ශ්‍රී ලාංකීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් වර්ධනයට ජපාන‍යෙන් සහය | දිනමිණ

ශ්‍රී ලාංකීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් වර්ධනයට ජපාන‍යෙන් සහය

චන්දන විජේකෝන්

ශ්‍රී ලාංකීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය දස්කම් වර්ධනය කරගැනීම සඳහා පූර්ණ සහය ලබා දීමට ජපානය සූදානම් වෙයි. 2020 වසරේදී ජපානයේ පැවැත්වීමට නියමිත මීළඟ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලාංකීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් දැක බලාගැනීමට ජපානයේ ජනතාව ද සූදානමින් පසුවන බව ජපාන - ශ්‍රී ලංකා මිත්‍රත්ව ලීගයේ සභාපති එරට පාර්ලිමේන්තු මන්ත්‍රී වටාරු ටකෙෂිටා (Wataru Takeshita) මහතා පෙරේදා (9) කොළඹදී ප්‍රකාශ කළේය.

ජපන් මිත්‍රත්ව ශ්‍රී ලංකා මාධ්‍ය සංගමයේ නිලධාරින් හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ අදහස් පළ කළේය.

‘2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ජපානය මේ වනවිට කටයුතු සූදානම් කරමින් සිටිනවා. දස්කම් සපිරි ශ්‍රී ලාංකීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉතා උණුසුම් ලෙස පිලිගැනීම ජපාන ජනතාවගේ බලාපොරොත්තුවයි. ඒ වගේම දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජපානයේදී ඉහළ පුහුණුවක් ලබාදීමටත් ජපාන රජය සූදානමින් සිටිනවා. ඒ සඳහා අවශ්‍ය සම්පත් ලබාදීමට ජපානය සූදානම්. ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිසි පුහුණුවක් ලැබීම ඔවුන්ට ජයග්‍රහණ රැසක් අත්පත් කරගැනීමට කදිම අවස්ථාවක් බව ජපානයේ අදහසයි.’ ටකෙෂිටා මහතා පැවැසීය.

‘ශ්‍රී ලංකාව ජපානයේ හොඳ විශ්වාසවන්ත මිත්‍රයෙක්. අපේ රට වෙනුවෙන් ශ්‍රී ලංකාව විශාල කැපකිරීම් සිදුකර තිබෙනවා. විශේෂයෙන් 1951 වසරේදී ජේ.ආර්.ජයවර්ධන මහතා සෑන් ෆ්‍රැන්සිස්කෝ සමුළුවේදී කළ ප්‍රකාශය, සාමය හා සහජීවනය ඇතිවීමට හේතුවුණා. ඒ නිසා අප රජයක් හැටියට ශ්‍රී ලංකාවට සහය දීමට පසුබට වෙන්නේ නෑ.’ ඒ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර තරග බිමේ දක්වා ඇති දස්කම් පිළිබඳ ජපානයේ ජනතාවටත්, ජපාන රජයටත් විශාල අවබෝධයක් ඇතැයි ද ටකෙෂිටා මහතා කියා සිටියේය.

‘ඒ දක්ෂතා තවත් වර්ධනය කළහොත් ශ්‍රී ලාංකීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලෝකය ජයගන්න වැඩි කාලයක් යන්නේ නෑ. ඒ නිසා ජපාන රජය නිතරම ශ්‍රී ලංකාට සහය දීමට සූදානමින් සිටිනවා. දැන් ක්‍රියාත්මක වන ඉන්දු - පැසිපික් උපායමාර්ගික කටයුතු නිසා ශ්‍රී ලංකාවට තවත් වැදගත් අවස්ථාවක් උදාවී තිබෙනවා. මෙමගින් ඉදිරියේදී ශ්‍රී ලංකාවට වාසි රැසක් අත්විඳිය හැකියි.’ ටකෙෂිටා මහතා වැඩිදුරටත් පැවැසීය. 

නව අදහස දක්වන්න