ශිෂ්‍යත්වයෙන් හපන්කම් පෑ අඩුආදායම්ලාභී දරුවන්ට ශිෂ්‍යත්ව | දිනමිණ

ශිෂ්‍යත්වයෙන් හපන්කම් පෑ අඩුආදායම්ලාභී දරුවන්ට ශිෂ්‍යත්ව

 2017 වසරේ 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉතා වැඩි ලකුණු ලබාගත් මව, පියා හෝ ඒ දෙදෙනාම නැති දුප්පත් දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයක් කළුතර උග්ගල්බඩ විශ්‍රාමික රණවිරු සුබසාධක ශාලාවේදී ඉකුත්දා පැවැත්විණි.

ලකුණු 175 ට ඉහළින් ලබාගත් කළුතර අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් කීපයක ළමයින් 150 දෙනෙක් මීට සුදුසුකම් ලබා සිටි අතර ඔවුනට පාවහන්, පොත් බෑගයක් සමඟ රුපියල් 400 ක් වටිනා අධ්‍යාපන උපකරණ සහ පොත්පත් මීට ඇතුළත් වූ බව මෙම ශිෂ්‍යත්ව ප්‍රදානයට මුල්වී ප්‍රතිපාදන සැපයූ ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව සංවිධානයේ කටුකුරුන්ද ජපන් භාෂා පාසලේ අධ්‍යක්ෂ මහරගම සෝමරතන හිමියෝ පැවසූහ.

සෝමරතන හිමියෝ මෙ‍සේ ද පැවසූහ.

මෙදා, එදා අප අධ්‍යාපනය ලබන කාලය වගේ නොවෙයි. ළමයින්ට ඉගෙන ගැනීමට අවශ්‍ය සෑම දේ රජයෙන්, විවිධ ආයතනවලින්, විවිධ සංවිධානවලින් ලබා දෙනවා.

ළමයින්ට තිබෙන්නේ ඉතා හොඳින් ඉගෙන ගැනීම පමණයි. ජීවිතය ජයගත හැක්කේ හොඳින් ඉගෙන ගැනීමෙන් පමණයි.

අප පසුගිය කාලයේ සිට අට වතාවක් මේ ශිෂ්‍යත්ව ප්‍රදානය කර තිබෙනවා. දුප්පත් ලංකා සිසුන් 72 ක් ජපානයේ උපාධිවලට යවා තිබෙනවා.

මේ දෙන පහසුකම්වලින් ප්‍රයෝජනය ලබාගෙන මේ දුප්පත් ඉතා හොඳින් ඉගෙනගෙන රටට කීර්තිය ලබාදෙන පිරිසක් වෙන්න ඕනෑ.

උග්ගල්බඩ විශ්‍රාමික රණවිරු සුබසාධක සංගමය පැණසර බෞද්ධ සංවිධානය හා එක්ව මේ ශිෂ්‍යත්ව ප්‍රදානය සංවිධාන කර තැබූ අතර මෙදේරිපිටියේ රාහුල හිමි සහ විශ්‍රාමික විදුහල්පති එම්. ආර්. පෙරේරා මහතා ද මෙහිදී කතා කළ අතර පනාපිටිය අගමැති විදුහලේ ශිෂ්‍යාවන් විවිධ රංගනයන් ඉදිරිපත් කරමින් ඊට සහභාගි වූ පිරිස ප්‍රබෝධමත් කළහ.

උතුරු කළුතර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලලිත් වීරසිංහ මහතා ද මේ අවස්ථාවට සහභාගි වූහ.

සටහන හා ඡායාරූපය වාද්දුව සමූහ
එස්. ආර්. පියදාස 

නව අදහස දක්වන්න