පින් පෙට්ටිය කැඩූ සැකකරු පැය 24න් අල්ලයි | දිනමිණ

පින් පෙට්ටිය කැඩූ සැකකරු පැය 24න් අල්ලයි

හෙම්මාතගම අරණායක අම්බලකන්ඳ මාර්ගයේ කොන්ගහමුල හන්දියේ පිහිටි බුදුමැඳුරට රිංගා එහි වූ පඩුරු පෙට්ටිය හා කුඩා බුදුපිළිමයක් ද පැහැරගෙන ගිය කොල්ලකරුවකු අදාළ භාණ්ඩ ද සමඟ පැය 24 යාමට මත්තෙන් කෑගල්ල නගරයේ දී අත්අඩංගුවට ගැනීමට අරණායක පොලිසිය සමත්ව ඇත.

හත්වෙනිදා රාත්‍රියේ සිදුවි ඇතැයි කියන මේ කොල්ලය පිළිබඳ අරණායක පොලිසියට ලද තොරතුරකට අනුව 8 දා පඩුරු පෙට්ටියේ තිබු මුදල් රුපියල් 4000 ට ආසන්න මුදල් කෑගල්ල නගරයේ වෙළඳසලකින් මාරුකිරිමට ගොස් සිටි අතරවාරයේ කෑගල්ල පොලිසියේ ද සහාය ඇතිව අදාළ සැකකරු අත්අඩංගුවට ගත්බව සඳහන්ය.

මෙම සැක කරු මීට සති කීපයකට පෙර ගංජා හා මඳනමෝදක ළඟ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාවනැල්ල අධිකරණය වෙත ඉදිරිපත්කරන ලදුව රක්ෂිත බන්ධනාගාර ගතකොට සිටි බවත් ඉකුත් හතරවෙනිදා ඉන් නිදහස්ව පැමිණ මෙම සොරකම සිදුකර ඇති බවත් මේ සම්බන්ධයෙන් කළ පොලිස් පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත.

ලියාපදිංචි අපරාධකරුවකු බව කියන පාරවල් පහ ප්‍රදේශයේ සැකකරු මාවනැල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.ඩි.ඒ සේරසිංහ,සහකාර පොලිස් අධිකාරි ගාමිණි තේනනකෝන් යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි අරණායක පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ජි. ආර්. සුජිව ගුණතිලක මහතාගේ මෙහෙයවීම යටතේ අපරාධ අංශයේ පොලිස් සැරයන් 22943 හරිස්චන්ද්‍ර පොලිස් කොස්තාපල් වරුන් වන 35754 මුණසිංහ, 56991 වේරකේ යන නිලධාරින් විසින් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. 

රොහාන් සී ප්‍රේමතිලක


නව අදහස දක්වන්න