මහනුවර පිලේ අපරාජිත බව සී.ආර්. හමුවේ බිඳ වැටේවිද? | දිනමිණ

මහනුවර පිලේ අපරාජිත බව සී.ආර්. හමුවේ බිඳ වැටේවිද?

ෆවුස් මොහොමඩ්
සී.ආර්.සහ පොලිස් කණ්ඩායම අතර පසුගිය සතියේ පැවැති තරගයෙන්. ඡායාරූපය -සමන් මෙන්ඩිස්

අන්තර් සමාජ පළමු පෙළ රගර්

අන්තර් සමාජ පළමුපෙළ ලීග් රගර් තරගාවලියේ දෙවැනි වටයේ තරග ආරම්භයත් සමග ක්‍රීඩා සමාජ අතර උණුසුම වැඩිවි තිබේ. පෙරළිකාර ක්‍රීඩා රටාවක් පෙන්නුම් කරමින් ප්‍රසාද ලකුණු සටහනේ ඔවුනොවුන්ගේ ස්ථාන ඉහළ නංවාගැනීමට ක්‍රීඩා සමාජ අතර දැඩි සටනක් නිර්මාණය වී ඇත. දැනටමත් පිට පිට දෙවැනි වරටත් කුසලානය කරා සමීප වෙමින් සිටින අපරාජිත මහනුවර ක්‍රීඩා සමාජය සෙසු ක්‍රීඩා සමාජ අතරින් වේගයෙන් ඉදිරියට ඇදී යද්දී දැනටමත් දෙවැනි තැන පසුවන හැව්ලොක්ස් පිල අබිබවා අනුශුරයන් බවට පත්වීමට සී.ආර්. සහ නාවික හමුදා කණ්ඩායම් අතර උණුසුම වැඩිවී තිබේ.

මේ අතර මෙවර තරගාවලියේ පෙරළිකාර කණ්ඩායම බවට පත්වී සිටින සී.එච්. පිල වේගයෙන් ඉදිරියට ඇදී යමින් සිටී. දෙවැනි වටයේ දෙවැනි සති අන්තයේ තරග ආරම්භ කරමින් අද (12) පස්වරු 4.00ට ගුවන් හමුදා කණ්ඩායම සමග කොළඹ තුරඟ තරග පිටියේදී තවත් ජයග්‍රහණයක් අත්කරගැනිමේ අපේක්ෂාවෙන් සී.එච්.පිල බලාපොරොත්තු පොදි බඳිමින් සිටී. පසුගිය සතියේදී හැව්ලොක්ස් කණ්ඩායම ලකුණු 27-25කින් පරාජය කරමින් එතෙක් ප්‍රසාද ලකුණු සටහනේ 6 වැනි තැන සිටි සී.එච්.පිල පස්වැනි තැනට පත්වූ අතර අනුශූරතාව කරා යාමේ අපේක්ෂාවෙන් අද තරගයට එක්වෙයි.

මේ සති අන්තයේ තරග අතරින් වඩාත් කැපී පෙනෙන තරගය බවට පත්වී ඇත්තේ මහනුවර පිල සහ සී.ආර්. කණ්ඩායම අතර තරගයයි. මෙතෙක් පැවැති තරග 9ම ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 52ක් ලබා පෙරමුණ ගැනීමට මහනුවර පිල සමත්වී සිටී.

එහෙත් ප්‍රබල ක්‍රිඩකයන්ගෙන් සමන්විත මහනුවර පිලේ අපරාජිතබව බිඳ දැමීමේ අරමුණ ඇතිව හෙට (13) පස්වරු 4.00ට නිත්තවෙලදී තරග බිමට පිවිසෙන සී.ආර්.පිල හමුවේ දැඩි සටනක නිරතවීමට මහනුවර ක්‍රීඩකයන්ට සිදුවනු ඇත. පසුගිය සතියේදී පොලිස් පිල හමුවේ ලකුණු 33-31ක තියුණු ජයක් ලැබූ සී.ආර්.පිල අද තරගයට එක්වන්නේ ඉහළ මානසිකත්වයෙන් යුතුවය.

ලකුණු 34ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ තුන්වැනි තැන පසුවන නාවික හමුදා පිල සහ පොලිස් කණ්ඩායම අතර තරගය ද හෙට පැවැත්වෙයි. පසුගිය සතියේදී යුද හමුදා පිලට එරෙහිව ලකුණු 28-10ක විශිෂ්ට ජයක් ලැබූ නාවික හමුදා පිල හෙට තරගයේදී ජයගනු ලැබුවත් ඔවුන් දෙවැනි තැනට පත්වීම හැව්ලොක්ස් පිල සහ යුද හමුදා පිල අතර හෙට පස්වරුවේ හැව්ලොක්ස් පිටියේ පැවැත්වෙන තරගයෙන් තීරණය කෙරෙනු ඇත.

ප්‍රසාද ලකුණු 25ක් ලබා 6 වැනි තැන පසුවන යුද හමුදා පිල නැවත ජයග්‍රාහි මාවතට පිවිසීමේ අරමුණ ඇතිව හෙට තරගයට එක්වෙයි.

 

නව අදහස දක්වන්න