හේමාස් සදර්න් රෝහල දෙවැනි වර­ටත් දකුණේ හොඳම පෞද්ග­ලික රෝහල බවට | දිනමිණ

හේමාස් සදර්න් රෝහල දෙවැනි වර­ටත් දකුණේ හොඳම පෞද්ග­ලික රෝහල බවට

සුවසේවා ක්ෂේත්‍රයේ ජාත්‍යන්තරව පිළිගත් ACHS ප්‍රමිතිකරණයෙන් අඛණ්ඩව පිදුම් ලැබූ මෙරට ප්‍රථම සහ එකම රෝහල් ජාලය වන හේමාස් රෝහල් සමූහයට අයත් ගාල්ල හේමාස් සදර්න් රෝහල සිය විවිධාංගීකරණ රෝහල් සේවා විශිෂ්ටත්වය නිරතුරුවම පවත්වාගෙන යමින් අඛණ්ඩව දෙවැනි වරටත් දකුණු පළාතේ විශිෂ්ටතම පුද්ගලික රෝහල ලෙසින් සම්මානයෙන් පිදුම් ලැබීය. පසුගිය දෙසැම්බර් 23 වැනි දින කරාපිටිය වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේ පැවැති ‘දක්ෂිණ සුව විරු අභිෂේකය’ සම්මාන උළෙලේදී දකුණු පළාතේ ක්‍රියාත්මක වන පුද්ගලික රෝහල් අතුරින් විශිෂ්ටතම රෝහල බවට හේමාස් සදර්න් රෝහල මෙම ඇගයීමට පාත්‍ර විය. ප්‍රමිතිය සහ සුරක්ෂිත රෝගී සත්කාරය, ප්‍රතිචාර්යතාවය, ඵලදායීතාවය, මානව සම්පත් කළමනාකරණය සහ නව තාක්ෂණ භාවිතය යන නිර්ණායකයන් ‘දක්ෂිණ සුව විරු අභිෂේකය’ සම්මාන උළෙලේදී සම්මාන සඳහා තෝරා ගැනීමට ඉවහල් විය.

රෝගීන්ගේ සුරක්ෂිතබව, සායනික සේවාවන්ගේ විශිෂ්ටත්වය සහ දකුණු පළාතේ පිහිටි පුද්ගලික රෝහල් අතරින් ප්‍රශස්තම සුවසේවා තාක්ෂණයකින් හෙබි රෝහල ලෙසින් පෙරමුණේ සිටින හේමාස් සදර්න් රෝහල අනුගමනය කරන ඉහළ ප්‍රමිතීන්හි විශිෂ්ටත්වය මෙම ඇගයීම් මගින් තවදුරටත් පැහැදිලි වේ.

මෙම සම්මාන උළෙල සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ගරු ශාන් විජයලාල් ද සිල්වා මහතා සහභාගීවූ අතර හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් සහ බෝ නොවන රෝග, පාරිසරික සහ සංක්‍රමණික සෞඛ්‍ය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයෙහි ආසියානු කලාපීය ජාත්‍යන්තර සම්බන්ධීකාරක පාලිත මහීපාල මහතා මෙන්ම දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා සෙසු ආරාධිත අමුත්තන් ලෙස මේ අවස්ථාවට සහභාගී වූහ.

හේමාස් රෝහල් සමූහයේ කළමනාකාර අධ්‍යක්‍ෂ ආචාර්ය ලකිත් පීරිස් මහතා මෙම ‘දක්ෂිණ සුව විරු අභිෂේකය’ සම්මානය පිළිබඳව අදහස් දක්වමින් “2009 වර්ෂයේදී හේමාස් සදර්න් රෝහල ආරම්භ වන්නේ ඇඳන් 50ක ධාරිතාවක් සමගයි. දකුණු පළාතේ

ජනතාවට විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් පිරිනැමීම අපගේ ඒකායන අරමුණයි. මේ වන විට විශේෂඥ වෛද්‍යවරුන් සියයකට අධික සංඛ්‍යාවක් අප සමග සම්බන්ධවී සිටිනවා. සම්මාන ප්‍රදානය සඳහා යොදාගත් නිර්ණයකයන්ට අදාළව ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතුව අපගේ සේවාවන් පවත්වාගෙන යනු ලබනවා. දකුණු පළාතේ පෞද්ගලික රෝහල් අතරින් හේමාස් සදර්න් නාමය අඛණ්ඩව අංක එක ස්ථානයේ පවතින බව මෙම ‘දක්ෂිණ සුව විරු අභිෂේකය’ මගින් ලද ඇගයීම මනරම් නිදසුනක් බව සතුටින් පවසා සිටින්නට කැමතියි.”

හේමාස් සදර්න් රෝහල 2014 වර්ෂයේදී පළමු වරට දකුණු පළාතේ හොඳම පෞද්ගලික රෝහල වශයෙන් මෙම සම්මාන උළෙලේදී ඇගයීමට ලක් වූ අතර පුද්ගලික රෝහල් ඇගයීමට තීරණය වූ දෙවැනි අවස්ථාවේදී ද නැවත වරක් 2017 වර්ෂයේදී එම අංශයේ විශිෂ්ටතම සම්මානයට හිමිකම් කියන්නට හේමාස් සදර්න් රෝහලට හැකි විය.

 

නව අදහස දක්වන්න