ආදර්ශවත් පාර්ලිමේන්තුව! | දිනමිණ

ආදර්ශවත් පාර්ලිමේන්තුව!

අනෙකාට සවන් දීම, අනෙකාට ගෞරව කිරීම හා අනෙකාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණ ලෙස සැලැකිය හැකි ය. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ බරසාර කතා අසන්නට ලැබෙන්නේ උත්තරීතර පාර්ලිමේන්තුව නම් ස්ථානයේදී ය. එය සමන්විත වන්නේ මහජන නියෝජිතයන් නමින් හඳුන්වනු ලබන ගරු කටයුතු පුද්ගලයන්ගෙන් ය. මේ පුද්ගලයන්ගේ හැසිරීම පිළිබඳ හරස්කඩක් පෙරේදා දැකගත හැකි විය. එම දර්ශන දකින විට ද, එම සිදුවීම් පිළිබඳ වාර්තා කියවන විට ද අපට හැඟෙන්නේ ශ්‍රී ලංකාවේ ජනතාව බෙහෙවින් අවාසනාවන්ත කරුමක්කාරයන් බව ය. හේතුව; ඔවුන්ගේ කතිරය හෙවත් ඡන්දය පෙරළා ඡන්දදායකයාට ම සිනාසෙන නිසා ය. ‍

පෙරේදා පාර්ලිමේන්තුව තුළ සිදුවූයේ කුමක් ද? ඉතා භයානක ගුටි කෙළි කිහිපයක් එහි සිදු විය. අතින් පයින් පමණක් නො ව; පොත්පත්වලින් ද ගහගන්නවා දැකගන්නට ලැබිණි. එක්තරා පුවත්පතක් සිද්ධිය වාර්තා කර තිබුණේ පොර බැදීම්, කනට ගැසීම්, බදාගැනීම්, පයින් ගැසීම් ඇතුළු තවත් ආරවුල් එහි සිදු වූ බව ය. පිරිසක් පාර්ලිමේන්තු සභා ගැබ තුළ පෙළපාළියක් ගියහ. තව පිරිසක් ඔවුනට බාධා කළහ. තවත් පිරිසක් සෙංකෝලය පැහැරගෙන යෑමට තැත් කළහ. කෙනෙක් ක්ලාන්ත වී බිම වැටිණි. තව කිහිප දෙනෙක් රෝහල්ගත කළහ. තවත් කෙනෙක් ප්‍රතිවාදියාට පහර දී පලා ගියහ. පාර්ලිමේන්තුව එකම විකාරයක් බවට පත් වූ බව වාර්තා වී තිබිණි.‍‍

නව වසරේ මංගල පාර්ලිමේන්තු සැසිය නිමාවට පත්වූයේ කිසිදු වැදගත් දෙයක් අනුමත වීමකින් තොරව ය. එහි කිසිදු සංවාදයක් පැවැතියේ ද නැත. මේ පාර්ලිමේන්තු සැසිවාරය කැඳවා තිබුණේ බැඳුම්කර සිද්ධියට අදාළ පරීක්ෂණ වාර්තාව පිළිබඳ සංවාදයක් පැවැත්වීමට ය. එබඳු කිසි සංවාදයක් ඇතිකිරීමට ඉඩක් එහි නොතිබිණි. අගමැතිවරයා මේ පරීක්ෂණ වාර්තාව පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදු කළ අතර එම ප්‍රකාශයෙන් පසුව විවාදය ඇරඹීමට තිබිණි. එහෙත් අගමැතිවරයාගේ කතාවට පෙර සිට ම ගැටුමක් ආරම්භ වී තිබිණි. එයින් පෙනී යන්නේ විවාදයක් ඉල්ලා සිටි අය ම විවාදය නතර කරන තැනකට කටයුතු කර ඇති බව ය. මෙය සැලැසුම්සහගත ක්‍රියාවලියක් වන්නට පුළුවන.

ආසියාවේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගැන කතා කරන විට ශ්‍රී ලංකාව හා ඉන්දියාව බෙහෙවින් වැදගත් ය. ආසියානු කලාපයේ පැරණිම පාර්ලිමේන්තුව හා එම සම්ප්‍රදාය පිළිබඳ ගෞරවය ශ්‍රී ලංකාවට හිමිවෙයි. ඉන්දියාව පවා අපේ පාර්ලිමේන්තුව ගැන මහත් ගෞරවයෙන් කතා කළ අවස්ථා තිබේ. එහෙත් සැලැකිය යුතු කාලයක සිට එහි ගෞරවය හා අභිමානය කෙලෙසෙන්නට පටන්ගෙන තිබේ. පාර්ලිමේන්තුව තුළ ගුටි ඇනගැනීම් හා පරුස වචන භාවිත කිරීම් සිදුවන්නේ කාලයක පටන් ය. ඇතැම් විදුහල්පතිවරු සිය ශිෂ්‍ය ප්‍රජාවට පාර්ලිමේන්තුව නැරඹීම හා එහි විවාදවලට කන්දීම තහනම් කරති. තව විදුහල්පතිවරු පාර්ලිමේන්තුවේ දර්ශන රූපවාහිනිය ඔස්සේ විකාශය කිරීමටත් විරුද්ධ වෙති.

පෙරේදා සිද්ධියෙන් පෙනී යන්නේ අපේ මහජන නියෝජිතයන් අනෙකාට කන් නොදෙන බව ය. අන් මත නොඉවසන බව ය. ශික්ෂණයකින් යුතුව සංවාදයක් පැවැත්වීමේ හුරුවක් මේ අයට නැත. මෙහිලා ප්‍රශ්න කිහිපයක් පැන නඟී. පළමු ප්‍රශ්නය වන්නේ කිසියම් සංවාදයක් පවත්වා ගැනීමට බැරිව ගුටි ඇනගන්නා අය මහජනයාට උපදෙස් ලබා දෙන්නේ කෙසේද යන්න ය. අනෙක් අතට මහජනයාගේ ගැටලු විසඳන්නේ කෙසේද යන්න ය. දෙවන ප්‍රශ්නය වන්නේ කාලයක පටන් දේශපාලකයන් කතා කරන ශීලාචාර සමාජයට සිදු වී ඇත්තේ කුමක් ද යන්න ය. තෙවන ප්‍රශ්නය වන්නේ කලහකාරයන් මහජන කැමැත්ත ඉල්ලා සිටීම සඳහා නැවත සමාජය වෙත යන්නේ කෙසේ ද යන්න ය. මේවා ගැන කල්පනා කරන විට හැඟෙන්නේ අපේ ම දිව සපාගැනීම හැර වෙනත් කළ හැකි දෙයක් නැති බව ය.

බැඳුම්කර සිද්ධිය මෙන් ම එම සිද්ධිය පිළිබඳ පරීක්ෂණය ද ර‍ෙට් දේශපාලනයේ ඉතා වැදගත් සිදුවීම් දෙකක් හැටියට සැලැකිය හැකි ය. බැඳුම්කර සිද්ධිය නිසා මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසියේ ක්‍රමවේදය විධිමත් කරගැනීමේ අවස්ථාව ලැබී ඇත. මීට අදාළ ජනාධිපති කොමිෂන් සභාව නිසා පළමුවරට ආණ්ඩුවක් තමන්ගේ ම වැරැදි සොයන්නට පරීක්ෂණයක් පවත්වා කඩිනමින් එහි වාර්තාව නිකුත් කර තිබේ. ජනාධිපතිවරයා, අගමැතිවරයා මෙන් ම හිටපු මුදල් ඇමැතිවරයා ද මේ සිද්ධියේ පරීක්ෂණවලට ලබා දී ඇති සහයෝගය කාගේත් අවධානයට ලක්විය යුත්තකි. මීට පෙර ආණ්ඩු මෙන් ම මීට ‍ෙපර නායක‍යන් ද එසේ ක්‍රියා කර නැත. අප මීට පෙර දුටුවේ තමන්ගේ පිලේ හොරුන් රකින හා අදාළ සිද්ධි යට ගසන ක්‍රමවේදයකි.

බැඳුම්කර වාර්තාවට අදාළ විවාදයක් ඉල්ලා සිටියේ ඒකාබද්ධ විපක්ෂය යි. මේ සඳහා පාර්ලිමේන්තුව වහාම කැඳවිය යුතු යැයි ප්‍රබල හඬක් නැඟුවේ ද ඒකාබද්ධ විපක්ෂය යි. අවසානයේ විවාදය කඩාකප්පල් කිරීමට මුල් වූයේ ද ඒකාබද්ධ විපක්ෂය යැයි කියන්නට පුළුවන. මේ විවාදය හොඳින් පවත්වාගත හැකිව තිබිණි. ඊට බාධාවක් ලෙස පැවැතියේ ගුටි ඇනගැනීම ය. මෙහිලා නැඟෙන එක තර්කයක් වන්නේ පරීක්ෂණ වාර්තාවේ පිටපත් ලැබී නො තිබුණු බව ය. එම වාර්තාවේ පිටපත් ලබාදිය හැකි දිනය ජනාධිපති කාර්යාලය විසින් දැනුම් දෙනු ලැබ තිබිණි. එම පිටපත් ලැබෙනතුරු විවාදය කල් තැබීමට ද ඉඩ තිබිණි. අගමැතිවරයාගේ කතාවට සවන් දී එම කතාව සම්බන්ධයෙන් විවාද කිරීමට ද ඉඩ තිබිණි. එහෙත් කිසිවක් සිදුවූයේ නැත. සිදුවූ එක ම දෙය ගුටි ඇනගැනීම පමණි.

දේශපාලන පක්ෂ මෙන් ම එම පක්ෂවල නායකයන් ද ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කළ යුතුය. පාර්ලිමේන්තු සම්ප්‍රදායට ද ගරු කළ යුතු ය. මෙබඳු සිදුවීම්වලින් පෙනී යන්නේ මහජනයා ඇතැම්විට නුසුදුසු පුද්ගලයන් ද පාර්ලිමේන්තුවට පත්කර එවා ඇති බව ය. පාර්ලිමේන්තුවේ පහරදීම්වලින් කිහිප දෙනකු රෝහල් ගතකිරීමට සිදු වී ඇත. මෙලෙස පහරදීමට පිටස්තර මැරයන් පැමිණියේ නැත. පිටස්තර චණ්ඩි පාර්ලිමේන්තුවට පැමිණියේ ද නැත. මේ මැර ක්‍රියා පසුපස සිටියෝ අපේ ම මහජන නියෝජිතයෝ ය. ජනතා පුත්‍රයෝ ලෙස ද ඔව්හු හඳුන්වති. ජනතා පුත්‍රයන්ගේ තරම පෙරේදා පාර්ලිමේන්තුවේ දී හොඳ හැටි දැකගත හැකි විය. ආදර්ශය පහළින් - ඉහළට නො ව; ඉහළින් - පහළට ගලා ආ යුතු යැයි කියති. ඒ අනුව ඉහළින් - පහළට හොඳ ආදර්ශයක් ලැබී තිබේ. එනම්; ඕනෑම ප්‍රශ්නයකට ගහගැනීම ය.

ගහගැනීම හා පොරබැදීම යනු ප්‍රාථමික සමාජවල ගැටලු විසඳාගත හැකි මෝඩ ක්‍රමවේදයකි. එයින් බලවන්තයා දිනයි. යුක්තිය පරදී. මෙය හැඳින්විය හැක්කේ කැලෑවේ නීතිය හැටියට ය. අපේ පාර්ලිමේන්තුව ද ගමන් කරමින් සිටින්නේ කැලෑවේ නීතිය දෙසට ද? 

 


නව අදහස දක්වන්න