ත්‍රිපුද්ගල කමිටු වාර්තාවෙන් තරග සංවිධායක කමිටුව නිදොස් | දිනමිණ

ත්‍රිපුද්ගල කමිටු වාර්තාවෙන් තරග සංවිධායක කමිටුව නිදොස්

ගීෂා මුණසිංහ

නුවරඑළියේ වසන්ත සැණකෙළියට සමගාමීව පසුගිය වසරේ පැවැති මාර්ග ධාවන තරගාවලියේදී ආනන්ද වෙඩිසිංහ මහතාට මරු කැඳවූ යතුරුපැදි තරග අනතුරු පිළිබඳ සිදු කරනු ලැබූ පරික්ෂණයේ වාර්තාවට අනුව ආනන්ද වෙඩිසිංහ සහ සුරාජ් පෙරේරා අතර තරගයේ පෙරමුණ ගැනීමට පැවැති තියුණු තරගයේදී වේගය පාලනය කරගැනීමට අසමත්වීමෙන් මේ අනතුරු සිදුවී ඇති බවට නිගමනය වී තිබේ.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ උපදෙස් මත ක්‍රීඩා අමාත්‍යවරයාගේ උපදේශක මිල්ටන් අමරසිංහ, ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (පාලන හා ගිණුම්) එච්.එම්.බී.පී. හේරත් මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් මගින් මේ පරික්ෂණය සිදුකර තිබිණි.

එම අනතුරින් බරපතල තුවාල ලබා සිහිසුන්ව තරගය නිමවී දින ගණනාවකට පසුව ප්‍රවීණ යතුරුපැදි ධාවක ආනන්ද වෙඩිසිංහ මහතා මිය යාම පිළිබඳ තරග සංවිධායකයන්ට හා තරගාවලියේ ‍තරග තීරකවරුන් ‍වෙත චෝදනා එල්ලවී තිබිණි.

ආනන්දු වෙඩිසිංහ මහතාගේ යතුරුපැදියේ ගැටුණු අනික් යතුරුපැදි තරගකරු වූ සුරාජ් පෙ‍රේරා, තරගාවලියේ තීරක කේ.කේ.එම්. රමේෂ් මනෝහාන් සිල්වා, ශ්‍රී ලංකා යතුරුපැදි සංගමයේ ලේකම් අනිල් ජයකොඩි, ශ්‍රී ලංකා මෝටර් ස්පෝට්ස් ක්‍රීඩා සංගමයේ සභාපති තුසිත ද සිල්වා මහත්වරුන්ගෙන් කරුණු විමසීමෙන් පසුව සිදුකරනු ලැබු මේ ස්වාධීන පරික්ෂණයට ඉදිරිපත් වූ සාක්ෂි සහ අනතුරු සිදුවූ ආකාරය ඇතුළත් වීඩියෝ පට පරික්ෂණ මණ්ඩලයේ දැඩි අවධානයට යොමුවී තිබිණි.

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ අනුමැතියද ලබා තරගාවලිය පවත්වා ඇති බවත්. තරග සංවිධායක කටයුතු සංවිධානයේදී මෝටර් රථ හා යතුරු පැදි තරග සඳහා නිසි පරිදි පලපුරුදු තරග තීරකවරයෙකු (Steward), පළපුරුදු ප්‍රධාන නිලධාරියකු (Clerk of the Post) හා තරග නිරීක්ෂණ නිලධාරීන් ( Marshal) 30 දෙනකු පත්කර කරමින් තරගාවලිය නිසි ක්‍රමවේදයකින් යුතුව පවත්වා ඇති බවට ද නිගමනය වී ඇත.

තරගයේදී ධාවන පථයේ සිදුවිය හැකි අනතුරුවලින් වන හානිය හැකි තරම් දුරට අවම කිරීමට කටයුතු යොදා ධාවන පථය සකස්කර තිබී ඇතැයි ද මෙහිදී නිගමනය කර තිබේ. යුද හමුදා සිංහ රෙජිමේන්තුවේ සහය ඇතිව වැලි කොට්ට 8000ක් පමණ හා ප්‍රධාන වංගුවල මැක්සි ෆෝම් මෙට්ට 150 ක් පමණ යොදා වඩාත් ප්‍රමිතියකින් යුක්තව අනතුරුවලින් වන හානි අවමකර ගැනීමට කටයුතුකර ඇතැයි එම වාර්තාවේ සඳහන් වෙයි.

මහජන ආරක්ෂාව සඳහා ස්ථීර යකඩ වැටක් මෙම ධාවන පථය හා සම්බන්ධව මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් ඉදිකර පවත්වාගෙන යාමට කටයුතුකර ඇති අතර තරගය සඳහා ගිලන් රථ දෙකක් හා වෛද්‍යවරු දෙදෙනෙක් ඇතුළු වෛද්‍ය පහසුකම් සලසා තිබී ඇතැයිද පරික්ෂණ මණ්ඩලය විසින් වාර්තාවේ සඳහන් කරයි.

තරගයට ඉදිරිපත්වූ තරගකරුවන් සියළුම දෙනා වසර ගණනක අත්දැකීම් හා පළපුරුද්ද ඇති අය වන බවත්, තරගය සඳහා වෛද්‍ය සහතික ඉදිරිපත්කර ඇති බලපත්‍රලාභීන් වන බවත් පරික්ෂණ මණ්ඩලයේ නිගමන අතර වෙයි. අනතුරට භාජනය වූ ආනන්ද වෙඩිසිංහ හා සුරාජ් පෙරේරා යන පළපුරුදු යතුරුපැදි තරග කරුවන් දෙදෙනා අවුරුදු 20 කට වඩා පළපුරුදු අය මෙන්ම දෙදෙනාම දක්ෂ වේගවත් මෙම ඉසව්වේදී ඉදිරියෙන්ම සිටින තරග කරුවන් දෙදෙනෙකු ද වෙයි.

තරගය ආරම්භ කිරිමට පෙර කිසිදු තරගකරුවකු පුහුණු තරගයෙන් පසු මාර්ගයේ ගැටලු සහගත බවක් හෝ අනතුරුදායක බවක් පිළිබඳ පැමිණිලි කර නොමැති බව ද මෙහිදී අනාවරණය වී තිබේ. අවදානම් ස්ථාන පිළිබඳ ඔවුන් දැනුවත් වූ බව සහ තරගයට සහභාගී වීම හෝ නොවීම තරග කරුවන්ගේ වගකීමක් බවටත් අනතුරු වලක්වා ගැනීම ද ඔවුන්ගේ වගකීමක් බවටත් දැනුවත්කර ඇතතරගයේ 6 වැනි තරග වටය ආරම්භ වී ප්‍රථම වංගුවේදී මෙම අනතුර සිදුව ඇති බවත් එකිනෙකා පරයා ඉදිරියට යෑමේදී යතුරුපැදි දෙකෙහි හැඩල ගැටී පැටලීම සිදු වී ඇති බවත් දෙදෙනාම ඇද වැටී විසිවී ගොස් අනතුරට භාජනය වී ඇති අතර ආනන්ද වෙඩිසිංහ විසිවී ගොස් ඉදිරියෙන් වූ යකඩ වැටෙහි ගැටී ඇතැයි ද, සුරාජ් පෙරේරා විසිවී ගොස් වැලි කොට්ටයක වැදී ඇතැයි ද වීඩියෝ පට නිරීක්ෂණය කිරීමේදී පරික්ෂණ මණ්ඩලය පැහැදිලි කරගෙන තිබේ.

අවසන් වටයට අවතීරණ වීමත් සමඟම දෙදෙනාම ඉදිරියට යාමට උත්සාහ කළ බවට හා වංගුව ගැනීමත් සමගම නැවත ඉදිරියට යාම සඳහා දෙදෙනා අවතීර්ණවීම අදාළ වේගයත් සමඟ ගත් උත්සාහය පාලනය කරගැනීමට නොහැකි වීම මත මෝටර් සයිකල් දෙකෙහි හැඩල ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පරික්ෂණ වාර්තාවේ සඳහන් වෙයි.

මාර්ග ධාවන තරගයකදී අනතුරු සිදුවීමේ ප්‍රවණතාවන් වැඩි අතර තරගකරුවන් මෙම තත්ත්වය අවබෝධ කොට ගෙන තරග සහභාගීත්වය සඳහා වන වේග සීමාවන් අදාළ අවදානම් ස්ථානයන්හි දී පාලනය කරගැනීම පෞද්ගලිකව ම ඔවුන් සතු වගකීමක් බැවින් මෙම තරගකරුවන් දෙදෙනාම මෙම අනතුර සිදු වීම පිළිබඳ වගකීම භාර ගත යුතු බව පරික්ෂණ මණ්ඩලයේ නිගමනය වී ඇත. 

 

නව අදහස දක්වන්න