කතරගම-සෙල්ලකතරගම පාරේ කළුගල් මතු වෙලා | දිනමිණ

කතරගම-සෙල්ලකතරගම පාරේ කළුගල් මතු වෙලා

කතරගම සිට සෙල්ලකතරගම දක්වා දිවෙන මාර්ගය තැනින් තැන කැඩී කළුගල් මතුවීම නිසා එම මාර්ගයේ ගමන් කරන වන්දනාකරුවන් රැගත් වාහන පාරේ හෑරී ඇති වළවල් නිසා අබලන්වන අතර වාහන ධාවනය කිරීමට අපහසු බව ප්‍රදේශවාසීහු පවසති.

මේ සමබන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා රාමඥ්ඥ මහා නිකායේ ඌව පළාත් ලේඛකාධිකාරී කතරගම වල්ලිකන්දාරාමාධිපති ලත්පඳුරේ විපුලභද්‍ර හිමියෝ මෙසේ පැවසූහ.

මේ මාර්ගය කතරගම සිට සිතුල්පව්ව දක්වා වන්දනා කරුවන් රැගත් වාහන දිනකට සිය ගණනක් ගමන් කරනවා. මෙහි තැනින් තැන ගල් ගැලවී වළවල් පවා හෑරී තිබෙනවා. දැනට කීප වතාවක් මේ මාර්ගය තාරදමා සකස් කළත් කැඩී යනවා. ඊට ප්‍රධාන හේතුව තමයි පාරේ ඉදිකර ඇති බෝක්කු අවහිරවී පාර ජලයෙන් යටවීම නිසා මාර්ගය ගිලා බැස තිබීම. අවම වශයෙන් අඩියක් පමණ මාර්ගය ගොඩකර තාර දමන්නේ නම් පාර කැඩී යාම වලක්වාගත හැකියි.

ආරියපාල රත්නායක මහතා -

මේ මාර්ගය වැහි කාලයට මේ විදියට යට වෙනවා. ඊට පස්සෙ කළුගල් ගැලවී යනවා. අනතුරුව කොන්ත්‍රාත්කරුවන් විසින් ප්‍රමිතියට පටහැනිව තාර දමනවා. එලෙස පිළිසකර කරන පාර හැමදාම කැඩෙනවා. සෑම වසරකම මාර්ගය අබලන් වන විට මාර්ගය සෑදීමට කොන්ත්‍රාත් දෙනවා. මෙලෙස වසරකට වරක් හදන්න වෙලා තියෙනවා. මේ මගින් කොන්ත්‍රාත්කරුවන් තර වෙනවා මිස මහජනයාට සෙතක් වෙන්නේ නෑ.

වල්ලිමාතාගම ඕ. පී. චමින්ද මහතා -

මේ පාරට කදුරුගස් ආර කියන ඇළෙන් පාරට වතුර දානවා මෙසේ වෙන්නේ පාරේ තියෙන බෝක්කු කුඩා නිසයි. බෝක්කු ලොකු කළොත් මේ ප්‍රශ්නය විසදිය හැකියි.

මැණික්පුරගම ගයාන් පුෂ්පකුමාර සේනාධීර මහතා -

මෙම පාරට කොච්චර තාර දැම්මත් ඔරොත්තු දෙන්නේ නෑ. නිතරම තාර දැමීමට සිදුවෙන බැවින් විශාල වශයෙන් මහජන මුදල් අපතේ යනවා. ඒ නිසා මාර්ගය ඉහළ මට්ටමට ගොඩකර කොන්ක්‍රීට් අතුරන්නේ නම් පාර කැඩීම වළක්වා ගත හැකියි.

කතරගම සමූහ
ඇම්.නෙල්සන් පියරත්න 


නව අදහස දක්වන්න