී ද්විත්ව ශතකයෙන් සංගීත් කුරේ පෙරමුණට | දිනමිණ

සටන්කාමී ද්විත්ව ශතකයෙන් සංගීත් කුරේ පෙරමුණට

නිරෝෂාන් ප්‍රියංකර

මුවර්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව පළමු ඉනිමේදී වාර්තා කළ විශිෂ්ට ද්විත්ව ශතකයත්, දෙවැනි ඉනිමේදී ශතකය ආසන්නයට පැමිණීමත් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ පිතිකරුවන් අතර පෙරමුණ ගැනීමට කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ සංගීත් කුරේ සමත් විය.

මෙවර තරගාවලියේ වාර්තාවූ දෙවැනි ද්විත්ව ශතකයට හිමිකම් කී සංගීත් පන්දු 302කදී ලකුණු 200ක් රැස්කළේ හතරේ පහර 28ක් හා හයේ පහරකින් ඉනිම වර්ණවත් කර ගනිමිනි. 22 හැවිරිදි සංගීත් සිය තරග දිවියේ වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවද මෙය විය.

කෝල්ට්ස් දෙවැනි ඉනිමේදී ඔහුට ශතකය ලකුණු 2කින් ශතකයක් රැස් කිරීමේ අවස්ථාව අහිමිවීම විශේෂ සිදුවීමක් විය. මේ සමග සංගීත් මෙවර තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වුයේ ලකුණු 479ක් සමගිනි. 5වැනි සතියේදී කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට තරග 2ක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවීමද සංගීත්ට වාසියක් විය. ඔහු එහි පළමු තරගයේදී එස්.එස්.සී පිලට එරෙහිව ලකුණු 53ක් හා 23ක් රැස් කළේය. ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජයේ මනෝජ් සරත්චන්ද්‍ර (474) මෙවර තරගාවලියේ තෙවැනි ශතකය වාර්තා කරමින් පිතිකරුවන් අතර දෙවැනි තැනට පත්වෙද්දී, සිවුවැනි සතිය වනවිට පෙරමුණ ගෙන සිටි දිමුත් කරුණාරත්න පසුගිය සතියේ පැවැති තරගයේදී 63ක් පමණක් රැස්කරමින් තෙවැනි තැනට පත්විය.

ජීවන් මෙන්ඩිස් (ද්‍රවිඩ සංගම්), ඕෂද ප්‍රනාන්දු (හලාවත), සචිත්‍ර සේරසිංහ (හලාවත) හා කෞෂාල් සිල්වා (එස්.එස්.සී) ක්‍රීඩකයන් මේ වනවිට ලකුණු 350 සීමාව පසුකර සිටිති.

මේ අතර සිවුවැනි සතිය නිමාවනවිට කඩුලු 27ක් බැගින් දවා ගනිමින් පන්දු යවන්නන් අතර සමතැන සිටි මලින්ද පුෂ්පකුමාර හා ලසිත් ඇඹුල්දෙණිය අතුරින් කඩුලු 8ක් දවාගනිමින් මලින්ද පෙරමුණට පත්වෙද්දී, ලසිත්ට දවා ගැනීමට හැකිවූයේ කඩුලු 5ක් පමණි. බදුරලිය ක්‍රීඩා සමාජයේ අලංකාර අසංක කඩුලු 27ක් දවා ගනිමින් තෙවැනි ස්ථානයට පත්විය.

එස්.එස්.සී පිලේ සචිත්‍ර සේනානායක (26), කෝල්ට්ස් පිලේ ප්‍රභාත් ජයසූරිය (25) හා වරාය අධිකාරියේ චානක කොමසුරු (24) පන්දු යවන්නන් අතර සිවුවැනි ස්ථානයේ සිට 6වැනි ස්ථානය දක්වා රැදී සිටිති.

මේ අතර 5 වැනි සතියට අදාළව පැවැති තරගවලදී සචිත්‍ර සේරසිංහ හා ඕෂද ප්‍රනාන්දු (හලාවත), මනෝජ් සරත්චන්ද්‍ර (ද්‍රවිඩ සංගම්), ශිරාන් රත්නායක (බදුරලිය) සහ පසිඳු ලක්ශානක (කෝල්ට්ස්) ශතක වාර්තා කළහ.

එහිදී හොඳම පන්දු යැවීම සටහන් කරමින් කෝල්ට්ස් පිලට එරෙහිව ලකුණු 184කට කඩුලු 8ක් දවා ගැනීමට මුවර්ස් ක්‍රීඩා සමාජයේ ඩිලංක සඳකැන් සමත්වූ අතර දිනුක වික්‍රමනායක (ද්‍රවිඩ සංගම්), අලංකාර අසංක (බදුරලිය), අකලංක ගනේගම (වරාය), ප්‍රභාත් ජයසූරිය (කෝල්ට්ස්) හා මලිත් ද සිල්වා (බ්ලූම්ෆීල්ඩ්) පන්දුවෙන් දස්කම් දැක්වූහ.

පස්වැනි සතිය නිමාවනවිටත් එස්.එස්.සී පිල ‘ඒ’ කාණ්ඩයෙන් හා හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය ‘බී’ කාණ්ඩයෙන් පෙරමුණ රැක ගැනීමට සමත්ව සිටී.

එස්.එස්.සී පිල තරග 5කදී එක් ජයක් සමගින් ප්‍රසාද ලකුණු 57.91ක් ලබාගෙන ඇති අතර තරග 2කට සහභාගි වෙමින් එම තරග 2කම ජය පරාජයෙන් තොරව අවසන් කරගත් කෝල්ට්ස් ක්‍රීඩා සමාජය ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි තැන හිමිවිය. ඔවුන් ප්‍රසාද ලකුණු 49.15 ලබාගෙන සිටින අතර රාගම ක්‍රීඩා සමාජය ලකුණු 40.16 කින් තෙවැනි ස්ථානයේ රැදී සිටී.

බදුරලිය ක්‍රීඩා සමාජය සමග පැවැති තරගය සිය තෙවැනි පූර්ණ ජය කරගත් හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය ‘බී’ කාණ්ඩයේ පෙරමුණ රැකගත්තේ ප්‍රසාද ලකුණු 64.93කිනි. ලකුණු 57.15කින් බී.ආර්.සී පිල දෙවැනි තැනද, ලකුණු 50.17ක් සමග ද්‍රවිඩ සංගම් පිල තෙවැනි තැනද පසුවෙයි. 

නව අදහස දක්වන්න