2018 ආර්ථි­කය සුබදායී වීමට නම්! | දිනමිණ

2018 ආර්ථි­කය සුබදායී වීමට නම්!

2017 වර්ෂය නිම විය. 2018 උදා වේ. ගත වූ වර්ෂයේ ශ්‍රී ලංකා ආර්ථිකයේ කාර්යසාධනය සහ උදාවන 2018 වර්ෂයේ ආර්ථික ඉලක්ක සහ අභියෝග පිළිබඳව සංවාදයක් කිරීමට අප හමු‍වුයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධ්‍යක්ෂවරයකු සහ ප්‍රවීණ ආර්ථික විශ්ලේෂක වින්සන් මර්වින් ප්‍රනාන්දු මහතාය.

 

Qආර්ථික විශේෂඥයකු වශයෙන්ඔබ කිසියම් වර්ෂයක ආර්ථික කාර්යසාධනය ඇගැයීමේදී සැලකිල්ලට ගන්නේ කවර කරුණුද කියලා පැහැදිලි කරන්න පුළුවන්ද?

ආර්ථිකයක් සමස්තයක් ලෙස ඇගැයීමේදී විවිධ අය විවිධ නිර්ණායක යොදා ගත්තත් ආර්ථික විශේෂඥයින් මුලින්ම සැලකිල්ලට ගන්නේ ආර්ථිකයක භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වාර්ෂිකව කවර ප්‍රතිශතයකින් වැඩිවෙනවාද? යන කාරණයයි. මෙය ආර්ථික විද්‍යාවේ කියන්නේ ‘ආර්ථික වර්ධන වේගය’ (Rate of economonic growth) කියාය. මෙය දිගින් දිගට කාලයක් තිස්සේ වැඩිවෙනවා නම් ඒකට කියන්නේ ආර්ථික වර්ධනය (economonic growth) කියාය. එනම් නිෂ්පාදන ධාරිතාවේ (Production Capacity) වැඩිවීම කියාය.

 

Qආර්ථික වර්ධනය ඇයි රටකට වැදගත් වන්නේ කියලා ටිකක් පැහැදිලි කළොත්?

ලෝකයේ හැම රටක්ම රටක සංවර්ධනය ගැන කතා කරනවිට පූර්ව අවශ්‍යතාවයක් ලෙස සලකන්නේ මේ ආර්ථික වර්ධනයයි. මේක වැදගත් විචල්‍යයක් ලෙස එක්සත් ජාතීන් මුලින්ම හඳුන්වා දුන්නේ තම පළමු සංවර්ධන දශකයේ එනම් 1960 සිට 1970 කාලයේදීය. එම දශකයේදී ඔවුන් ප්‍රකාශ කළේ සෑම රටක්ම 5% ක ආර්ථික වර්ධනයක් ලබාගත යුතු බවයි. ආර්ථික වර්ධනය පමණක් ප්‍රමාණවත් නොවන බව ඔවුන් ඊළඟ දශකවලදී ප්‍රකාශ කළත් තවමත් හැම රටක්ම හොඳ ආර්ථික වර්ධනයක් ළඟාකර ගැනීම අත්‍යවශ්‍ය සාධකයක් ලෙස පිළිගන්නවා. එම වර්ධනය හරහා තමයි රටේ ජනතාවගේ ආදායම ඉහළ යන්නේ. රටේ නිෂ්පාදනය ඉහළ යන්නේ. රටක ඒකපුද්ගල ආදායම වැඩිවන්නේ. රටක රැකී රක්ෂා ඉඩ ප්‍රස්ථා බිහිවන්නේ. රටේ දුගී බව අඩු වන්නේ. ජනයාගේ ජීවන තත්ත්වය යහපත් වන්නේ. රජයේ ආදායම් ඉහළ යන්නේ. විදේශ අංශය යහපත් කරගන්නට රුකුලක් වන්නේ. දුප්පත් රටක් ඉහළ ආදායම් ලබන රටක් වන්නේ. ඒ වගේම එහි අහිතකර ප්‍රතිවිපාකත් තිබෙනවා. පරිසරයට හානි සිදුවීම, ඇති නැති පරතරය පුළුල් වීම, ඒවා අතර කැපී පෙනෙනවා.

 

Qඔබ ඔය වැදගත් විචල්‍යයක් ලෙස හඳුන්වන 5% ආර්ථික වර්ධනය ශ්‍රී ලංකාව වාර්තාවන්නේ කවර වර්ෂවලද? 2017 හා 2018 වර්ෂවල එය කවර මට්ටමකට පත්වෙයි කියලද ඔබ හිතන්නේ?

1948 සිට මේ දක්වා වසර 69 ක් තුළ 5% කට වැඩි ආර්ථික වර්ධන වේගයක් ලබාගත්තේ 1951 (6.2%), 1960 (6.7%), 1964 (6.4%), 1968 (8.2%), 1978 (8.2%), 1979 (6.3%), 1980 (5.8%), 1981 (5.8%), 1982 (5.1%), 1990 (6.2%), 1994 (5.6%), 1995 (5.5%), 1997 (6.3%), 2000 (6.0%), 2003 (5.9%), 2004 (5.4%), 2005 (6.2%), 2006 (7.7%), 2007 (6.8%), 2008 (6.0%), 2010 (8.0%), 2011 (8.4%), 2012 (9.1%), යන වසර 23 ක් තුළ පමණයි ඉතිහාසයේ ප්‍රථම වරට ආර්ථික වර්ධන වේගය සෘණ වුණේ 2001 දී (-1.5%) ය. 8%කට වැඩි වර්ධන වේගයක් ලබා ගත්තේ 1968, 1978, 2010, 2011 හා 2012 වර්ෂ 5 තුළයි. 2013 සිට 2016 දක්වා වර්ධන වේගයක් 3% - 5% අතර විය. 2017 වර්ෂයේදීත් 4% වර්ධනයක් පමණක් ළඟාකර ගැනීමට හැකි වේ. 2018 දී 5% කට වැඩි වර්ධන වේගයක් කරා ළඟාවීමට කටයුතු කරමින් සිටින බවත් පෙනී යයි. එහෙත් මැතිවරණ උණුසුමත් සමඟ රටේ ඵලදායිතාව හීනවීමෙන් එම ඉලක්කයට ළඟාවිය හැකිද යන්න ගැටලුවක්.

 

Qකොහොමද 2017 හා 2018 දී ලෝකයේ අනිකුත් රටවල වර්ධන තත්ත්වයන්?

2016 වර්ෂයේ 3.2% ක වර්ධන වේගයක් වාර්තා කළ සමස්ත ලෝකයේ වර්ධන වේගය 2017 දී 3.5% ක් 2018 දී 3.6% ක් ලෙස වැඩෙන උපනතියක් ඇස්තමේන්තු කර තිබෙනවා. සංවර්ධිත රටවල 2016 වාර්තා වූ 1.7% වර්ධනයට වඩා වැඩි වර්ධනයක් එනම් 2% ක වර්ධනයක් 2017 දී වාර්තා කරන බව හා 2018 දී එම වර්ධන වේගය 1.9% දක්වා අඩු වන බවට පුරෝකථනය කරලා තිබෙනවා. එම සංවර්ධිත රටවල් අමෙරිකාවේ 2016 වාර්තා කළ 1.6%ක වර්ධනයට වඩා වැඩි වර්ධනයක් (2.1%) ක 2017 හා 2018 වර්ෂවල වාර්තා කරන බවත් යුරෝ කලාපයේ වර්ධනය 2016 වර්ෂයේ 1.8% ට සාපේක්ෂව 2017 දී 1.9% ක් 2018 දී 1.7% ක් වාර්තා කරන බවත්, නැඟී එන වෙළෙඳ පොළ හා සංවර්ධනය වන ආර්ථික 2016 වර්ෂයේ 4.3% ට ස‍‍‍ාපේක්ෂව 2017 හා 2018 වර්ෂවල පිළිවෙළින් 4.6% ක් හා 4.8% ක් වශයෙන් වැඩි ආර්ථික වර්ධනයක් කරා ගමන් කරන බවට පුරෝකථනය කර තිබේ.

සංවර්ධනය වන ආසියාව (චීනය හා ඉන්දියාව) ඇතුළු 2016 ට සාපේක්ෂව (6.4%) 2017 හා 2018 වර්ෂවල 6.5% ක සුළු වැඩි වර්ධනයක් වාර්තා කරන බව පෙනේ. එහිදී ඉන්දියාව 2017 හා 2018 වර්ෂවල 7.2% ක් 7.7% ක් ලෙස ඉහළ වර්ධනයකට යන අතර චීනය 6.7% ක් හා 6.4% ක් ලෙස පහළ වර්ධනයකට යයි. අඩු ආදායම් ලබන රටවල් 2016 දී 3.6% ක් 2017 දී 4.6% ක් හා 2018 දී 5.2% ක් ලෙස ඉදිරියට යද්දි ඉහළ මැදි ආදායම් රටක් වීමට ආසන්න ශ්‍රී ලංකාවද 2016 දී 4.4% 2017 දී 4.0% ක් හා 2018 දී 5% ක් ලෙස සුළු වශයෙන් වැඩි වර්ධනයක් කරා යෑමට නියමිතය. එහෙත් 2020 දී ඒකපුද්ගල ආදායම 5000 ක් බවට පත්කිරීමට හා 2025 දී පොහොසත් රටක් (ඒක පුද්ගල ආදායම 12235ක්) බවට පත්කිරීමේ ඉලක්ක සාර්ථක කර ගැනීමට මෙම වර්ධන වේගයන් ප්‍රමාණවත් නැහැ.

Q ශ්‍රී ලංකාවට ඉහළ වර්ධන වේගයක් කරා යෑමට තිබෙන බාධා මොනවාද?

2017 මුල් මාස 6 හා අවසාන කාලය ආර්ථිකයට විණ කළ කාලයක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. 2017 මුල් මාස තුන තුළ වර්ධන වේගය 3.8%ක් තරම් අඩු මට්ටමක් විය. (2016 මුල් මාස තුනේ 5.3% ට සාපේක්ෂව) මීට ප්‍රධාන වශයෙන් හේතු වූයේ වසර 40 කට පසු පැවැති දරුණු නියඟයයි. ඒ නිසාම කෘෂි ආර්ථික කටයුතුවල 3.2%ක සෘණ වර්ධනයක් වාර්තා වුණා. 2017 අවසාන වන මේ මොහොතේ පිට පිට කාර්තු හයක් කෘෂි ආර්ථික කටයුතුවල වාර්තා වුණේ සෘණ වර්ධන වේගයන්.

ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා සේ නියඟයෙන් පීඩාවට පත් ආර්ථිකයට ඊළඟට බැට දුන්නේ වසර 14 කට පසු ඇති වූ මහා ගංවතුර උවදුරයි. පාරාදීසය ලෙස හැඳින්වූ ශ්‍රී ලංකාව ඒ වනවිට හැඳින්වූයේ ප්ලාස්ටික් අයිලන්ඩ් (Plastic Island) කියාය. සාගරයට ප්ලාස්ටික් අපද්‍රව්‍ය දමා දූෂණය කරන රටවල් 192 කින් ශ්‍රී ලංකාව 5 වැනි රට බවට පත්වීම ඊට හේතුවයි.

මෙම කාලගුණික හා දේශගුණික හේතූන්ට අමතරව, අධික ණය බර, බැඳුම්කර අවුල, දේශපාලනික මත ගැටුම්, වර්ජන, තර්ජන, රටේ ආර්ථිකය අඩාළ කිරීමට හේතුවූ වෙනත් කරුණුයි.

 

Q රටේ ආර්ථික කාර්යසාධනය ගැන කතාකිරීමේදී ආර්ථික විශේෂඥයින් ඊළඟට බලන්නේ මොනවාද?

ඊළඟට වැදගත් වන්නේ පූර්ණ සේවා නියුක්ති (Full Employment) අරමුණයි. පූර්ණ සේවා නියුක්තිය කියන්නේ ආර්ථිකයක සියලුම නිෂ්පාදන සම්පත් පූර්ණ වශයෙන් නිෂ්පාදනයෙහි යෙදවීමයි. එ් පිළිබඳ විමසන එක් ක්‍රමයක් වන්නේ ‘සේවා වියුක්ති අනුපාතිකය’ (Rate of unemployment) යි. එනම් රැකියා නොමැතිව සිටින පිරිසයි. එය 2010 සිට 5% කට අඩු ප්‍රතිශතයක් පෙන්නුම් කරන අතර 2016 දී 4.4% ක් වාර්තා කළේය. 2017 හා 2018 වර්ෂවලද එය 4% - 5% අතර මට්ටමක පැවැත්මට ඉඩ තිබුණත් එම ප්‍රතිශතය තුළ වැඩියෙන් නියෝජනය වන්නේ උගත් - තරුණ පිරිස වීම සැලකිල්ලට ගත යුතු කරුණකි.

 

Q කොහොමද 2017 හා 2018 වර්ෂවල ජීවන වියදම් තත්ත්වයන්?

මෙය අප හඳුන්වන්නේ “මිල ස්ථායිතා” (Price Stability) නිර්ණායකය ලෙසයි. එනම් රටක පොදු මිල මට්ටම ඉහළ යෑමේ තත්ත්වයයි. එය වර්ෂයක් තුළ ඉහළ යෑම ජීවන වියදම් ගැටලුව ලෙස හඳුන්වන අතර වර්ෂ ගණනාවක් තුළ ඉහළ යෑම හඳුන්වන්නේ උද්ධමනය කියාය. එය වාර්ෂිකව හැසිරුණු ආකාරය මෙසේය.

වර්ෂය උද්ධමන වේගය

2009 3.5

2010 6.2

2011 6.7

2012 7.6

2013 6.9

2014 3.3

2015 0.9

2016 3.7

2017 හා 2018 වර්ෂවල උද්ධමන වේගය වේගයෙන් ඉහළ යන උපනතියක් පෙන්නුම් කරන බව පෙනී යයි. විශේෂයෙන් 2017 මුල් කාලයේ ඇති වූ නියඟය, ගංවතුර, කුණාටු තත්ත්වයන් හමුවේ ජනයාගේ ජීවන වියදම් 2017 මැද භාගයේ සිට ඉහළ ගියේ මෙසේය.

මාසය ජීවන වියදම වැඩිවීම

ජූලි 4.8%

අගෝස්තු 5.5%

සැප්තැම්බර් 5.8%

ඔක්තෝබර් 7.8%

නොවැම්බර් 7.6%

මෙයින් පෙනෙන්නේ 2017 අග මාස 5ක් තුළ සැලකිය යුතු මට්ටමකින් ජීවන වියදම ඉහළ ගිය බවයි. රජය ඊට වහාම පිළියම් යොදමින් භාණ්ඩ 8 ක සහන මල්ලක් ලබාදෙන අතර එය මැයි මාසය දක්වා ලබාදෙන බව ද රජය පවසා තිබේ. අනෙක් අතට මහ බැංකුව මධ්‍යකාලීන වශයෙන් මධ්‍යස්ථ නම්‍යශීලී උද්ධමන ඉලක්කයක් හඳුන්වා දී උද්ධමනය 4% - 6% අතර මට්ටමක පවත්වා ගෙන යෑමට දරන උත්සාහයටද රජයේ මෙම පියවර හේතුවක් වේ යැයි කල්පනා කළ හැකිය. කෙසේ වූවද 2009 සිට මේ දක්වා සහ 2018 වර්ෂයේදීද උද්ධමනය තනි මැදි ඉලක්කමකින් පවත්වාගෙන යෑම අගය කළ යුතුය.

 

Qකොහොමද අපේ විදේශ අංශයේ තත්ත්වය?

මේක අ‍ප හඳුන්වන්නේ රටේ බාහිර ස්ථායිතාව (External Stability) කොහොමද කියන එකයි. 2017 වර්ෂය ආරම්භවීම සමඟ අපගේ රටට ලැබුණු GSP+ සහනය හරහා ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳ පොළ යුරෝපයට විවෘත වීම යළි ප්‍රවර්ධනය වූ අතර ඒ හරහා 2018 සහ ඊට පසු ශ්‍රී ලංකාවේ අපනයන ඉපැයීම් විශාල වශයෙන් ඉහළ යෑමට අවකාශයක් උදාවිය. එහෙත් වසර අගවනවිට රුසියාව ශ්‍රී ලංකාව තේ අපනයන හා වෙනත් වැවිලි අපනයන තාවකාලිකව නතර කිරීමේ පුවත අපට අවාසියක් වීමට හේතුවක් වුවද එම තත්ත්වය මඟහරවා ගැනීමට ජනපති අගමැති අතුළු බලධාරින් විසින් ක්ෂණිකව සිදුකළ ක්‍රියාමාර්ග නිසා එම තහනම ඉවත්කර ගත් නිසා 2018 අපනයන වේගයෙන් ඉහළ නංවා ගැනීමට අවකාශයක් ගොඩනැගෙනු ඇත.

 

Q අවසාන වශයෙන් අපට කියන්න රාජ්‍ය අංශයේ ක්‍රියාකාරිත්වය ගැන මොකක්ද කියන්න තියෙන්නේ?

රාජ්‍ය අංශයේ ක්‍රියාකාරීත්වය අප මනින්නේ සමස්ත අයවැය පදනම් ක‍රගෙනයි. 2015 තත්වය විමසී‍මේදී. VAT බදු අනුපාතිකය 11% සිට 15% කට වැඩි කිරීම සහ නව බදු පනත සම්මත වී බදු ප්‍රතිසංස්කරණයක් හා නව බදු ගණනාවක් හඳුන්වාදී තිබීම ව්ශේෂයි. එය රජයේ ආදායම ඉහළ නැංවීමට බලපෑමක් ජනයාගේ වැය කළ හැකි ආදායම අඩුවීමට හේතුවන නිසා ජනයාගේ ජීවන වියදම වැඩිවීමට හේතුවක් වී ඇත. රජයේ වර්තන වියදම් 2015 ට සාපේක්ෂව 2016 වර්ෂයේ අඩුවූවද යළිත් 2017 හා 2018 වර්ෂවල වැඩිවීමක් පෙන්නුම් කරයි. එහෙත් ඊට වඩා වැඩි වේගයකින් රාජ්‍ය ආදායම් ඉහළ යන නිසා රජයේ ඉතුරුම් 2015 සිට සෘණ තත්ත්වයක් පෙන්නුම් කළත් 2018 දී එය +0.5 ක් වීමට නියමිතයි. රාජ්‍ය ආයෝජන 2016 සිට ක්‍රමයෙන් වැඩිවීම රජය සංවර්ධනය සිදුකරන දායකත්වය ඉහළයෑමක් පෙන්නුම් කරයි. වඩාත් වැදගත් වන රජයේ සමස්ත අයවැය හිඟය 2015 වර්ෂයේ 7.6% ක මට්ටමේ සිට 2017 දී 5.2% ක් 2018 දී 4.8% ක් ලෙස අඩුකර ගැනීමට පියවර ගැනීම හරහා එක අතකින් රාජ්‍ය ණයවීම් අඩුවීමටත් තවත් අතකින් පෞද්ගලික අංශයට සම්පත් ගලායෑමට අවකාශ ඇතිවීමටත් රුකුලක් වේ. පොලී ගෙවීම් අඩු කළ පසු ලැබෙන අයවැයේ ප්‍රාථමික ශේෂය 2017 දී හා 2018 දී අතිරික්තයක් වාර්තා කිරීම රාජ්‍ය මූල්‍ය විනය වැඩිදියුණු වීම පෙන්නුම් කරයි. එහෙත් මේවා ඉලක්කම්වලට පමණක් සීමා නොවිය යුතුය. 


නව අදහස දක්වන්න