බදුල්ලේ තේ කර්මාන්තයට නරක දසාවක් | දිනමිණ

බදුල්ලේ තේ කර්මාන්තයට නරක දසාවක්

බදුල්ල දිස්ත්‍රික්කයේ උඩරට කඳුකර ප්‍රදේශය ශ්‍රී ලංකාවේ රසවත්ම තේ නිපදවන පළාත ලෙස මුළු ලොව පුරා හොඳ නමක් දිනාගෙන ඇතත් දැන් දැන් එම තත්ත්වය ඌව පළාතෙන් ගිලිහෙන බවක් තේ කර්මාන්තයට සම්බන්ධ වතු අධිකාරිවරු, තේ කර්මාන්ත කාර්යාල ලිපිකරුවෝ සහ සේවකයෝ පවසති.

සුදු අධිරාජ්‍යවාදී යුගයේ සිට තේ කර්මාන්තයේ නියුතු වතු අධිකාරි, සහකාර වතු අධිකාරි, ලිපිකරු, කංකානි, වතු කම්කරුවන් සඳහා නොමිලේ ලැබුණ මාසික තේ පාර්සල්, නිවාස, සේවා පහසුකම්, ආරෝග්‍යශාලා පහසුකම්, අතිකාල දීමනා වෙනත් දීමනා ආදිය දැන් දැන් සමහර තේවතු සමාගම්වලින් නොලැබී යෑම මෙයට හේතුව වී ඇත.

තේ වතු සමාගම්වලින් සපයා දී තිබූ ලැයින් කාමර ලෙස හැඳින්වුණ නිවාස පසුගිය රාජ්‍ය ප්‍රතිපත්ති අනුව සේවයෙන් ඉවත් වුවත් ඒවා එම කම්කරුවන්ටම හිමිකර දීම නිසා අද අලුතින් සේවයට පැමිණෙන කම්කරුවන්ට අලුත් නිවාස දීමට හෝ අලුතින් නිවාස ඉදිකිරීමේ ක්‍රමයක් බොහෝ විට ක්‍රියාත්මක නොවේ. මේ නිසා අලුත් කම්කරුවන්ට සිදුව ඇත්තේ තමන් සතු නිවාසවල සිට හෝ තමන් කුලියට ලබාගත් නිවාසවල සිට සේවයට පැමිණීමටය.

වතු කම්කරුවකුගේ දෛනික දීමනාව දිනකට සියලු දීමනා සහිතව රු. 800 කට වඩා අඩුය. එහෙත් වතු ආශ්‍රිතව වාසය කරන ගම්වැසියන්ගේ නිවාසවල හෝ වතුවල වැඩ කරන කම්කරුවෙකුට දිනකට රු. 1300 ක වැටුපක්, නොමිලේ උදේ ආහාරය සහ දිවා ආහාරය ලැබේ. වතු කම්කරුවන් පවසන්නේ දිනපතා තේ වත්තේ වැඩ කොට මාසයකට වරක් වැටුප් ගන්නවාට වඩා දිනපතා උදේ ආහාරය දිවා ආහාරය සමඟ රු. 300 ක වැටුපක් ලබාගැනීම වාසිදායක බවය.

එමෙන්ම වතු නිවාස පැරැණි සේවකයන්ටම භුක්ති විඳීමට දීම නිසා අලුත් සේවකයින්ට නිවාස නොමැති බවක් උද්ගත වී ඇත. කාර්යාල ලිපිකරුවන්ට හිමිවූ බංගලා වැනි නිවාස පසුගිය රජයේ දේශපාලනඥයන්ගේ ඉල්ලීම් මත මතු සේවකයන්ට ලබාදීම නිසා කාර්යාල සේවකයන්ට නිල නිවාස අහිමි වී ඇත.

එකල නොමිලේ ලබා දුන් තේ රාත්තල අද ග්‍රෑම් 500 ට සීමා වී ඇති අතර කම්කරුවන්ට ලැබෙන්නේ දූවිලිවලින් ගහන නිෂ්පාදනයේ බාලම කුඩු තේ ය. එය නිවාසවල පරිහරණයට කිසිසේත්ම සුදුසු නොවේ. 

දෙමෝදර සමූහ ආර්. එම්. සෝමරත්න

නව අදහස දක්වන්න