ජාතික පාපැදි තරග වර්ගීකරණයකට කරු සැරසෙයි | දිනමිණ

ජාතික පාපැදි තරග වර්ගීකරණයකට කරු සැරසෙයි

වර්නන් ගුණසේකර

මෙරට පාපැදි ක්‍රීඩක ක්‍රීඩිකාවන් වැඩි පිරිසකට ජාතික මට්ටමේ පාපැදි තරගවලට සහභාගි වීමේ මං විවර කිරීමට නම් ඒ තරග වර්ගීකරණයට ලක් කර පැවැත්විය යුතු බව ජාත්‍යන්තර පාපැදි තරග විනිසුරු, ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපති ධුර අපේක්ෂක එන්.කරුණාරත්න මහතා පවසයි.

දිවයිනේ පාපැදි ක්‍රීඩක ක්‍රීඩිකාවන් වසර මුලදීම ‘ඒ’ හා ‘බී’ වශයෙන් වර්ගීකරණයකට ලියාපදිංචි කිරීම මේ ක්‍රමය යටතේ සිදුවිය යුතු බවද ඒ මහතා කියයි.

පාපැදි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සියළු වර්ගීකරණයන්ට විවෘත වන පරිදි අන්තර් පාපැදි සමාජ තරගාවලියක් ජාතික මට්ටමෙන් වාර්ෂිකව අනිවාර්යයෙන්ම පැවැත්විය යුතු බවද ඒ මහතා අවධාරණය කරයි.

‘සාධාරණ ක්‍රීඩාව’ (Fairplay) නමැති ගුණාංගය ආරක්ෂා කර ගැනීම සඳහා එක් පාපැදි සමාජයකට තරග සඳහා ඉදිරිපත් කළ හැකි කණ්ඩායම් ගණන සීමා කිරීම පිළිබඳව අවධානය යොමුව තිබේ. දැනට විශාල සංඛ්‍යාවක් ක්‍රීඩකයන් නඩත්තු කරන පාපැදි සමාජවල දෙවන පෙල ශක්තිමත් කිරීම හා සිවිල් පාපැදි සමාජවල ක්‍රියාකාරිත්වය ඉහළ මට්ටමකට ගෙන ඒමට ‘බී’ කාණ්ඩය හඳුන්වා දීම කෙරෙහි සැලකිල්ල යොමුව තිබේ. මෙයින් සිදුවන්නේ පාපැදි කණ්ඩායම් වර්ගීකරණය වෙනුවට පාපැදි ක්‍රීඩකයන් වර්ගීකරණයට ඇතුළත් කිරීමයි.

මේ ක්‍රමය අදියර වශයෙන් පැවැත්වෙන පාපැදි තරග සඳහා පමණක් වෙයි. එක්දින පාපැදි තරග සඳහා තමන්ගේ අභිමතය පරිදි ක්‍රීඩකයන් සංඛ්‍යාවක් ඉදිරිපත් කිරීමට ක්‍රීඩා සමාජවලට අවස්ථාව උදා වනු ඇත. මේ අනුව එක්දින තරග කණ්ඩායම් තරග ලෙසින් පවත්වනවා වෙනුවට කේවල තරග ලෙස සංවිධානය කිරීමට අපේක්ෂා කෙරේ.

තරග වර්ගීකරණයට අමතරව ශ්‍රී ලංකාවේ සිවිල් පාපැදි ක්‍රීඩා සමාජ ශක්තිමත් කිරීම කෙරෙහිද විශේෂ අවධානය යොමු විය යුතු බවද එන්.කරුණාරත්න මහතා පවසයි.

බලපත්‍රලාභී පාපැදි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රක්ෂණ ආවරණයක් ලබා දීම හා පාසල් පාපැදි සංගමයට මූලිකත්වයක් දීම නව වසරේ ජාතික පාපැදි ක්ෂේත්‍රයට එක්විය යුතුව තිබෙන ප්‍රධාන කාරණාවන් අතරින් කිහිපයක් බවද ‘කරු’ කියයි.

පාපැදි තරග විනිසුරුවන්ගේ සංගමයක් බිහි කිරීම හා අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා ගුරුවරුන්ට පාපැදි ක්‍රීඩාව ඔවුන්ගේ විෂයක් ලෙස හඳුන්වා දීමට අවශ්‍ය පියවර ගැනීමද වැදගත් වෙයි.

දිවයිනේ පවත්වනු ලබන ජාතික මට්ටමේ පාපැදි තරගවලට නියම වටිනාකමක් ලබා දීමට නම් ආරම්භයක් වශයෙන් 2018 වසරේදී තරග හතරක් හෝ පහක් පමණක් තිබිය හැකි බවත් වඩාත් වැදගත් වන්නේ එම තරග නිත්‍ය කාලසටහනකට අනුව පැවැත්වීම බවත් ඒ මහතා කියා සිටී.

“අපට අවුරුද්දකට පාපැදි තරග විශාල සංඛ්‍යාවක් පවත්වන්න වුවමනා නැහැ. නමුත් නිත්‍ය වශයෙන් ඒ තරග පැවැත්වීම සඳහා විනයක් ඇති කළ යුතුයි. තරගයකට මාසයකට පමණ පෙර ක්‍රීඩකයන් දැනුවත් කිරීම හා තරග පැවැත්වීමට නොහැකි වුවහොත් දඩයක් නියම කිරීම වැනි කරුණු ඇතුළත් විනයානුකූල ක්‍රමයක් ඇති කිරීම යුගයේ අවශ්‍යතාවයයි!” ජාත්‍යන්තර පාපැදි තරග විනිසුරු එන්.කරුණාරත්න මහතා වැඩි දුරටත් පෙන්වා දෙයි. 

නව අදහස දක්වන්න