රන් ජුබිලි සංවත්සර කැරම් ජාතික ශූරතාවලියේ ශූරයාට-ශූරියට ලක්ෂය බැගින් මුදල් තෑගි | දිනමිණ

රන් ජුබිලි සංවත්සර කැරම් ජාතික ශූරතාවලියේ ශූරයාට-ශූරියට ලක්ෂය බැගින් මුදල් තෑගි

ෆවුස් මොහොමඩ්

ජාතික කැරම් ශූරතාවලියේ ස්වර්ණමය සංධිස්ථානයක් සටහන් කරමින් 50 වැනි ශූරතාවලිය මේ මස 20 වැනිදා ඇරැඹීමට නියමිතය. ජාතික කැරම් රන් ජුබිලි සංවත්සර ශූරතාවලිය පැවැත්වෙන මේ වසරේ ශ්‍රී ලංකා කැරම් සම්මේලනයට වසර 60ක් සම්පූර්ණවීම ද කැපී පෙනෙන සිදුවීමකි.

කැරම් සම්මේලනයේ දියමන්ති ජුබිලිය සමරන වසරේදීම 50 වැනි ජාතික කැරම් ශූරතාවලිය පැවැත්වීම මෙරට කැරම් ක්‍රීඩා ඉතිහාසයේ සවර්ණමය අවස්ථාවක් බව කැරම් සම්මේලනයේ නව ලේකම්වරයා ලෙස පසුගියදා පැවැති නිලවරණයෙන් පත්වූ දයා විදානගමගේ මහතා ‘දිනමිණ’ට ප්‍රකාශ කළේය.

වසර 50ක් පුරා ජාතික කැරම් ශූරතාවලිය පවත්වමින් ශ්‍රී ලංකාව ලොවට කැරම් ක්‍රීඩාව ව්‍යාප්ත කළ ඉන්දියාව ද අබිබවා යාමට සමත්වී ඇතැයි ද ඒ මහතා කීවේය. ඉන්දියාව මේ වනවිට එරට ජාතික කැරම් ශූරතා පැවැත්වූ වාරගණන 48කි.

මේ මස 20 වැනිදා සිට පෙබරවාරි මස 24 දක්වා කාලය තුළ සෑම සති අන්තයකදීම කොහුවල පිහිටි කැරම් සම්මේලනයේ මූලස්ථානයේ දී පැවැත්වීමට නියමිත 50 වැනි ජාතික කැරම් ශූරතාවලියේ දී පළමුවරට ශූරයාට සහ ශූරියට රුපියල් ලක්ෂය බැගින් මුදල් තෑගි පිරිනැමීමට කටයුතු යොදා ඇතැයි ද විදානගමගේ මහතා පැවැසීය.

‘මීට පෙර ජාතික කැරම් ශූරයාට සහ ශුරියට පිරිනැමුණේ රුපියල් 10,000ක්, 15,000ක් අතර ප්‍රමාණයක මුදල් ත්‍යාගයක් පමණයි. ඒත් මෙවර අපි පළමුවතාවට ජාතික කැරම් ශූරයා සහ ශූරියගේ දස්කම්වලට ඉහළ අගැයීමක් ලබා දෙමින් රුපියල් ලක්ෂය බැගින් මුදල් ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා තිබෙනවා.’ ඔහු සඳහන් කළේය.

කැරම් ක්‍රීඩාව දිවයින පුරා ව්‍යාප්ත කරමින් දස්කම් සපිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් බිහිකිරීමට කැරම් සම්මේලනය කටයුතු යොදා ඇතැයි ද විදානගමගේ මහතා කියා සිටියේය.

කොළඹ කේන්ද්‍ර කරමින් ව්‍යාප්ත වී තිබූ කැරම් ක්‍රීඩාවට මේ වනවිට බදුල්ල, අනුරාධපුරය ඇතුළු දිස්ත්‍රික්කවල ව්‍යාප්ත තිබෙන අතර ඉදිරියේදී සෑම පළාතක්ම නියෝජනය වන පරිදි කැරම් ක්‍රීඩාව ප්‍රචලිත කිරීම කැරම් සම්මේලනයේ අදහස වී තිබේ.

මෙවර ජාතික කැරම් ශූරතාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 350කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වනු ඇතැයි ජාතික කැරම් සම්මේලනයේ ලේකම් අපේක්ෂා කරයි. තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට පිරිනැමෙන මුදල් ත්‍යාග ප්‍රමාණය ඉහළ යාමත් සමග තරගකාරීත්වය වැඩිවනු ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.

පසුගිය වසරේ ජාතික කැරම් ශූරයා ලෙස 13 වැනි වරටත් චමිල් කුරේ සම්මානයට පාත්‍රවූ අතර ශූරිය බවට පත්වූයේ යසිකා රාහුබද්ධය. ඇය එවර ජාතික කැරම් ශූරිය ලෙස අභිෂේක ලැබුවේ තුන්වැනි වරටය.

පිරිමි හා කාන්තා ඒකල, යුගල, මිශ්‍ර යුගල සහ ප්‍රවීණයන්ගේ තරග වශයෙන් තරග ඉසව් 6කින් සමන්විත 50 වැනි ජාතික කැරම් ශූරතාවලිය සඳහා අයැදුම්පත් බාරගැනීමේ අවසන් දිනය මේ මස 13 වැනිදා මධ්‍යහ්න 12.00 ට නිමාවන අතර තරග අනුපිළිවෙළ සකස් කිරීම 14 වැනිදා පෙරවරු 9.00ට සිට සිදුකිරීමට නියමිතය. 

 

නව අදහස දක්වන්න