සාමණේර දෙනමකට අතවර කළ ශ්‍රමණවේශධාරියා රක්ෂිත බාරයට | දිනමිණ

සාමණේර දෙනමකට අතවර කළ ශ්‍රමණවේශධාරියා රක්ෂිත බාරයට

කුරුණෑගල අතිරේක බණ්ඩාර රත්නායක

අවුරුදු 14 සහ 10 වයස්වල පසුවන ළාබාල සාමණේර භික්ෂූන් වහන්සේ දෙනමක් බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන චීවරධාරියකු ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට රම්බඩගල්ල මහේස්ත‍්‍රාත් ජී. එන්. ප්‍රියදර්ශනී මහත්මිය ඉකුත් දා නියම කළාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනේ බරන්දන, කරදගොල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති වශයෙන් කටයුතු කරන චීවරධාරියෙකි. දෙසොහොයුරන් වන මෙම සාමණේර දෙනම අදාළ චීවරධාරියා යටතේ සාමණේර අධ්‍යාපනය ලබමින් එම විහාරස්ථානයේ වාසය කර තිබේ. සැකකාර චීවරධාරියා විසින් අවස්ථා ගණනාවක දී මෙම සාමණේර හිමිවරුන් දෙදෙනා ලිංගික අපයෝජනයට ලක්කර ඇති අතර චීවරධාරියාගේ මෙම විකෘති හැසිරීම් ඉවසා සිටීමට නොහැකි තැන විහාරස්ථානයෙන් පලාගිය සාමණේර දෙනම ඔවුන්ගේ නිවෙසට ගොස් තිබේ. සාමණේර හිමිවරුන් විසින් හෙළිකළ තොරතුරුවලට අනුව ඔවුන්ගේ මව විසින් කුරුණෑගල සහකාර පොලිස් අධිකාරි කාර්යාලයට ඒ පිළිබඳ පැමිණිලි කර තිබේ.

අදාළ පැමිණිල්ල පිළිබඳ ක්‍රියාත්මක වූ කුරුණෑගල සහකාර පොලිස් අධිකාරි සමන් දිසානායක මහතාගේ උපදෙස් මත අදාළ විහාරස්ථානය වෙත පසුගියදා රිදීගම පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් විසින් අදාළ චීවරධාරියා අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් චීවරධාරියා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණු අතර වින්දිත සමණේර භික්ෂූන් දෙනම වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් කරන ලෙසටද රම්බඩගල්ල මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කළාය.

කුරුණෑගල සහකාර පොලිස් අධිකාරි සමන් දිසානායක මහතාගේ උපදෙස් මත රිදීගම පොලිසියේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ඩී. සී. පී. කුමාරසිංහ මහතාගේ මෙහෙයවීමෙන්, ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි, කාන්තා උප පොලිස් පරීක්ෂිකා මධුමාලි මහත්මිය ඇතුළු නිලධාරිහු වැඩිදුර පරීක්ෂණ සිදුකරති. 

නව අදහස දක්වන්න