පුස් කෑ සහල් කිලෝ 4900ක් කළුතර ගබඩාවක | දිනමිණ

පුස් කෑ සහල් කිලෝ 4900ක් කළුතර ගබඩාවක

කළුතර මධ්‍යම සමූහ

තවත් සහල් කිලෝ 2200කට සීල්

මියන්මාරයෙන් ගෙන්වන ලදුව කළුතර නගරයේ පෞද්ගලික ආහාර තොග ගබඩාවක තිබූ මිනිස් පරිභෝජනයට නුදුසුදු සහල් කිලෝ ග්‍රෑම් 4900ක් එම ආහාර ආනයනය කළ  පුද්ගලයාගේ කැමැත්ත පරිදි විනාශ කර දැමූ කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එහි තිබූ තවත් සහල් කිලෝ ග්‍රෑම් 2200 ක් පිළිබඳව රස පරීක්ෂක වාර්තාව ලැබෙනතුරු ඒවා මුද්‍රා තැබූහ.

කළුතර පො‍හොරවත්තට ගෙන ගොස් මෙසේ විනාශ කර දැමූ සහල්වල වටිනාකම රුපියල් ලක්ෂ 4 ½ක් පමණයි.

කළුතර නගරයේ ආහාර තොග ගබඩා හදිසියේ පරීක්ෂණ කරමින් සිටි මහජන ‍සෞඛ්‍ය පරීක්ෂණකවරුන් හාල්, සීනි, පිටි, පරිප්පු හා ලූණු ගබඩා කොට තිබූ මෙම සුවිසල් ගබඩාව පරීක්ෂා කිරීමේදී වැස්සට තෙමී පුස් කා තිබූ සහල් මලු සොයාගෙන ඇති අතර ඒවා විවෘත කර බැලීමේදී හාල් එකිනෙක බැදී විනාශවී ඇති ආකාරය දැකගෙන ඇත.

ඒ අනුව ආනයනකරුගේ කැමැත්ත පරිදි මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් තොගය කළුතර පොහොරවත්තට ගෙන ගොස් විනාශ කර තිබේ.

තවත් හාල් මලු 44ක් කොටස් දෙහතුනකට බෙදා ඒවායේ සාම්පල් 18ක් රජයේ රස පරීක්ෂක වෙත යවා ඇති අතර ඒවායේ ප්‍රතිඵල ලැබුණ පසු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

මෙම වැටලීම් පිළිබඳව ‘බී’ වාර්තාවක් ඊයේ (11) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

කළුතර ජාතික ‍සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය නිමල් අබේසිරිවර්ධන, කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් චරිතා පෝරුතොට, කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂණ ආර්. ජේ. සිංහබාහු, කළුතර පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. ඩී. සී. රෝහණ, මහජන සෞඛ්‍ය පරීක්ෂක වන ගිහාන් මාලිංග, එරංග ගුණරත්න, අසංක නිර්මාල, තාරක පියල්, දිදුල මධුශංක, එස්. ඒ. ආර්. එම්. ජයරත්න සහ එම්. එස්. ඩී. කුමාර යන මහත්ම මහත්මීහු මීට එක්ව සිටියහ.   

නව අදහස දක්වන්න