පොන්ටින්ට තනතුරක් | දිනමිණ

පොන්ටින්ට තනතුරක්

 ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිලේ හිටපු විශිෂ්ට පිතිකරුවකු හා නායකයකු වූ රිකී පොන්ටින් එරට විස්සයි20 කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස පත් කර තිබේ. 43 හැවිරිදි පොන්ටින් පෙබරවාරි මස නවසීලන්තය සහ එංගලන්තය සමග පැවැත්වෙන විස්සයි20 තරගාවලියේදී පුහුණුකරු ඩැරන් ලීමන්ගේ සහය පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතය.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලිග් තරගාවලියේ දී දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද කටයුතු කරන පොන්ටින් මීට පෙර පසුගිය වසරේ ශ්‍රී ලංකා පිලේ ඔස්ට්‍රේලියානු සංචාරයේ පැවැති විස්සයි20 තරගාවලියේදී ඔස්ට්‍රේලියානු පිලේ පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයකු ලෙස කටයුතු කළේය.

තුන්කොන් විස්සයි20 තරගාවලියේ ඔස්ට්‍රේලියානු පිල සහභාගි වන පළමු තරගය ලබන මස 3 වැනිදා සිඩ්නි නුවරදී නවසීලන්තයට එරෙහිව පැවැත්වෙයි. අනතුරුව 7 වැනිදා එංගලන්තයට එරෙහිව හොබාර්ට් නුවරදී දෙවැනි තරගයට එක්වීමට නියමිතය. ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර ඊළඟ තරගය 10 වැනිදා මෙල්බර්න් නුවරදී පැවැත්වෙන අතර 16 වැනිදා ඕක්ලන්ඩ් නුවරදී නවසීලන්තයට එරෙහිව ඔස්ට්‍රේලියානු පිල ක්‍රීඩා කරනු ඇත.

නව අදහස දක්වන්න